බන්ධනාගාරයට ඇතුල්වෙනකොට සිරකරුවන් සාධු නද දුන්නා!
ඇප ලැබුණු ඥානසාර හිමියෝ දිවයිනට කතා කරති

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය කාලය පුරාම පුවත් මවන්නට සමත්වූ හිමිනමක්‌ වූහ. උන්වහන්සේ පසුගියදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්‌ෂිත බන්ධනාගාර ගත කළහ. එම සිදුවීම මෙරට සමාජය තුළ වඩාත් කථාබහට ලක්‌වූ සිදුවීමක්‌ විය. රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප ලබා නිදහස්‌ව පැමිණි උන්වහන්සේ සමඟ ''දිවයින ඉරිදා සංග්‍රහය" කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය(- අවසරයි අපේ හාමුදුරුවනේ ඇත්තටම එදා හෝමාගම අධිකරණයේදී මොකද වුණේ.?

පිළිතුර(- අපගේ වීරෝදාර බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව හෝමාගම අධිකරණයේ විභාග වන නඩුව බලන්න වෙනදා වගේම වැඩම කළා.

ප්‍රශ්නය(- ඒ කියන්නේ මීට පෙරත් හෝමාගම අධිකරණයට වැඩම කරා කියලද හාමුදුරුවනේ.

පිළිතුර( ඔව්.... අපි මීට පෙරත් හතර වතාවක්‌ පමණ එහි වැඩම කර තිබෙනවා. මේ පස්‌වැනි අවස්‌ථාවේ තමයි මේ සිදුවීම වුණේ.

ප්‍රශ්නය(- එහෙමයි හාමුදුරුවනේ. ඉතින් මොකද වුණේ.

පිළිතුර(- නඩු කටයුත්තක්‌ තියෙන නිසා ඒ ගැන වැඩිය කථා නොකර ඉමු.

ප්‍රශ්නය(- හාමුදුරුවන් වෙනත් පිරිසකගේ අවශ්‍යතාවයක්‌ ඉටු කරනවා කියල චෝදනා නඟනවා.

පිළිතුර(- තියෙන ආණ්‌ඩු පෙරළන්නවත්. වෙන කට්‌ටියක්‌ බලයට ගෙන ඒමටවත්, කාගේවත් අවශ්‍යතාවයක්‌ ඉටුකරන්නවත් අපට ඕනෑ කමක්‌ නැහැ. කොටින්ම කාවත් අපහසුතාවයට පත්කරන්නවත් අධිකරණය අපහසුතාවයට පත් කිරීමටවත් අපට ඕන නැහැ. අපට එහෙම අදහසක්‌ නැහැ.

ප්‍රශ්නය(- එසේනම් එදා හාමුදුරුවන් ඇයි එහෙම හැසිරුණේ.

පිළිතුර(- කවුරු කොහොම කිව්වත් අද රට ලොකු තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා. එල්. ටී. ටී. ඊ. ය අපි යුදමය වශයෙන් පමණයි පරාජය කළේ. අපි ඔවුන්ගේ දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජයට පත් කළේ නැහැ. ඔවුන්ගේ එම පෙරමුණු අපට එරෙහිව නැවත වතාවක්‌ බෙදුම්වාදී අඳුරු සෙවනැලි සමඟ බොහොම තදින් නැගිටිමින් සිටිනවා. විශේෂයෙන් බුද්ධි අංශ ඉතා සීරුවෙන් කටයුතු කළ යුතු අවස්‌ථාවක්‌ මේක. රටේ සිදුවන සිදුවීම්වලින් හමුදාවේ චින්ත ධෛර්ය හීනවන බව අප දැක්‌කා. කාට අමතක වුණත් මේ රටේ යුද්ධයක්‌ තිබුණු බව අපට නම් අමතක කරන්න බැහැ. අපේ රණවිරුවන්වත් අමතක කරන්න බැහැ. එහි ඵලයක්‌ තමයි එදා හෝමාගම සිදුවීම.

ප්‍රශ්නය(- මේ වනකොට හාමුදුරුවන්ට නඩු කීයක්‌ විතර තිබෙනවද?

පිළිතුර(- නඩු අටක්‌ විතර තිබෙනවා. මේ එක නඩුවක්‌වත් මගේ අවශ්‍යතා වෙනුවෙන් ගිහිල්ලා දාගත්ත නඩු නොවෙයි. රටට, ආගමට, සම්බුද්ධ ශාසනයට ජාතියට යමක්‌ වෙනවා නම් අපට දෑස්‌ පියන් ඉන්න බැහැ.

ප්‍රශ්නය(- නඩු වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?

පිළිතුර(- නඩු අඩුද වැඩිද කියලා නොවෙයි ප්‍රශ්නය. අපි මේ කෑ කෝ ගහන්නේ හේතුවක්‌ තියෙන නිසයි. හේතුවක්‌ නැතිව ඵලයක්‌ හටගන්නේ නැහැනේ. අද බොහෝ අය අපගේ හැසිරීම, කථා විලාසය ගැන කථා කරනවා. ඒත් ඊට හේතු හොයන්න උත්සාහ ගන්නේ නැහැ.

ප්‍රශ්නය(- ඔබ වහන්සේ මේ උත්සාහ කරන්නේ හමුදාවේ චිත්ත ධෛර්යය නංවන එකද?

පිළිතුර(- හමුදාව අතේ තුවක්‌කු තිබුණට ඒ තුවක්‌කු පත්තුකරන්න, රට බේර ගන්න ඒ මිනිස්‌සුන්ට ආධ්‍යාත්මික නායකත්වයක්‌ අවශ්‍යයි. එම නායකත්වය මේ රටේ හාමුදුරුවරු හමුදාවට එකතු කළා. අපේ හාමුදුරුවරු තමයි ඒ 'මොරාල්' එක හැදුවේ. කවුරු මොනවා කිව්වත්, රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කිරීමට අපට ශුද්ධ අයිතියක්‌ තිබෙනවා. එහිදී අපට කොන්දේසි තියෙන්න විදිහක්‌ නැහැ. ජාතික විපත්වලදි හාමුදුරුවරු පෙරට පැමිණෙනවා. එය හිසින් දරාගෙන තමයි අපි කටයුතු කරන්නෙ. මේවට කියන්නේ කැපකිරීම් කියලා.

ප්‍රශ්නය(- හාමුදුරුවන් කැපකිරීම් කරන්න ගොස්‌ අවසානයේ හිරේ විලංගුවේ වැටුණා. මොකද බන්ධනාගාර ගතකරනකොට හිතුණේ.

පිළිතුර(- කිසිම කම්පාවක්‌වත්, කලකිරීමක්‌වත් වේදනාවක්‌වත් දැනුනේ නැහැ. මෙය ජීවිතයට හොඳ පන්නරයක්‌ ලැබීමක්‌. තමන්ගේ ආත්ම ලාභය හා ආත්මාර්ථකාමීව වැඩ කරන් හිටියනම් මේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. එහෙම නම් හිරේ යන්නෙත් නැහැ. මඩ පත්තරත් නැහැ. වෙබ් සයිට්‌වල ගහන්නෙත් නැහැ. බොහෝම අපූරුවට ඉන්න තිබුණා. අපගේ සියයට අසූවක්‌ විතර හාමුදුරුවරු එහෙමනේ ඉන්නේ. අපටත් එහෙම ඉන්න පුළුවන්. නමුත් අපි මේ පටිසෝතගාමීව මේ අරගල කරන්නේ රට වැටෙන බව පෙනෙන නිසයි. අපේ රටේ මිනිස්‌සු නිර්වින්දනය වෙලයි ඉන්නේ. ඒ මිනිසුන්ට පණදෙන්නයි අපි මේ උත්සාහ ගන්නේ. රටේ වගකිවයුතු අය හරියට හැසිරෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. හිරේදි විශාල අත්දැකීම් ප්‍රමාණයක්‌ ලබා ගත්තා. රටේ නීතිය ගැන දැනගත්තා. විවිධ තලවලට අයත් මිනිස්‌සු සමඟ සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඉතාම හොඳ අත්දැකීම් ප්‍රමාණයක්‌ ලැබුණා.

ප්‍රශ්නය(- දන් වළඳපු ඔබ වහන්සේ අන්තිමට හිරබත් වැළඳුවා.

පිළිතුර(-අපි කථාවෙදි කියන්නේ හිරගෙදර මෝඩයන්ට විශ්වවිද්‍යාලයක්‌, උගතුන්ට පිස්‌සන්කොටුවක්‌, හිඟන්නන්ට දන්සලක්‌ කියලා. මට හිතෙන්නේ එහිදී මට පුළුවන් වුණා බණ පොතක්‌ කියවනවා වගේ මිනිසුන්ගේ ජීවිත කියවන්න. බන්ධනාගාර නිලධාරීන්ගේ ඔවුන්ගේ සීමාවේ සිට යුතුකම් මෙහෙවර කළා.

ප්‍රශ්නය(-ඔබවහන්සේ බන්ධනාගාරයට යොමු කරන විට එහි සිරකරුවන්ගෙන්a උණුසුම් පිළිගැනීමක්‌ හිමිවූ බව වාර්තා වුණා.

පිළිතුර(- ඇත්තටම මටත් හිතාගන්න බැහැ. ඇතැම් හිරකරුවන් සාධු නද දෙන්නත් පටන් ගත්තා. එය වචනවලින් කිව නොහැකි තරම් අමුතුම අද්දැකීමක්‌ වුණා. බන්ධනාගාර ගතකිරීම ඇත්තටම උපාධියක්‌ ගත්ත වගේ වැඩක්‌ වුණා. දැන් අපි දන්නවා වැඩ කරන්න ඕන විදිහ.

ප්‍රශ්නය(- ඔබවහන්සේ මහානායක හිමිවරුන් සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස්‌ පළ කර තිබුණා.

පිළිතුර(- අප රටේ මහානායක හිමිවරු අපට වඩා වැඩිහිටි බහුශ්‍රැත, ධර්මධර, විනයධර මහා යතිවරුන්, උන්වහන්සේලාට අපගේ ගෞරවයේ කිසිදු වෙනසක්‌ නැහැ. ඒවා එලෙසමයි. අපි ඒ මහා සම්ප්‍රදායට එලෙසම ගරු කරනවා. නමුත් අද තිබෙන තත්ත්වය මොකක්‌ද? අපි කියන්නේ අපි වෙනුවෙන් පෙනී සිටින්න කියන එක නෙමෙයි. ජාතික විපත්තියකදී උන්වහන්සේලා පෙරට විත් නායකත්වය ගෙන කටයුතු කළ යුතුයි. එහෙම නොවෙනකොට තමයි මේ ප්‍රශ්න ඇතිවන්නේ. අපි වගේ තරුණ හාමුදුරුවරු බය හඳුනන්නේ නැහැ. අපි මේ වැඩේට අවතීර්ණවෙලා තිබෙන්නේ අපගේ ජීවිත තුණුරුවන්ට පූජා කරලා.

ප්‍රශ්නය(- මහානායක හිමිවරුන් ඇතුළු නායක හිමිවරුන් රටේ ප්‍රශ්න පිළිබඳ සංවේදී නැද්ද?

පිළිතුර(- සංවේදී නැති නිසානේ අපිට මේ කෑ ගහන්න වෙලා තියෙන්නේ. රටේ පාලකයන්, මැති ඇමැතිවරු ප්‍රශ්න ගැන කථා කරන්න මහා නායක හිමිවරුන් බැහැදකින්න ගියහම උන්වහන්සේලා වදාළන්නේ. "මේ අපේ තරුණ හාමුදුරුවරු කරන කියන දේ ගණන් ගන්න එපා. පන්සල ළඟ පාරට තාර ටිකක්‌, පන්සලට ගොඩනැඟිල්ලක්‌ හදලා දෙන්න" කියලයි. මේක තමයි තිත්ත ඇත්ත. කොහෙවත් යන තක්‌කඩි දේශපාලකයන්ගේ ඕනෑ එපාකම්වලට අපි නැමෙන්න ඕනැද?

ප්‍රශ්නය(- ඔබවහන්සේ සිරගත කිරීම තුළ ඇත්තේ රටේ ප්‍රශ්න පිළිබඳ හඬනගන බෞද්ධ භික්‌ෂූන් වහන්සේ පාලනය කිරීම යෑයි ඇතැමුන් සඳහන් කරනවා. ඔබවහන්සේ එහි පළමු ගොදුර බවට පත්වූ බවත් කියෑවෙනවා.

පිළිතුර(- ආණ්‌ඩුවේ වත්මන් කාර්යභාරය දෙස බැලූ කල මිනිසුන්ට එහෙම හිතෙන්නෙ පුළුවන්. රටට එරෙහි සියලු දෙනා දැන් කල එළි බැහැලා තිබෙනවා. අප රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන හාරසිය තිහකට වඩා දැන් ක්‍රියාත්මක වෙනවා. ඒවට මුහුණදෙන අපිට තමයි මේ අය ඇඟිල්ල දිගු කරන්නේ. මේ රට පහසුවෙන් ගිලගන්න හැකි ගොදුරක්‌ වෙලා. රට ගිලගන්න මානබලන උදවිය රට දිහා කෑදරකමින් බලා සිටිනවා. මෙය ඉතා අනතුරුදායකයි. සමහරවිට හෙට වුවත් මාව ඝාතනය කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයන් කෙසේ හෝ පරාජය කළ යුතුමයි. ඒ අභියෝගයට මුහුණ දෙන්න අප ලෑස්‌තියි.

ප්‍රශ්නය(- අභියෝගවලට මුහුණ දෙන්න නම් වෙන් වෙන්වම ක්‍රියාත්මක වන සංවිධාන එක මිටියකට එක්‌විය යුතු නොවේද.

පිළිතුර(- නොයෙක්‌ මත තිබුණු. යම් යම් හේතු මත වෙන්ව කටයුතු කළ බෞද්ධ සංවිධාන අද එක මතයකට ගොනුවී තිබෙනවා. ශක්‌තිමත් සඟ බලමුළුවක්‌ හදලා මේ රටේ බෞද්ධයන්ට අහිමිවී යන උරුමයන් ආරක්‌ෂා කර දීමට අප කටයුතු කරනවා.

ප්‍රශ්නය(- සිරගත කිරීම ජාතික කාර්යභාරයට නව පන්නරයක්‌ ගෙනඒමක්‌ද?

පිළිතුර(- අනිවාර්යෙන්ම ඔව්... ඒ ගැන කිසිම තර්කයක්‌ නැහැ.

ප්‍රශ්නය(- කවි බණ වදාළන ඔබවහන්සේ මේ තරම් රැඩිකල් වුණේ කොහොමද?

පිළිතුර(- බණකියන්න ඕන තැන බණ කියන්නත් අවශ්‍ය තැනදී ඉන් එහා ගොස්‌ ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් හැකියාව තිබෙනවා. අපි පහසු මාවත අතහැරලා නින්දා අපහාස හා පීඩා විඳිමින් ජීවිත පරිත්‍යාගයෙන් රට, දැය, සමය වෙනුවෙන් කටයුතු කරනවා. මොන දේ කරන්නත් රට ආරක්‌ෂා කරගත යුතුයි. ජාතිය රැකුනොත් බුද්ධාගම රැකේවි.

ප්‍රශ්නය(- ඔබ වහන්සේට පාලකයන් සමඟ විතරක්‌ නෙමෙයි අපේ හාමුදුරුවරුන් එක්‌කත් මත ගැටුමක්‌ තිබෙනවා වගෙයි.

පිළිතුර(- අනුශාසනා කරන ඇතැම් හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ පරියාප්ති ශාසනය කියලා ශාසනයක්‌ තිබෙන වග. බුද්ධාගමේ කොටස්‌ තුනයි. ප්‍රතිපත්ති, පරියාප්ති, ප්‍රතිවේද ශාසනය. එම කොටස්‌ තුන වෙනවා. පරියාප්ති ශාසනය තමයි මෙතරම් කල් ශාසනය රැකගෙන ආවේ. පන්සල රැකෙන්නේ නැහැ හාමුදුරුවෝ නැත්නම්. හාමුදුරුවෝ රැකෙන්නේ නෑ. දායකයෝ නැත්නම්. උදේ ඉඳන් අනිත්‍ය මෙනෙහි කරලා මේ වැඩේ කරන්න බැහැ. අද බුදුහාමුදුරුවන්ගේ බණ යටපත්වෙලා දේවදත්තගේ බණ ඉස්‌මතු වෙලා තියෙනවා. අපේ හාමුදුරුවෝ දැන් මුළුගැන්විලා ඉඳලා වැඩක්‌ නැහැ. ශාසනය රැක ගැනීමට පෙරට පැමිණිය යුතුයි. ලාංකීය භික්‌ෂුවගේ වර්තමාන කාර්යය වියදණ්‌ඩක්‌ බිම බලාගෙන ඇස්‌ පියාගෙන සිටීම නෙමෙයි. 'ඊට එහා ගිය කාර්යභාරයක්‌ වත්මන් භික්‌ෂුව සතු වෙනවා.

ප්‍රශ්නය(- මේ සිදුවීම්වලින් පසුව හාමුදුරුවන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරනවද?

පිළිතුර(- මෙවැනි දේවල් වලින් අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ. මේ හැම දෙයකින්ම අපි පන්නරය ලබනවා. ජාතික කර්තව්‍යයට මීට වඩා වෙර වීරිය යොදා පණදෙන්න අපි සූදානම්. ඉස්‌සරහට මොකද වෙන්නේ කියලා සැමට බලාගන්න පුළුවන්. අපි අපේ ජීවිතය සාසනයට පූජා කරලා ඉවරයි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.