තොරතුරු දැනගැනීමේ පනත එයි

* රාජ්‍ය ආරක්‍ෂාවට හානිදායක තොරතුරු හෙළි කළොත් හිරේ
* ලිඛිත අනුමැතියක්‌ නැතිව වෛද්‍ය වාර්තා තොරතුරු හෙළි කිරීමත් වරදක්‌
* අපරාධයක්‌ වැළැක්‌වීමට අගතියක්‌ වන රහසිගත තොරතුරු හෙළි කිරීමට බැහැ

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

පාර්ලිමේන්තුවට ඊයේ (24 දා) ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතට අනුව රාජ්‍ය ආරක්‍ෂාවට භෞමික අඛණ්‌ඩතාවට අගතිදායක, රහසිගත ජාත්‍යන්තර බැඳීම් සහ ගිවිසුම් පිළිබඳ මෙන්ම කෙනකුගේ පුද්ගලික තොරතුරු ද හෙළිදරව් කරන සෑම තැනැත්තකුම මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර වසර දෙකක සිර දඬුවමක්‌ නියම කළ හැකිය.

එමෙන්ම රුපියල් පනස්‌දහසක දඩයකට ද මෙම වරදකරු යටත් වන අතර යම් හෙයකින් දඩය හා සිර දඬුවම යන දඬුවම් දෙකම පැනවීමේ හැකියාවක්‌ ද ඇතැයි පනත් කෙටුම්පතේ දැක්‌වේ.

මෙම පනත් කෙටුම්පත යටතේ තොරතුරු හෙළිකිරීම වරදක්‌ ලෙසට ගැනෙන කරුණු රැසක්‌ දක්‌වා ඇත.

රාජ්‍ය ආරක්‍ෂාවට හෝ එහි භෞමික අඛණ්‌ඩතාවට හෝ ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස අගතිදායක තොරතුරු, එම තොරතුරු යම් රජයක්‌ හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර් ජාතික ගිවිසුම් හෝ බැඳීම් විසින් රහසිගතව ලබා දුන් හෝ රහසිගතව ලබාගත් අවස්‌ථාවක එකී තොරතුරු හෙළිකිරීම, විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනුදෙනු පාලනය කිරීමට අදාළ තොරතුරු හෙළි කළ නොහැක.

එමෙන්ම බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීමට අදාළ තොරතුරු, බදු පැනවීම හා භාණ්‌ඩ සහ සේවාවල මිල ස්‌ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීමට, කුලී සහ අනෙකුත් පිරිවැය හා වේතන අනුප්‍රමාණ වැටුප් සහ අනෙකුත් ආදායම් පිළිබඳ තොරතුරු ද යමෙකු ඉල්ලා සිටියහොත් ඒවා හෙළිකිරීම වරදකි.

වාණිජ රහස්‌, වෙළෙඳ රහස්‌ හෝ බුද්ධිමය දේපළ ඇතුළු තොරතුරු හෙළිදරව් කිරීම ද, ලිඛිත අනුමැතිය නොමැතිව යම් තැනැත්තෙකුගේ වෛද්‍ය වාර්තා පිළිබඳ තොරතුරු හෙළි කිරීම ද පනත් කෙටුම්පත යටතේ වරදකි.

යම් අපරාධයක්‌ වැළැක්‌වීම හෝ ඒ පිළිබඳ සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුනට එරෙහිව නඩු පැවරීම සම්බන්ධව අගතියක්‌ වන අවස්‌ථාවක, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ජාතික ආරක්‍ෂාවට අදාළ තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයක අනන්‍යතාව හෙළිවන අවස්‌ථාවකදී එකී තොරතුරු ද හෙළිදරව් කළ නොහැක.

අධිකරණයට අපහාස වන තොරතුරු හෙළිකිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වන තොරතුරු හෙළිකිරීම, විභාග දෙපාර්තමේන්තුව හෝ උසස්‌ අධ්‍යාපන ආයතන මගින් පවත්වන විභාගවලට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත අවස්‌ථාවක එම තොරතුරු හෙළි කිරීමද වරදකි.

ඉහත සඳහන් තොරතුරු හැර අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, මණ්‌ඩලයක හෝ ඕනෑම රාජ්‍ය ආයතනයක සන්තකයේ භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශවීමේ අයිතිවාසිකම සෑම පුරවැසියකුටම ඇතැයි ද පනත් කෙටුම්පතේ දැක්‌වේ.

පනත යටතේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවක්‌ පිහිටුවනු ලබයි. ජනාධිපතිවරයා ඒ සඳහා සාමාජිකයන් පස්‌දෙනකු පත් කරනු ලබයි. ඒ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ නිර්දේශ මතය. එකී සාමාජිකයන් අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රකාශකවරුන්ගේ, කතෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන, වෙනත් සිවිල් සමාජ සංවිධාන විසින් එක්‌ තැනැත්තකු පත් කළ යුතුය.

පනත් කෙටුම්පතට අනුව යම් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට මාස තුනකට පෙර එක්‌ විෂයක්‌ පැවරී ඇති ඇමැතිවරයා විසින් ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු මහජනයාට දැනගැනීමට සැලැස්‌විය යුතුය. එසේ ජනතාවට දැනුම් දිය යුතු වන්නේ ඇමරිකානු ඩොලර් මිලියනයක්‌ ඉක්‌මවන විදේශ ආධාර මත කෙරෙන ව්‍යාපෘති සහ රුපියල් ලක්‍ෂ පහ ඉක්‌මවන දේශීය ආධාර මත කෙරෙන ව්‍යාපෘති බවද පනත් කෙටුම්පතේ දැක්‌වේ.

සෑම රාජ්‍ය ආයතනයක්‌ විසින්ම ජනතාවට තොරතුරු ලබා දීම සඳහා තොරතුරු නිලධාරියකු හෝ ඊට වැඩි නායකයෙක්‌ පත් කළ යුතුයි.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙය ඉදිරියේදී විවාදයට ගැනීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.