දවස්‌ තුනට අධිවේගයට කෝටි තුනක්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

අවුරුදු සමයේ දින තුනක්‌ (13, 14, 15) ඇතුළතදී දක්‍ෂිණ අධිවේගී මාර්ගයෙන් ලැබූ ආදායම රු.කෝටි 3 කට අධික බව අධිවේගී මාර්ග, මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ සමන් ඕපනායක මහතා "දිවයින"ට පැවැසීය.

මෙම දින තුනේදී අධිවේගී මාර්ගයේ වාහන පන්ලක්‍ෂ පනස්‌හත්දහස්‌ විසිතුනකට අධික ප්‍රමාණයක්‌ ධාවනය කර ඇතැයිද හෙතෙම කීය.

අප්‍රේල් 15 වැනිදා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රු. එක්‌කෝටි හැත්තෑ හය ලක්‍ෂයක වාර්තාගත ආදායමක්‌ උපයා ඇත.

සාමාන්‍යයෙන් දිනකට ධාවනය වන වාහන සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 34 ක වර්ධනයකි.

විශේෂයෙන් මෙම කාලසීමාවේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බොහෝ වාහන සීයකට අධික ප්‍රමාණයක්‌ කාර්මික දොaෂවලට ලක්‌ව මාර්ගයේ තැන තැන නතර වී තිබූ බවත්, එබැවින් ඒවා මාර්ගයෙන් ඉවත් කිරීමට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදුවූ බවත් හෙතෙම කීය.

පසුගිය වසර හා සැසඳීමේදී මෙවර අලුත් අවුරුදු සමයේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරුවල අඩුවක්‌ දක්‌නට ලැබිණි.

කෙසේ වෙතත් මෙම කාල සීමාවේ රියෑදුරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ අනතුරු ගණන 25 කි. ඉන් දෙදෙනෙක්‌ තුවාල ලැබූහ.

වාහනයක්‌ පසුකර යාමට තම වාහනය දකුණු පසට ගෙන ඉතාමත් කෙටි දුර ප්‍රමාණයකින් යළිත් වම්පසට ගැනීම බොහෝමයක්‌ අනතුරු වලට හේතුවී තිබේ.

වැඩිම වාහන ගණනක්‌ අධිවේගී මාර්ගයක පිවිස ඇත්තේ කඩවතිනි. එම වාහන සංඛ්‍යාව නවදහස්‌ හයසියයකි.

වාහන පෝලිමේ වැඩිම දිග මීටර් 300 ක්‌ වූ බවද එහෙත් අයකැමිවරුන් වාහන ළඟටම ගොස්‌ මුදල් බාරගෙන එම තදබදය ඉතා ඉක්‌මනින් අවම කළ බවද ඕපනායක මහතා වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.