මෙන්න අලුත්ම ජාවාරම ග්ලයිෆොසෙට්‌

මේ රට ජාවාරම් නොකර ජීවත් වන්නට බැරි රටක්‌ බවට පත්වෙමින් තිබේ. කුඩු, එතනෝල් ජාවාරම්, හොර බඩු ජාවාරම්, මිනිස්‌ අවයව ජාවාරම්, හොර බෙහෙත් ජාවාරම් මේ ආදී වශයෙන් විවිධ ජාවාරම් රැසක්‌ මෙරට ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් සැකකරුවෝද අත්අඩංගුවට ගනිති. අධිකරණයට ද ඉදිරිපත් කෙරෙති. හිරේද යවති. එහෙත් ජාවාරම නොනවතී. ජාවාරම් පිටුපස සිටින්නේ එසේ මෙසේ අය නොවේ. ඇති හැකි බලපුළුවන්කාරයන්ය. ඒ නිසාම ජාවාරම් නතරවන්නේ නැත.

දැන් මේ රටේ "විෂ කෘෂි රසායනයන්" ගෙන්වීමද ජාවාරමක්‌ බවට පත්ව ඇති බවක්‌ පෙනේ.

ග්ලයිෆොසෙට්‌ අඩංගු කෘෂි රසායනයන් ආනයනය කිරීම හා අලෙවි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කරන බව 2015 මැයි 22 වැනිදා කීවේය. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර දින කිහිපයකට පසු එනම් 2015 මැයි 28 වැනිදා කැබිනට්‌ මණ්‌ඩලය එම තහනමට අනුමැතිය ලබා දුන්නේය. ජුනි 11 වැනිදා වන විට (දින 100 ආණ්‌ඩුවේ) මුදල් ඇමැති රවි කරුණානායක ද ආනයන අපනයන පාලන පනත යටතේ ග්ලයිෆොසෙට්‌ මෙරටට ගෙන්වීම තහනම් කරන ලදී. විශේෂත්වය වන්නේ එම "තහනම" අදාළ කතාබහ කෙරෙන අතරවාරයේම ග්ලයිෆොසෙට්‌ අඩංගු කෘෂි රසායන සහිත කන්ටේනර් 15 ක්‌ නැවත ආනයනය කර තිබීමය. එමෙන්ම එම තහනම නොතකා එකී කන්ටේනර 15 ම මුදාහරින්නටද අදිසි හස්‌තයක්‌ කටයුතු කර තිබුණි. ඒ අනුව අපට කියන්නට සිදුවන්නේ එය අරුම පුදුම "තහනමක්‌" බවය. කිසිදු සැකයක්‌ නැතිවම කිව හැක්‌කේ එම ග්ලයිෆොසෙට්‌ තොගයද කෙසේ හෝ රට පුරා අලෙවි කරන්නට ඇති බවය. ඒ අනුව මේ තහනම් බඩු ආනයනය, බෙදාහැරීම, අලෙවිය ද ජාවාරමකි. සරලව කීවොත් රටට "විෂ" ගෙන්වීමත්, මිනිස්‌ ජීවිත අනතුරේ හෙළීමත් කවුරුන් හෝ කාලකණ්‌ණියන් පිරිසක්‌ "ජාවාරමක්‌" බවට පත්කරගෙන තිබේ.

රජරට සරසවියේ කථිකාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙන ආකාරයට මේ ජාවාරම මේ වන විට අමුතුම ආකාරයට සිදු කෙරෙමින් තිබේ. ඒ, එම වල් නාශකය කුඩක්‌ ලෙස පැකට්‌ කර මේ රටේ අලෙවි කිරීමය, ගෙන්වන්නේ ඉන්දියාවෙනි. හර්යානා ප්‍රාන්තයේ කෘෂි රසායන සමාගමක්‌ මගින් නිෂ්පාදනය කරන, ජලයේ මිශ්‍ර කළ හැකි කුඩු විශේෂයක්‌ ලෙස සකස්‌ කර තිබෙන අධික ලෙස ග්ලයිෆොසෙට්‌ අඩංගු මෙම වල් නාශකය ගෙන්වන්නේ උතුරු නැගෙනහිර මුහුදු තීරය හරහා බව කියෑවේ. අලෙවි කෙරෙන්නේ උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ හා මධ්‍යම පළාත්වලය.

මේ රටේ මහා පරිමාණයෙන් කෙරෙන "කුඩු" ජාවාරමද වැඩි වශයෙන් සිදුකෙරෙන්නේ මුහුදු තීර හරහාය.

ග්ලයිෆොසෙට්‌ තහනම් කරනවා යෑයි ජනාධිපතිවරයා දැඩිව කීවේ විෂ සහිත කෘෂි රසායනයක්‌ නිසාය. එයින් වකුගඩු විනාශ වන නිසාය. පසුගිය ජුනි මාසයේදීද ජනාධිපතිවරයා විසින් නියෝග කර ලැබ තිබුණේ සියලුම වර්ගවලට අයත් පූර්ණ වල්නාශක ආනයනය කිරීම, අලෙවි කිරීම සහ භාවිත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙසය. ජනාධිපතිවරයා විසින් පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයා ඇතුළු අදාළ අංශවලට මෙම තහනම් කිරීම පිළිබඳව උපදෙස්‌ ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ මේ අවංක මැදිහත්වීම ගැන අපේ ප්‍රශංසාව හිමිවේ. එහෙත් අපට පෙනෙන හැටියට ජනාධිපතිවරයාට වැඩ කරන්නට සිදුව ඇත්තේ ඔහුගේ උපදෙස්‌ නොතකන නිලධාරීන් පිරිසක්‌ සමඟය. මේවාට සමහර දේශපාලනඥයන්ද සම්බන්ධ බවට සැකයක්‌ නැත. මේ සිදුවන "ජාවාරම්" දෙස බලන විට අපට එසේ සිතෙන එක සාධාරණය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.