පලාලියෙන් ඇරඹීට ගිය
ඉන්දු ලංකා යුද්ධය නැවතුන හැටි මෙන්න

කීර්ති වර්ණකුලසූරිය

"බී. එම්. පී. යුද රථ යොදවා පලාලි ධාවන පථය වහනවා"
- ඉන්දීය හමුදා ජෙනරාල් රොඩ්රිගෝ

"මම යුද රථවලට වෙඩි තියනවා"
- බ්‍රිගේඩියර් ජයන්ත ජයරත්න

 

 

 

 

 

 

 


 

1987 ඔක්‌තෝබර් 5 දා මෙරට යුද හමුදා ඉතිහාසයේ සුවිශේෂි දිනයකි. ඒ බලසම්පන්න ඉන්දීය සාම හමුදාව හමුවේ පලාලි හමුදා කඳවුර භාරව සිටි හමුදා නිලධාරියා හිස නොනැමීමයි. එදා ඉන්දීය සාම හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර ඇවිලීමට ගිය යුද්ධයක්‌ අනූනවයෙන් වැළකුණි.

විසිනව වසරකට පෙර සිදුවූ මෙම සිද්ධියට මුල්වූයේ නාවික හමුදාව විසින් වැල්වැටිතුරේ වඩමාරච්චි මුහුදේදී කොටි ත්‍රිකුණාමල නායකයාවූ පුලෙන්තිරන්, මඩකලපුව කොටි හමුදා නායකයාවූ කුමාරප්පා ඇතුළු කොටි ත්‍රස්‌තයන් 14 ක්‌ අත්අඩංගුවට ගැනීමයි.

"කඩල් පුරා" නමින් හඳුන්වනු ලැබූ කොටි මුහුදු බළකායට අයත් යාත්‍රාවකින් ත්‍රිකුණාමලයේ සිට යාපනය වෙත එන අතරේ මොවුන් නාවික හමුදා යාත්‍රාවක නිරීක්‍ෂණයට ලක්‌විය.

අත්අඩංගුවට ගනු ලැබූ කොටි කණ්‌ඩායම අතර මඩකලපුව සහ ත්‍රිකුණාමල කොටි හමුදා නායකයන් සිටින බව නාවික බලධාරීන් දැනසිටියේ නැත.

ඔක්‌තෝබර් 3 දා අත්අඩංගුවට ගත් මෙම කොටි කණ්‌ඩායම වැඩිදුර පරීක්‍ෂණ සඳහා පලාලිහි ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරට භාරදෙනු ලැබීය.

එහිදී පුලෙන්තිරන් සහ කුමාරප්පන් කවුදැයි අනාවරණය විය. සිය කොටි හමුදා නායකයන් දෙදෙනා නාවික බලධාරීන් අල්ලාගෙන පලාලි කඳවුරට බාරදී ඇති බව ශ්‍රවණය කළ ප්‍රභාකරන් දැඩිලෙස කෝපාවිශ්ඨ විය.

වාහාම කොටි හමුදා නායකයන් දෙදෙනා ඇතුළු කොටි 14 ක පිරිස මුදාහරින ලෙස ප්‍රභාකරන් පලාලි හමුදා බලධාරියාගෙන් කළ ඉල්ලීම එකහෙලාම ප්‍රතික්‍ෂේප විය.

පුලෙන්තිරන් සහ කුමාරප්පන් සමඟ අබ්දුල්ලා, රගු, කාරන්, පලනි, මිරේශ්, ආනන්ද කුමාර්, රෙජිනෝල්ඩ්, අම්බලගන්, නවකුමාර්, නාලන් යන ත්‍රස්‌තයන්ද පලාලි කඳවුරේදී ප්‍රශ්න කිරීම්වලට ලක්‌විය.

මෙහිදී පුලෙන්තිරන් කවුදැයි හමුදා භටයන් දෙදෙනකු විසින් හඳුනාගනු ලැබීය. හබරණ මාර්ගයේ අළුත්ඔය කිතුල්උතුව ප්‍රදේශයේදී බස්‌රථ තුනකට ප්‍රහාර එල්ල කර බස්‌ මගීන් 127 කට අධික පිරිසක්‌ බිහිසුණු ලෙස ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කර ඇත්තේ පුලෙන්තිරන් බව සනාථ විය.

මේ බව විගස කොළඹ හමුදා මූලස්‌ථානයට සහ එවකට ආරක්‍ෂක බලධාරියාවූ ලලිත් ඇතුලත්මුදලි වෙත දැන්වීමට පලාලි හමුදා කඳවුරේ ප්‍රධානියාවූ බ්‍රිගේඩියර් ජයන්ත ජයරත්න ක්‍රියාකළේය.

බ්‍රිගේඩියර්වරයාගේ නියෝග මත එම කොටි ත්‍රස්‌තයන්ගේ කරේ තිබුණ සයනයිඩ් කරල්ද ඉවත් කිරීමට හමුදා භටයන් ක්‍රියාකළහ.

කිතුල්ඔඋතුව මිනිස්‌ ඝාතනය මෙහෙයවූ පුලෙන්තිරන් අත්අඩංගුවට පත්වීම ගැන සතුට පළකල ඇතුලත්මුදලි මහතා කොටි කණ්‌ඩායම රත්මලානට ගෙනඒමට විශේෂ ගුවන් යානාවක්‌ පලාලි වෙත එවන බව කියා සිටියේය.

මේ අතර කොටි නියෝජිතයකුවූ යෝගරත්නම් යෝගි විගස පලාලිහි සිටි ඉන්දීය සාම හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානියාවූ ජෙනරාල් ප්‍රැන්සිස්‌ රොඩ්රිගෝ හමුවී කොටි සහ ඉන්දීය රජය අතර ඇතිකරගත් ගිවිසුම ප්‍රකාර කොටි කණ්‌ඩායම මුදාහැරිය යුතු බව කියා සිටියේය.

ජෙනරාල් රොඩ්රිගෝ එම ඉල්ලීමට එකඟත්වය පලකළේය. එහෙත් කොටි හමුදා නායකයන් දෙදෙනා ඇතුළු ත්‍රස්‌aතකණ්‌ඩායම ශ්‍රී ලංකා හමුදාව බාරයේ සිටින නිසා ඉන්දීය රජය ලවා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කර කොටි කණ්‌ඩායම මුදාහරින බව ඉන්දීය ජෙනරාල්වරයා දැනුම් දුන්නේය.

පසුව ජෙනරාල් රොඩ්රිගෝ පලාලිහි ශ්‍රී ලංකා හමුදා කඳවුර භාර බ්‍රිගේඩියර් ජයරත්නගේ කුටියට ඇතුල්වී කොටි හමුදා නායකයන් දෙදෙනා ඇතුළු ත්‍රස්‌තයන් 14 ක පිරිස ඉන්දීය සාම හමුදාවට බාරදෙන ලෙස කියා සිටියේය.

ජෙනරාල් රොඩ්රිගෝ කළ මෙම ඉල්ලීම බ්‍රිගේඩියර් ජයරත්න විගස කොළඹ හමුදා මූලස්‌ථානයට සහ ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

එසේ වූවත් ජෙනරාල් රොඩ්රිගෝ කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයද එකහෙළාම ප්‍රතික්‍ෂේප කළේය.

මෙම ඉල්ලීම අමතරව ජෙනරාල් රොඩ්රිගෝ තවත් ඉල්ලීමක්‌ කරමින් කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම්, යෝගි ඇතුළු පිරිසකට කොටි කණ්‌ඩායම හමුවී සාකච්ඡා කිරීමට ඉඩදෙන ලෙස පවසා ඇත.

එම ඉල්ලීමට බ්‍රිගේඩියර් ජයරත්න එකඟවිය. එසේම ජෙනරාල් රොඩ්රිගෝ ඇමතූ බ්‍රිගේඩියර්වරයා තමාට කොටි කණ්‌ඩායම කොළඹට එවන ලෙස නියෝග ලැබී ඇතැයි කියාසිටියේය.

මේ වනවිට ඉන්දීය සාම හමුදා භටපිරිසක්‌ කොටි කණ්‌ඩායම අත්අඩංගුවේ සිටි ගුවන් අංගනය සමීපයේ ස්‌ථානගත කිරීමට ජෙනරාල් රොඩ්රිගෝ ක්‍රියාකළ බව වාර්තාවිය.

මේ අතර කොළඹ ආරක්‍ෂක මණ්‌ඩලය රැස්‌වී හදිසි සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. එහිදීද තීරණය වූයේ කොටි හමුදා නායකයන් දෙදෙනා ඇතුළු කොටි ත්‍රස්‌ත කණ්‌ඩායම පලාලි සිට කොළඹටගෙන ආයුතු බවත් ඉන්දීය ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළයුතු බවය.

මෙම පසුබිම මැද කොටි සංවිධානය සිවිල් වැසියන් පිරිසක්‌ පලාලි හමුදා කඳවුර අසලට එවා අත්අඩංගුවේ සිටින කොටි කණ්‌ඩායම නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත.

මෙම උද්ඝෝෂකයන් පලාලි කඳවුරට කඩාවැදීමට ක්‍රියාකරනු ඇති බවට අනතුරු ඇඟවූ ජෙනරාල් රොඩ්රිගෝ උද්ඝෝෂණය අතර ළමුන් හා කාන්තාවන් සිටින නිසා ඔවුන්ට වෙඩි තැබිය නොහැකි බවද පැවැසීය.

ජෙනරාල් රොඩ්රිගෝ සහ බ්‍රිගේඩියර් ජයරත්න අතර අර්බුදය උත්සන්න වන අවස්‌ථාවේ ඇන්ටන් බාලසිංහම් ඇතුළු පිරිස කොටි කණ්‌ඩායමට සයනයිඩ් කරල් ලබාදී ඇති බව පසුව හෙළිවිය.

"අපව කොළඹට යෑවීමට උත්සාහ කළහොත් සයනයිඩ් කරල් ගිල සිය දිවි නසාගන්නවා යයි" පුලෙන්තිරන් ඇතුළු කොටි තර්ජනය කිරීම නිසා බ්‍රිගේඩියර්වරයා බරපතල දුෂ්කර අවස්‌ථාවකට මුහුණ පෑවේය.

ඔහු ඇතිවී තිබෙන තත්ත්වය හමුදාපති හා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලලිත් ඇතුලත්මුදලිට දන්වනු ලැබීය.

එහිදී කොළඹ හමුදා නායකත්වයෙන් දැඩි තර්ජනාත්මක උපදෙස්‌ බ්‍රිගේඩියර්වරයාට ලැබී ඇත.

"පලාලි ධාවන පථයේ ඇති යානාවේ දමා කොටි කණ්‌ඩායම එවපන්? නැත්නම් නුෙඕ රාජකාරිය දෙවැනියාට පවරා වහාම කොළඹට වරෙන්" යයි යුද හමුදා බලධාරීන් බ්‍රිගේඩියර්වරයාට නියෝග කළේය.

තමාට කොළඹට එන්න යයි කියන්නේ අත්අඩංගුවට ගැනීමට බවත් යුද්ධාධිකරණයක්‌ හමුවේ මුහුණදීමට සිදුවන බවත් බ්‍රිගේඩියර් ජයරත්නට අවබෝධ විය.

ඒ නිසා ඔහු කොළඹ හමුදා නායකත්වයේ නියෝගය ඉටුකිරීම සඳහා ලහි ලහියේ කටයුතු කළේය.

"මට නියෝගයට අවනතවීමට සිදුවී තිබෙනවා" යයි බ්‍රිගේඩියර් ජයරත්න ඉන්දීය ජෙනරාල් රොඩ්රිගෝ අමතා කීවේය.

කොටි කණ්‌ඩායම මුදාගැනීමේ අරමුණින් ජෙනරාල් රොඩ්රිගෝ යළිත් වරක්‌ බ්‍රිගේඩියර්වරයා අමතමින් ඉන්දීය මහ කොමසාරිස්‌ ඡේ. එන්. ඩික්‌සිත් පැය කීපයකින් නවදිල්ලියේ සිට කටුනායකට පැමිණෙන බවත් ඔහු විගස ජනරාධිපති ඡේ. ආර්. ජයවර්ධන හමුවී කොටි කණ්‌ඩායම මුදාහැරීම සඳහා නියෝගයක්‌ ලබාගන්නා බවත් කියාසිටියේය.

මට පැය ගණනක්‌ බලන් ඉන්න බැහැ. කොළඹ හමුදා නියෝගය ඉක්‌මනින් ක්‍රියාත්මක කිරීමට මා බැඳී සිටිනවා යයි බ්‍රිගේඩියර් ජයරත්න ප්‍රතිචාර දක්‌වමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදා බ්‍රිගේඩියර්වරයාගේ ප්‍රකාශය කෙරේ නොසතුට පළකළ ජෙනරාල් රොඩ්රිගෝ මෙලෙස කීවේය. කොටි කණ්‌ඩායම රැගෙන ගුවන් ගතවීමට මම ඔබේ යානාවට ඉඩදෙන්නේ නැහැ. මගේ බී. එම්. පී. සන්නද්ධ යුද රථ යොදා ධාවන පථය වහනවා යයි රොඩ්රිගෝ ගුගුළේය. බ්‍රිගේඩියර් ජයන්ත ජයරත්න මෙම තර්ජනයට බියවනු ඇතැයි ඉන්දීය ජෙනරාල්වරයා අදහස්‌ කළේය. එහෙත් කෝපයට පත් බ්‍රිගේඩියර් ජයරත්න "මම නුqඹේ බී. එම්. පී රථවලට වෙඩිතබා වනසනවා" යයි කෑගැසීය.

බලසම්පන්න ඉන්දීය සාම හමුදාවේ ජෙනරාල්වරයකුට අභියෝග කළ එකම ශ්‍රී ලාංකික හමුදා නිලධාරියා ලෙස බ්‍රිගේඩියර් ජයන්ත ජයරත්න ඉතිහාසයට එක්‌වූයේ ලෙසය.

එහෙත් මේ සිද්ධිය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යුද්ධයකට මුලපිරූ අවස්‌ථාවක්‌ විය.

ජෙනරාල්වරයකු සහ බ්‍රිගේඩියර්වරයකු අතර ගැටුමක්‌ පවතින අවස්‌ථාවේ කොටි කණ්‌ඩායම සයනයිඩ් කරල් ගිල දමා සිය දිවි නසා ගත්හ. එහෙත් ඉන් දෙදෙනකු රෝහල් ගතකිරීමෙන් ජීවිත ගැලවුණි.

මෙය සිදුවූයේ බ්‍රිගේඩියර්වරයා තම බලකායේ සිටි හොඳම සෙබලුන් තිහකගෙන් යුත් පිරිසක්‌ තෝරාගෙන විගස ගුවන් යානා අංගනයේ රඳවා සිටින කොටි කණ්‌ඩායම ගුවන්යානාවට ගෙනයන මෙන් නියෝග කිරීම අතරේයි.

එම හමුදා භට පිරිස සමඟ බ්‍රිගේඩියර්වරයාද ගුවන් අංගනයට දිවයන විට කොටි කණ්‌ඩායම කොටි සංවිධානයේ නියෝග මත සයනයිඩ් ගිල දමා තිබුණි.

පුලෙන්තිරන්, කුමාරප්පා ඇතුළු කොටි කණ්‌ඩායම සියදිවි නසානොගත්තේ නම් මහත් විනාශයක්‌ සිදුවනු නියතය.

ඒ ජෙනරාල් රොඩ්රිගෝ පලාලි ගුවන් ධාවන පථය තම බී. එම්. පී. යුද රථ යොදවා වසාදැමීමත් එම රථවලට බ්‍රිගේඩියර්වරයා වෙඩිතැබීමත් නිසාය.

බ්‍රිගේඩියර් ජයරත්න සහ ඉන්දීය සාම හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් රොඩ්රිගෝ අතර ඇතිවූ බරපතල ගැටුම පසුව අමාත්‍ය ලලිත් ඇතුලත් මුදලි වෙතද හෙලිවිය. එවකට කොළඹ රක්‍ෂණ මන්දිරයේ ඇතුලත්මුදලිගේ කාර්යාලය පිහිටියේය.

අමාත්‍යවරයා මේ සිද්ධිය මාධ්‍යවේදීන් සුළු පිරිසකට හෙළිකරනු ලැබීය. ඉන්දීය සාම හමුදා ජෙනරාල්වරයාට අභියෝග කළ බ්‍රිගේඩියර් ජයරත්න පසුව මේජර් ජෙනරාල් ධුරයට උසස්‌ විය.

එහෙත් 1988 ඔක්‌තෝම්බර් මස ඔහු හදිසියේම අභාවප්‍රාප්ත විය.

මේජර් ජෙනරාල් ජයරත්න ප්‍රභාකරන්ට හා ජෙනරාල් රොඩ්රිගෝට හිස නොනැමූ හමුදා නිලධාරියකු ලෙස මෙරට යුද හමුදා ඉතිහාසයට එක්‌විය. එහෙත් ඔහුව අද අමතක වී ඇත. හබරණ කිතුල්ඔතුව මාර්ගයේදී බස්‌මගීන් 127 ක්‌ ඝාතනය කිරීමේ ඝාතන මෙහෙයුම දියත් කළ පුලන්තිරන් එදා පලාලි හමුදා අංගනයෙන් මුදාහැරියේ නම් තවත් විශාල මිනිස්‌ ඝාතන සිදුවීමට ඉඩ තිබුණි.

මෙලෙස ඉන්දීය සාම හමුදා ජෙනරාල් සුනිත් ප්‍රැන්සිස්‌ රොඩ්රිගෝ මුදාගැනීමට උත්සාහ කළ කොටි කණ්‌ඩායමේ සිටි ත්‍රිකුණාමල කොටි හමුදා නායක පුලෙන්තිරන් බිහිසුණු මිනිස්‌ ඝාතකයෙකි.

1987 අප්‍රේල් 17 දා මහ සිකුරාදා දිනයයි. මේ ඓතිහාසික දිනයේ තමන්ට විපතක්‌ වනු ඇතැයි බස්‌ මගීන් සිතුවේ නැත. එහෙත් මගීන් රැගත් බස්‌ රථ තුනක්‌ එනතුරු පුලෙන්තිරන් ප්‍රමුඛ කොටි මිනීමරුවන් පිරිසක්‌ ත්‍රිකුණාමල හබරණ මාර්ගයේ 123 සහ 129 සැතපුම් කණු අසල රැඳීසිටියහ. මෙම ප්‍රදේශය ජන ශූන්‍ය ප්‍රදේශයක්‌ විය. නිවාඩුවට සිය ගම්බිම් බලා යමින් සිටි හමුදා සෙබළුන් පිරිසක්‌ද එම බස්‌ රියේ සිටීය.

බස්‌ රථ වලින් බිමට බස්‌සවා පෝලිම් ගස්‌සනු ලැබූ බස්‌ රථ මගීන්ට ස්‌වයංක්‍රීය අවිවලින් වෙඩිතැබීමට කොටි ක්‍රියාකළහ. කීපදෙනකුද වෙඩි පහරවල් මැද කැලෑවට පැනගත්හ. එහෙත් බස්‌රථවල සිටි කාන්තාවන් හා ළමුන්ද ඝාතනය විය. වෙඩි වැදී තුවාල ලබාසිටි ඇතැම් මගීන්ට පොලු වලින් පහරදීමට පුලෙන්තිරන්ගේ කොටි මිනීමරුවෝ ක්‍රියාකළහ.

යුද හමුදා භටපිරිසක්‌ ප්‍රහාරය සිදුවූ ස්‌ථානයට පැමිණෙන විට හබරණ කිතුල්ඔතුව මඟ ලේ වලින් නැහැවී ඇති අයුරු දැකගත හැකිවිය. මෙහිදී තුවාල ලබා සිටි මගීන් 64 දෙනකු බේරාගැනීමට හමුදා සෙබළුන්ට හැකිවිය. ඒ වන විට කොටි කණ්‌ඩායම පැනගොස්‌ තිබුණි.

මෙම බස්‌රථ තුන පසුපස ලොරි දෙකක්‌ද පුද්ගලික මෝටර් රියක්‌ද පැමිණි අතර එහි සිටි පිරිසද කොටින් විසින් ඝාතනය කරනු ලැබීය. ඝාතනය වූ මගීන්ගෙන් වැඩිදෙනා දකුණේ සිට සිය ඥතීන් බැලීමට ත්‍රිකුණාමලයට ගොස්‌ ආපසු පැමිණෙමින් සිටි අයයි.

මෙම ඝාතනය ගැන කොටි පණිවුඩවලින් හෙලිවූයේ එය පුලෙන්ද්‍රන් හෙවත් පුලෙන්තිරන් මෙහෙයවූ බවය.

පුලෙන්තිරන් අල්ලා ගැනීම සඳහා හමුදාව මෙහෙයුමක්‌ දියත් කළත් ඔහු අසුවූයේ නැත.

පසුව කොටි සංවිධානය උතුරේ තිරුවිල්හිදී පුලෙන්තිරන් කුමාරප්පා සහ කොටි කණ්‌ඩායම වෙනුවෙන් ස්‌මාරකයක්‌ පිහිවුවා වාර්ෂිකව ඊට බුහුමන් දැක්‌වීමට ක්‍රියාකළහ. එහෙත් වන්නි මෙහෙයුමත් සමඟ යුද හමුදා සෙබළු 2010 දී තීරුවෙලි ස්‌මාරකය මුළුමනින්ම විනාශ කර දැමීමට ක්‍රියාකළහ.

1987 ඔක්‌තෝබර් 5 දා සවස 5.05 ට පමණ කොටි ත්‍රස්‌ත කණ්‌ඩායම සිය දිවි නසාගැනීමේ සිද්ධිය 2007 දක්‌වාම සැමරීමට කොටි ක්‍රියාකළහ. වඩමාරච්චි මුනායි නැමැති ස්‌ථානයේදී පැවැත්වූ මෙම සමරු උත්සවයට මියගිය කොටින්ගේ පියවරුන්ද ගෙන්වා තිබූ බවද හෙලිවිය. 29 වසරකට පෙර සිදුවූ මෙම ත්‍රාසජනක සිද්ධිය වත්මන් තරුණ පරපුර නොදනී. එදා මේජර් ජෙනරාල් ජයන්ත ජයරත්න ඉන්දීය හමුදාවට පෙන්නුම් කළේ කොන්දක්‌ ඇති හමුදා නිලධාරීන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටින බවයි. ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවට පැමිණ දෙමසක්‌ ගතවන අවස්‌ථාවේ කොටි සංවිධානය හිතුමතේ ක්‍රියාකරමින් පුලෙන්තිරන් ඇතුළු කොටි කණ්‌ඩායම ත්‍රිකුණාමලයේ සිට යාපනයට එවීමට ක්‍රියාකළේ අබිරහස්‌ මෙහෙයුමකට බව පසුව වාර්තා විය.

එදා පලාලිහි සිදුවූ මෙම ගැටුම ගැන ජෙනරාල් රොඩ්රිගෝ ඉන්දීය මාධ්‍යවලට හෙලිකළේ නැත. ඉන්දීය හමුදාවෙන් විශ්‍රාම යැමෙන් පසු ජෙනරාල් රොඩ්රිගෝ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරයා ලෙස 2004 දී රාජකාරි බාරගෙන 2010 දී ඉවත්විය.

ජෙනරාල් රොඩ්රිගෝ 29 වසරක්‌ තිස්‌සේ රැකගත් රහස්‌ අපි මෙලෙස හෙළිකරන්නෙමු.

එහෙත් එදා ඉන්දීය ජෙනරාල්වරයාට අභියෝග කළ මේජර් ජෙනරාල් ජයන්ත ජයරත්න වෙනුවෙන් ස්‌මාරකයක්‌ පවා ඉදිවී නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.