දේශයට ජාතියට ණය ගෙවූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා



1930 ගණන්වලදී කළුගඟට දකුණු දෙසින් පිහිටි භූමියේ ගාලු පාරට නැගෙනහිර දෙසින් පිහිටි බිමෙහි දිසාපති නිල නිවාසය හා කළුතර කච්ෙච්රිය ඇතුළු රජයේ ආයතන පිහිටා තිබුණ අතර ගාලු පාරට බටහිර දෙසින් ඇති පහළ මළුව වශයෙන් හැඳින්වෙන ස්‌ථානයේ අනාරක්‍ෂිතව පැවැති බෝධියට ප්‍රදේශවාසීන් විසින් පුද පූජා පවත්වා ඇත. මෙම ස්‌ථානයේ වටිනාකම හඳුනාගත් සිරිල් ද සොයිසා මහතා මෙහි මල් ආසනයක්‌ ඉදිකරවීමෙන් පසුව මෙම භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. එම සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී එවකට දිසාපති බංගලාවේ පදිංචිව සිටි සුදු ජාතික දිසාපතිවරයාගෙන් ද විටින් විට බාධා එල්ල වී ඇත. එහෙත් නීතිඥයකු වූ සිරිල් ද සොයිසා මහතා ඒ සියල්ල මැඩපවත්වා ගනිමින් කළුතර බෝධිය අද පවත්නා තත්ත්වයට පත් කරලීමට ඉමහත් වෙහෙසක්‌ දරා ඇත.

මෙම ස්‌ථානයේ පාලනය ගෙන යැම සඳහා "කළුතර බෝධි භාරකාර මණ්‌ඩලය" පිහිටුවීම එතුමා විසින් ගන්නා ලද ඉතාම දූරදර්ශි පියවරකි. මෙම භාරය පිහිටුවා ලියාපදිංචි කිරීමෙන් ඒ සඳහා නිත්‍යානුකූල භාවයක්‌ ලබාදී ඇති අතර, පාලන කටයුතු ගෙන යැම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එහි මැනවින් සඳහන් කර ඇති බැවින් මෙම ස්‌ථානයේ පාලනය ඉතාමත් විනිවිදභාවයකින් යුතුව කර ගෙන යැම ට අවස්‌ථාව සැලසී ඇත. එවකට මෙරට තුළ කීර්තිනාමයන් දැරූ රට පිළිගත් විද්වතුන් 8 දෙනකු සාමාජිකයන් ලෙස පත් කරමින් බෝධි භාරකාර මණ්‌ඩලය ස්‌ථාපනය කොට ඇත. මේ ස්‌ථානයේ සංවර්ධන කටයුතු සඳහා එතුමාගේ පෞද්ගලික ධනය විශාල වශයෙන් වැය කර ඇති අතර, බැතිමත් ජනතාවටද සහභාගි විය හැකි වන පරිදි "පිංකැට" මගින් පුණ්‍යාධාර ලබා ගැනීමට කටයුතු කරන ලදී. මෙම පූජනීය ස්‌ථානය ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වන විට යාබද පිහිටි කළුතර නගර සභා කාර්යාලය පිහිටි ඉඩම ද මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඒ සඳහා දැනට ද කළුතර නගර සභාව පවත්වාගෙන යන ගොඩනැඟිල්ල, නගර සභාවට ඉදිකරදී එම ඉඩමද නිදහස්‌ කරගෙන සංවර්ධනය කර ඇත.

වසර 2300 ක්‌ පමණ පැරණි අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දෙතිස්‌ පලරුහ බෝධීන් වහන්සේ නමක්‌ බව විශ්වාස කරන ප්‍රධාන පාරට නැගෙනහිර දෙසින් කඳු ගැටය මත පිහිටා ඇති බෝධීන් වහන්සේ සහිත භූමිය නිදහස්‌ කර ගැනීම සඳහා එම ඉඩමේ තිබුණ කළුතර දිසාපති මැදුර හා කච්ෙච්රිය වෙනුවට සිරිල් ද සොයිසා මහතාට අයත් පෞද්ගලික නිවසක්‌ සහ නාගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක්‌ ලබාදී ඇති අතර, එහි කළුතර කච්ෙච්රිය සඳහා අදාළ ගොඩනැඟිලි ඉදිකර දීමෙන් පසුව 1970 වර්ෂයේදී එම ඉඩම නිදහස්‌ කරගෙන ඇත. දැනට එම භූමියේ ඉදිකර ඇති දර්ශනීය වටදාගෙය සහිත චෛත්‍ය කළුතර නගරයටම අලංකාරයක්‌ වන අතර, කළුතර හඳුන්වනු ලබන ප්‍රධාන සංකේතය බවටද පත්ව ඇත. එසේම කළුතර බෝධි භාරකාර මණ්‌ඩලය විසින් බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා අදටත් ඉදිරියටත් ඉටු කරවනු ලබන සේවාව අගය කළ යුත්තේ එතුමාට පුණ්‍යානුමෝදනා කරවමිනි.

කතරගම ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්‌කරණ කටයුතු අඩපණ වී ඇනහිට තිබූ අවස්‌ථාවේ එතුමා කිරිවෙහෙර ප්‍රතිසංස්‌කරණ සමිතියේ සභාපතිත්වය භාරගෙන පෞද්ගලිකව එම කටයුතු මෙහෙයවමින් එම කාර්ය නිම කරවා ඇත. 1960 සිට 1978 දක්‌වා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති වශයෙන් පුරා අවුරුදු 19 තිස්‌සේ කටයුතු කළ කාලය තුළ කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැඟිලි සංකීර්ණය හා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකරවීමටද කටයුතු කර ඇත.

අළුත්ගම කන්දෙ විහාරය, පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන, බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටිය ගංගාරමය, බෙල්ලන්විල රජමහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය වැනි විහාරස්‌ථාන රාශියක සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබාදී ඇත. ලන්ඩන් බෞද්ධ විහාරය සහ සැවැත්නුවර ආනන්ද බෝධියේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ද එතුමා මැදිහත්වී ඇත.

එතුමා ආරම්භ කළ "ස්‌වර්ණපාලි බස්‌ සමාගම" විසින් එවකට කොළඹ සිට ගාල්ල දක්‌වා මගී බස්‌ රථ සේවාවක්‌ සපයන ලදී. පසුව මෙය "සවුත් වෙස්‌ටන් බස්‌ සමාගම" බවට පරිවර්තනය විය. මෙම බස්‌ රථ සමාගම ද අති විශාල රැකියා අවස්‌ථා ප්‍රමාණයක්‌ ජනිත කර තිබිණි. 1957 බස්‌ ජන සතු කළ අවස්‌ථාවේදී, සියලුම බස්‌ රථ අලුත්වැඩියා කර ගෙවුණු ටයර් වෙනුවට අලුත් ටයර් යොදා රජයට භාරදෙන ලෙස, ඒ වනවිට මෙම බස්‌ රථ සමාගමේ සභාපතිවරයාව සිටි තම සහෝදර ටී. ටී. ද සොයිසා මහතාට එතුමා විසින් උපදෙස්‌ දී තිබුණ බව එවකට ප්‍රසිද්ධ කරුණක්‌ විය.

මීට අමතරව සිය ගම් ප්‍රදේශය වන බලපිටියේදී ගම්වාසීන් 1500 කට පමණ රැකියා ලබාදෙමින් අත් යන්ත්‍ර පෙAaෂකර්ම කම්හලක්‌ ඔහු ආරම්භ කළේය. දිනකට පැය 16 ක්‌ වැඩ කළ ඔහු තම සේවකයන්ගෙන් ද පැය 08 ක කාර්යක්‍ෂම හා අවංක සේවයක්‌ බලාපොරොත්තු විය.

එතුමන්ගේ සේවාවන් අතර තවත් අමතක කළ නොහැකි කාර්යයක්‌ වන්නේ එතුමන් විසින් කළුතරට දායාද කර ඇති කළුතර විද්‍යාලය සහ කළුතර බාලිකා විද්‍යාලය වශයෙන් හැඳින්වෙන බාලක හා බාලිකා විදුහල් දෙක කළුතර නගරයේ ප්‍රධානම සහ ජනප්‍රියතම පාසල් දෙක වශයෙන් පිළිගැනේ. මේ පාසල්වල උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දිවයිනේ විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ට සේවාවන්හි නිරතවී ඇති අතර, මෙම විදුහල්වලදී දැනටත් නිරතුරුවම සිරිල් සොයිසා මහතා කෘතගුණ පූර්වකව අනුස්‌මරණය කරති.

ඉහත සඳහන් සියලු සමාජමය හා ව්‍යාපාරික කාර්යයන් ඔහු විසින් ඉටු කරන ලද්දේ වුවද ඔහු වෘත්තියෙන් නීතිඥයකු විය. දක්‍ෂ අපරාධ නීතිඥයකු වශයෙන් කළුතර ප්‍රදේශය තුළ කැපී පෙණුන ඔහු වසර 09 ක්‌ ලංකා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් ද නොමැකෙන මෙහෙයක්‌ ඉටු කර ඇත. කොළඹ උසාවි සංකීර්ණයේ නීතිඥ සංගම් ගොඩනැඟිල්ල ඉදිකරන ලද්දේ ද එතුමා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් කළ වකවානුවේදීය.

මෙතුමා ක්‍රියාකාරී දේශපාලනයේ නියෑලුන අයෙකු නොවුවද ඔහුගේ හැකියාවන් හා සමාජ පිළිගැනීම පිළිබඳව සලකා එවකට පිහිටුවා තිබූ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය ලෙසින් හැඳින් වුණ සෙනෙට්‌ සභාවේ සාමාජිකයකු ලෙස එතුමා පත් කරන ලදී. (සෙනෙට්‌ සභාව පිහිටුවා තිබුණේ මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක්‌ නොදැක්‌වෙන එහෙත් දේශයට, ජාතියට සේවයක්‌ කළ හැකි සමාජය පිළිගත් දක්‍ෂ අයවලුන්ගේ නියෝජනයක්‌ රාජ්‍ය පාලනය සඳහා ලබාදීමේ අරමුණෙනි.) පසුව එතුමා සෙනෙට්‌ සභාවේ සභාපතිවරයා වශයෙන් ද තෝරාගනු ලැබීය.

එතුමා විසින් මේ දේශය වෙනුවෙන් ඉටු කළ සේවාව පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් කියා නිම කළ නොහැකි හෙයින් මෙහි සඳහන් කරන ලද්දේ ඉතාම කෙටි විස්‌තරයක්‌ පමණි. මෙතුමා ඉන්දියාවේ උපත ලද්දේ නම් අද එතුමා දේවත්වයෙන් සලකා ගරු බුහුමන් ලැබීමට සුදුස්‌සෙකු වනු ඇත. ශ්‍රී ලංකාවට දෙවියකු බඳු වූ මේ මානව හිතවාදියා 1978 ජනවාරි මස 02 වැනි දින අභාවප්‍රාප්ත වුවද එතුමන් විසින් ආරම්භ කළ සද්ක්‍රියාවන් රැසක්‌ තවමත් මෙරට තුළ ඉතා කාර්යක්‍ෂමව එතුමාගේ බලාපොරොත්තු ඉටු කරමින් සාර්ථකව පවත්වාගෙන යනු දක්‌නට ලැබීම සතුටට කරුණකි. 20 වන සියවසේදී ශ්‍රී ලංකාවට අමරණීය සේවයක්‌ ලබා දුන් මේ ජාතික වීරවරයාට ගෞරවය පුද කරමින් එතුමාට ඉතා ඉක්‌මනින්ම ධර්මාවබෝධය ලැබේවා'යි ප්‍රාර්ථනය කරමි.

කරු ජයසූරිය
කථානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.