ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත සරසවිය
කැලණිය විශ්වවිද්‍යාලය
පොලිතින් භාවිතයෙන් ඉවත් වෙයි


ස්‌වාභාවික සම්පත් සුරක්‌ෂිත කරමින් මානව පැවැත්ම සඳහා යෝග්‍ය පරිසරයක්‌ නිර්මාණය අරමුණින් හරිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන විශ්වවිද්‍යාලයක්‌ ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය 2014 වර්ෂයේ දෙසැම්බර් හඳුන්වා දෙනු ලැබිණි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පමණක්‌ නොව ජාතික වැදගත්කමක්‌ සහිත පරිසර හිතකාමී පියවර රැසක්‌ කැලණිය විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දී තිබේ. මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක වීමත් සමග විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති අතර වැදගත් එකක්‌ වන්නේ විශ්වවිද්‍යාලයේ පොලිතින් භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමයි. මේ පිළිබඳ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ හා හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා සමග සිදුකළ සාකච්ඡාවේ සටහන මෙසේ දක්‌වමු.

පොලිතින් භාවිතය නිසා ඇති වී ඇති පාරිසරික ගැටලුවේ ස්‌වභාවය කෙබඳු ද?

ආචාර්ය යූ.පී.කේ. ඈපා
හරිත කමිටු සභාපති

ප්‍රධාන ලෙස ආහාර එතීමට, ආහාර සහ නොයෙකුත් දෑ ගෙන යැම සඳහා පොලිතින් කවර හා උර භාවිත කෙරෙනවා. මෙහි අවාසනාවන්ත පැතිකඩ වන්නේ දැනට අප වැඩි වශයෙන් භාවිත කරන පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ වර්ග බොහොමයක්‌ ස්‌වාභාවිකව දිරාපත් වීමට ලක්‌ නොවීමයි. මෙම දිරාපත් නොවන කසළ සාමාන්‍යයෙන් ස්‌වාභාවිකව දිරාපත් වීමට අවශ්‍ය තත්ත්වයට පත්වීමට අවුරුදු 400 ක්‌ පමණ ගත වෙනවා.

පොලිතින් භාවිතය නතර කිරීමට පෙර සිදු කළ අධ්‍යයනයේ දී විශ්වවිද්‍යාලයේ පමණක්‌ දිනකට දිරාපත් නොවන අපද්‍රව්‍ය 100 නට පමණ එකතු වෙනවා. එහිදී මාසයක්‌ දී දිරාපත් නොවන පොලිතින් 3000 නට පමණ ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම සිදු වෙනවා. මේ නිසා පොලිතින් භාවිතය නුදුරේ දී විශ්වවිද්‍යාලයට පමණක්‌ නොව සමස්‌ත රටට ම පාරිසරික ගැටලු මෙන් ම සෞඛ්‍ය ගැටලු රාශියකට ම හේතු විය හැකි පෙන්වාදිය හැකියි.

පොලිතින් භාවිතයෙන් ඇතිවිය හැකි පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු මොනවාද?

පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කර ඇත්තේ වයිනයිල් ක්‌ලෝරයිඩ්, ඩයොක්‌සින්, බෙන්සීන්, බිස්‌ෆිනොල්, ෙµdaමැල්ඩිහයිඩ් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍යවල එකතුවෙන්. මේවායින් බොහෝමයක්‌ නොනැසී පවතින කාබනික දූෂණ කාරක (Persistent
Organic pollutants- Pops) ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව බිස්‌ෆිනොල් A වැනි රසායන ද්‍රව්‍ය දැනට ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ කාර්යාංශය මගින් පිළිකාකාරක, ස්‌නායු නාශක සහ හෝමෝන නාශක රසායන ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා.

එබැවින් මෙම රසායන ද්‍රව්‍ය ප්‍රමාණවත් කාලයක්‌ නාසය, මුඛය සහ චර්මය හරහා නිරාවරණය වූ විට විවිධ රෝගවලට මුහුණ දීමට සිදු වෙයි. මේ අතර පිළිකා, හෝමෝන අක්‍රමිකතා, වඳභාවය සහ ස්‌නායු දුර්වලතා ඇති වීමේ අවදානම පවතිනවා.

පොලිතින් දහනයට ලක්‌ වූ විට වායු දූෂණය සිදු වීම වන අතරම මෙමගින් කාබන් මොනොක්‌සයිඩ් වැනි ඉතාමත් විෂ සහිත වායු නිදහස්‌ වීමෙන් ශ්වසන ආබාධ ඇති වීම වැළැක්‌විය නොහැකියි. ස්‌වාභාවික ලෙස දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හිරු එළිය මගින් පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ වියෝජනයට ලක්‌වුවත් එමගින් ප්ලාස්‌ටික්‌ ධූලි වායුගෝලයට එකතු වීම මගින්ද ශ්වසන ආබාධ ඇති විය හැකියි.

එසේම දිරාපත් නොවන කසළ එක්‌රැස්‌ වීම සිදු විම හේතුවෙන් පස දුෂණයට ලක්‌ වීම සහ පස නිසරු වීම සිදුවෙනවා. ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් පසට එකතු වූ පසු එමගින් විවිධ විෂ රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. මෙම විෂ රසායනික ද්‍රව්‍ය අපගේ භූගත ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් අප පානයට ගන්නා ජලය විෂ සහිත වීමෙන් විවිධ ආමාශගත රෝග, වකුගඩු රෝග වැනි නොයෙකුත් රෝග ඇති වෙනවා.

ප්ලාස්‌ටික්‌ වර්ග දිරාපත් වීමේ ශීඝ්‍රතාව වැඩි කරන ක්‌ෂුද්‍ර ජීවින් පසෙහි ජීවත් වෙනවා. නමුත් ප්ලාස්‌ටික්‌ දිරාපත් වීමේ ක්‍රියාවලියේ දී උත්පාදනය කරන මීතේන් වායුව මගින් ගෝලීය උණුසුම් වීමේ ශීඝ්‍රතාව ද ඉහළ දැමීමට වක්‍රාකාරව බලපා තිබෙනවා.

එසේම අප බැහැර කරන බොහොමයක්‌ ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් පහසුවෙන් ජල මූලාශ්‍රවල තැන්පත් වෙනවා. ඒවා මගින් බිස්‌ෆිනොල් A, පොලිස්‌ටිරින් වැනි විෂ රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන්, ආහාර මගින් නැවත අපගේ ශරීරයට ඇතුළු වීමේ අවදානම තිබෙනවා. එසේම එමගින් ජලජ ජීවීන්ට සිදුවන්නේ විශාල හානියක්‌. එපමණක්‌ නොව දිරාපත් නොවන පොලිතින් කසළ එක්‌රැස්‌ වීමෙන් විවිධ සතුන් ඉවතලන පොලිතින් ආහාරයට ගැනීම හේතුවෙන් ජෛව විවිධත්වයට හානි පැමිණීම සිදුවෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලය මගින් පොලිතින් භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර මොනවාද?

පාරිසරික පැවැත්මේ ස්‌ථිරභාවය තහවුරු කිරීම උදෙසා විශ්වවිද්‍යාල භූමියෙන් පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ භාවිතය අවම කිරීමට ගත් එක්‌ පියවරක්‌. එය අපට පමණක්‌ නොව මතු පරම්පරාවෙත් පැවැත්ම තහවුරු කිරීම හේතු වෙනවා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලය මගින් සිදුකරන සියලු අධ්‍යයන කටයුතුවල දී, මිල දී ගැනීම්වල දී මෙන් ම ඉදිකිරීම් කටයුතු වල දී පරිසර හිතකාමී අයුරින් ක්‍රියාකිරීමට සැලසුම් සකස්‌ කර තිබෙනවා.

එහිදී පොලිතින් භාවිතය සම්පුර්ණයෙන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා. ඒ වෙනුවෙන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්‌ඩාර මහතා විසින් 2016 සැප්තැම්බර් මස 01 දින සිට විශේෂ චක්‍රලේඛයක්‌ මගින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පොලිතින් භාවිතය තහනම් කර තිබෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලයට පොලිතින් මිලදී ගැනීම, රැගෙන ඒම, භාවිතය නොකළ යුතු වෙනවා. නව දහසක්‌ (9000) පමණ වන විද්‍යාර්ථින්, ආචාර්යවරුන් හා අනෙකුත් අනධ්‍යයන පිරිස්‌ මෙය මනා අබෝධයෙන් යුතුව පිළිපැදීමට කටයුතු කරනවා. මෙම පියවර ගැනීමට ප්‍රථමව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්, ආචාර්ය සංගම් හා සේවක සංගම් සමග සාකච්ඡා කරමින් එකඟතා ඇති කරගනු ලැබුවා.

ආහාර ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පොලිතින් හැර වෙනත් පරිසර හිතකාමී ආදේශක භාවිතය පිළිබද මෙහිදී අවධානය යොමු වුණා. එහිදී විශ්වවිද්‍යාලයේ ආපන ශාලා දොළහක්‌ (12) පමණ තිබෙනවා. සතියකට මෙහි ආහාර ඇසුරුම් කිරීම සඳහා පොලිතීන් පනස්‌දහස (50000) ඉක්‌මවා භාවිත කරනවා. මෙහිදී මේ වෙනුවට ආහාර ඇසුරුම් කිරීම සඳහා කඩදාසි භාවිතය යොමු වී තිබෙනවා. එසේම ආපනශාලාවලින් ආහාර ගැනීමේදී ඒ සඳහා මළ නොබැඳෙන වානේ පිගන් හඳුන්වා දීම සිදු කළා. එසේම ආපන ශාලාවෙන් ආහාර බැහැරව ගෙන යාමේදී ඒ සඳහා කෑම පෙට්‌ටියක්‌ භාවිත කිරීමේ එකගතා ඇති කර ගනු ලැබුවා.

මීට අමතරව විශ්වවිද්‍යාලයේ දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර මොනවාද?

මෙහිදී විශ්වවිද්‍යාලයේ පවත්වන උත්සව හා සම්මන්ත්‍රණ සඳහා ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් ගෙන ඒම සම්පූර්ණයෙන් ම නතර කර තිබෙනවා. බෝතල් කළ ජලය මිල දී ගන්නවාට වඩා පානය කිරීමට අවශ්‍ය පිරිසිදු කළ ජල පෙරහනු යන්ත්‍ර සෑම පීඨයක ම සවි කර තිබෙනවා. මීට අමතරව ඉවතලන විද්යුත් අපද්‍රව්‍ය ඒකරාශී කරගැනීමේ වැඩපිළිවෙලක්‌ ද විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙනවා.

ඉදිරියේදී අප බලාපොරොත්තු වන්නේ අපද්‍රව්‍ය ලෙස ඉවතලන ද්‍රව්‍ය හැකිතාක්‌ අවම මට්‌ටමකට ගෙන ඒමයි. මේ වන විට බෝතල් කළ ජලය මිලදී භාවිතය නතර කළ නිසා පානීය ජල බෝතල සඳහා වන වියදම බොහෝ අඩු වී තිබෙනවා. එසේ ම, කසලවල ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය ඉතා අවම මට්‌ටමක පවතිනවා.

දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතයට යොමුවීම අවම කරගැනීමෙන් විශ්වවිද්‍යාලය අත්කරගත් ප්‍රතිලාභ මොනවාද?

පොලිතින් භාවිතය අවම කර තිබෙන නිසා කසල ලෙස ඒකරාශී වන පොලිතින් ප්‍රමාණය අවම වී තිබෙනවා. මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මාසයක්‌ ඇතුළත අපද්‍රව්‍ය ලෙස ඒකරාශී වන ලක්‌ෂ දෙකක පමණ පොලිතින් ප්‍රමාණයක්‌ අවම වී තිබෙනවා. එසේම දැනට කසල ලෙස ඉවතලන කඩදාසි, ආපන ශාලාවල මුළුතැන්ගෙයි දිරාපත් වන ද්‍රව්‍ය හා ගස්‌වල කොළ වර්ග යි. මේ සියල්ල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ විශ්වවිද්‍යාලය සතු වෙනවා.

මේ වන විට ක්‍රියාත්මක දිරාපත් වන ද්‍රව්‍ය වලින් නිෂ්පාදිත කොම්පොස්‌ට්‌ පොහොර විශ්වවිද්‍යාලයේ සියලු උද්‍යාන කටයුතු සඳහා භාවිත කිරීමේ හැකියාව උදා වී තිබෙනවා. කිසි විටෙක්‌ ඒ සඳහා අවශ්‍ය පොහොර මිලදී ගන්නේ නෑ. මීට අමතරව වගා සඳහා අවශ්‍ය කොම්පෝස්‌ට්‌ අලවි කිරීමට විශ්වවිද්‍යාලයට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් පහක (05) කොම්පෝස්‌ට්‌ බෑගයක්‌ රුපියල් අසූ පහක්‌ (85) වැනි මිලකට ලබා ගත හැකියි. මෙම පොහොර ඇසුරුම් කිරීම සඳහා කිසි විටෙකත් පොලිතින් උර භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉවතලන රෙදි වලින් නිර්මාණය කළ බෑග් එකක්‌ භාවිත කර තිබෙනවා. එය නැවත පොහොර රැගෙන යාමේ දී භාවිත කිරීමේදී බෑගයේ මිල අඩු කර පොහොරවලට මිල දී පොහොර ලබා ගැනීමේ හැකියාවක්‌ තිබෙනවා.

මෙම කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය ශීඝ්‍ර කරගැනීමට ජපානයේ 'ටකකූරා' ක්‍රමවේදය භාවිත කරනවා. එයින් පෙරහනයක්‌ මගින් පොහොර හලා, පස්‌වල ඇති ජල ප්‍රතිශතය අවම කර අතිශය කුඩා කොටස්‌ වශයෙන් පොහොර සකස්‌ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඉන් මෙරට ජනතාවට වියදම් කරන මුදලට වඩා උසස්‌ තත්ත්වයේ පොහොර ලබා ගැනීමට හැකියාව පවතින අතරම විශ්වවිද්‍යාලයට අමතර ආදායමක්‌ රැස්‌ කිරීමට අවස්‌ථාව ලැබී තිබෙනවා. එසේම කසල වෙන් වෙන් වශයෙන් බැහැර කිරීම නිසා විශ්වවිද්‍යාල භූමියේ පවිත්‍රතා කටයුතු කාර්යක්‌ෂමව සිදු කිරීමේ හැකියාව උදා වී තිබෙනවා.

පරිසර හිතකාමී වැඩපිළිවළ සඳහා පවතින අභියෝග හා ඊට අනුගමනය කළ හැකි පියවර මොනවාද?

විශ්වවිද්‍යාලයට බැහැරින් පැමිණෙන පිරිස්‌ ගෙන එන දිරාපත් නොවන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම අප සතු මීළඟ අභියෝග යයි. එය අවම කිරීමට අප සතු යෝජනා කිහිපයක්‌ තිබෙනවා.

මේ වෙනුවෙන් භාවිත කළ හැකි විකල්ප ක්‍රම රැසක්‌ අප හඳුන්වා දී තිබෙනවා. එහිදී උදෑසන සහ දිවා ආහාරය නිවසින් සකසා ගෙන එන්නේනම් ඒ සඳහා කෑම පෙට්‌ටියක්‌ භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම එක්‌ පියවරක්‌. නමුත් මෙම කෑම පෙට්‌ටිය නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්‌ටික්‌ වලින් නිමවා තිබීම වැදගත් වෙනවා. මේ සඳහා වෙළෙඳ පොළේ නියම ප්‍රමිතීන් අනුව සාදා නිම කර ඇති ප්ලාස්‌ටික්‌ පෙට්‌ටි පමණක්‌ භාවිත කිරීම වඩා යෝග්‍ය යි. දිවා ආහාරය ඇසුරුම් කිරීමට පොලිතින් කවර භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ නම් ඒ සඳහා අලුතින් නිෂ්පාදනය කර ඇති ඉක්‌මනින් දිරාපත් වන පොලිතින් පමණක්‌ භාවිත කිරීමට යොමුවුවහොත් වැඩි ඝනකමකින් නිෂ්පාදනය කර ඇති නැවත භාවිත කළ හැකි පොලිතින් පමණක්‌ භාවිත කිරීම වැදගත් වෙනවා.

විශ්වවිද්‍යාල ආපන ශාලාවේ සිට ඔබේ කාර්යාලයට ඔබ ආහාරය රැගෙන යන්නේ නම් ඒ සඳහා පොලිතින් කවර භාවිත නොකිරීමත් ඒ සඳහා විකල්ප ක්‍රමවේද භාවිත කිරීම කළ හැකියි. මේ සඳහා ඔබට දිගු කලක්‌ භාවිත කළ හැකි රෙදි බෑගයක්‌ යොදාගත හැකියි. මීට අමතරව ඔබට ඉවතලන කඩදාසි මගින් නිමවූ ඝනකම කවර භාවිත කළ හැකියි. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින අවස්‌ථාවලදී ඔබගේ සුළු ආම්පන්න රැගෙන යැමට පොලිතින් කවර භාවිත නොකර ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත කළ හැකියි. රෙදි බෑග්, ගෝනි බෑග් වැනි නිර්මාණාත්මක නිමැවුම් භාවිත කළ හැකියි. ඒවා මගින් පරිසරයට ආරක්‌ෂාවක්‌ ලබා දෙනවා මෙන්ම ඔබ අනෙක්‌ සියලු දෙනාට ආදර්ශයක්‌. ඔබ පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ විශ්වවිද්‍යාලය තුළට රැගෙන එන්නේනම් එය විශ්වවිද්‍යාල භූමිය තුළ බැහැර නොකිරීම වැදගත් වෙනවා. ඔබ රැගෙන එන වතුර බෝතලය වීදුරු වලින් නිමවා ඇත්නම් වඩාත් යෝග්‍ය වෙනවා. නැතිනම් මේ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්‌ටික්‌ වලින් නිමවා ඇති නැවත භාවිතයට ගත හැකි ආරක්‌ෂිත වතුර බෝතල් පමණක්‌ භාවිත කළ හැකියි.

මේ වන විට විශ්වවිද්‍යාලයේ රැස්‌වන දිරාපත් නොවන අපද්‍රව්‍ය ඒකරාශී වීම අවම කර ගැනීමේ කාර්යයට විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලය, විද්‍යාර්ථින් හා අනධ්‍යයන සේවක මහත්වරුන් ඉතාමත් අවබෝධයෙන් සහයෝගය පළකර තිබෙනවා. මේ සියලු දෙනා අවබෝධයෙන් පරිසර හිතකාමී චර්යා පවත්වාගැනීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි. පරිසරයේ පවත්නා සමතුලිතභාවය ආරක්‌ෂා කරගනිමින් පරිසර හිතකාමී වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමට මූලික පියවර ගැනීම ඉතා අපහසු කාර්යයක්‌ වන්නේ, කාර්යබහුල ජීවන රටාවක හුරුවීම නිසා සියල්ල පහසුවෙන් සිදු කිරීමයි. නමුත් අපේ පහසුව සඳහා භාවිත කරන දිරාපත් නොවන ද්‍රව්‍ය මගින් පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසකට මූලාරම්භය විය හැකියි. එයින් ලොව ගලවා ගැනීමට පළමුව කළ යුත්තේ අප එක්‌ එක්‌ අයෙකු වශයෙන් නිවැරදි පරිසර හිතකාමී චර්යා ලෙස අනුගමනය කිරීමයි. අද විශ්වවිද්‍යාලයක්‌ වශයෙන් තබන පරිසර හිතකාමී පිළිවෙත පිළිබඳ පණිවිඩය අපේ විද්‍යාර්ථින් හෙට රටේ සියලු ජනතාව වෙත ගෙන යනු ඇතැයි අප විශ්වාස කරනවා.

සංවාද සටහන -
අමාලි උත්පලා නන්දසිරි
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.