වනාන්තරය තුළ රැඳුණු සොබාදහමේ රිද්මය



 

ශ්‍රී ලංකාවේ භූගෝලාලංකාරය පිළිබඳ
පාරිසරික පුරාවිද්‍යාඥ මහාචාර්ය
සෙනෙවි එපිටවත්තයන්ගේ විග්‍රහය

 

 

 

 

 

ගලා හැලෙන දියපහරක්‌ ගලන හඬ, අතු අතර දැවටී හමා යන සුළං රැල්ලක සිලිසිලිය හෝ වනසතකු නඟන තියුණු හඬක්‌ නොවී නම් වනාන්තරය තුළ පරිසරය නිහඬය. එහි සුන්දරත්වය රැඳී ඇත්තේ ද මේ නිහඬ බව තුළමය. මේ නිහඬ බව තුළම වනාන්තරයක සුන්දරත්වය විඳගැනීම එක්‌තරා අන්දමක භාවනාවකි. වනාන්තරය ජීව ප්‍රවාහයකි. වනාත්තරයක අසිරිය දැකිය හැක්‌කේ ඒ තුළ ක්‍රියාත්මක වන ජීවක්‍රියා සමුදාය පිළිබඳ අවබෝධයක්‌ ඇතිකර ගැනීමෙනි.

වනාන්තරයක්‌ තුළ ගස්‌වැල්වල පිහිටීම, වර්ධනය ආදිය එකිනෙකට ඉඳුරා වෙනස්‌ සංකීර්ණ ක්‍රියාදාමයන්ගෙන් යුක්‌තය. ආලෝකය හා වාතාශ්‍රය සොයා වැඩෙන ගස්‌වැල්, සමනළයින් සහ කෘමීන් ආකර්ෂණය කරගත හැකි ලෙස නිමවී වී ඇති මල්පෙතිවල වර්ණ හැඩතල ආදියත් ඒවායේ විවිධ ගති ලක්‌ෂණ ගැනත් එකින් එක විස්‌තර කිරීම මහා ග්‍රන්ථයක්‌ ලියන්නාක්‌ බඳු ක්‍රියාවකි. නමුත් ප්‍රධාන වශයෙන්ම වනාන්තරයක්‌ තුළ ඇති ශාක ලෝකය පිළිබඳ යම් අවබෝධයක්‌ ලබා ගැනීම වනාන්තරයක්‌ යනු කුමක්‌ද යන්න අවබෝධ කර ගැනීමට ප්‍රයෝජනවත් වෙයි.

වනාන්තරයක්‌ යනු නොයෙක්‌ ශාක වර්ග රාශියක එකතුවකි. භූගෝලීය වශයෙන් වනාන්තරයක පිහිටීම සහ එහි පැවැත්ම සඳහා සාධක රාශියක්‌ සම්පූර්ණ විය යුතු වෙයි. පැළෑටියක්‌ රෝපණය වීම සඳහා සුදුසු භූමියක්‌ සහ කාලාන්තරයක්‌ තිස්‌සේ එම බිම සමග පැවතීමට එම පැළෑටිවලට ඇති හැකියාව මත වනාන්තරයක්‌ බිහිවීම තීරණය වෙයි. වනාන්තරයක්‌ ස්‌ථාපිත වූ පසු එහි පවතින ශාක ප්‍රභේද ඉවත්වීම සහ නව ශාක ප්‍රභේද ඇතිවීම සිදුවන්නේ ඉතාමත් සෙමිනි. මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ උත්කර්ෂය නමිනි.

වියළි කලාපයේ හේන් ගොවිතැන සහ තෙත් කලාපයේ තේ, රබර් ආදී වගාවන් සඳහා වනාන්තර එළිකිරීම නිසා උත්කර්ෂ වනාන්තර අද දක්‌නට ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක්‌. අද මිනිසාගේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස්‌ වූ වනාන්තර අපේ රටේ ඇතැයි කියන්න බෑ. එනම් මිනිසාගේ පා පහස නොලද වර්ජින් ජංගල්ස්‌ හෙවත් කන්‍යා වනාන්තර අද අපේ රටේ නෑ. එමනිසා අද අපේ රටේ වනාන්තර බොහොමයක තිබෙන්නේ වේගයෙන් වෙනස්‌වන ශාක ප්‍රජාවක්‌. එනම් සංතතික ශාක ප්‍රජාවක්‌ සහිත වනාන්තර. දැනට අවුරුදු 60 කට පමණ පෙර අපේ රටේ වන සංරක්‌ෂණය සිදුකළ අය විසින් උත්කර්ෂවත් ශාක ප්‍රජාවක්‌ සහිත වනාන්තර කිහිපයක්‌ හඳුන්වා දී තිබෙනවා. මීට වසර 80 කට පමණ පෙර ලංකාවේ වන වැස්‌ම මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 75 ක්‌ පමණ තිබුණා. ආචාර්ය හෝම්, ආචාර්ය රොසයිරෝ වැනි වන විද්‍යාඥයින් අපේ රටේ වනාන්තර පිළිබඳ සිදුකළ පරීක්‌ෂණ තුළිනුත් ඒ බව සනාථ වී තිබෙනවා.

ලංකාවේ වෙරළබඩ ශාක ප්‍රජාව (ඇතැමුන් මෙය කඩොල් කැළේ නමිනුත් හඳුන්වනවා), වගුරු බිම් සහ පහතරට නිවර්තන වැසි වනාන්තර, නිවර්තන කඳුරට වැසි වනාන්තර, කඳුකර තෘණ බිම් සහ කඳුකර සැවානා වනාන්තර ලෙස අපේ රටේ වනාන්තර කිහිප ආකාරයකට වර්ග කළ හැකියි.

අතීත මිනිසා වනාන්තරයෙන් තම දැව අවශ්‍යතා පිරිමසාගත්තා පමණක්‌ නොවෙයි. ඉතාමත් දුර්ලභ ඖෂධ වර්ග, නොයෙක්‌ වර්ගවල බිම්මල් සහ මඩු වැනි විශේෂිත කෑම වර්ග මේ වනාන්තර තුළින් සපයා ගැනීමට මිනිසා පුරුදු වී සිටියා. එසේම විශේෂයෙන් නිවර්තන වැසි වනාන්තරවල සාරවත්ව වැඩෙන වර්ග කිහිපයකට අයත් වේවැල් මිනිසා තම ප්‍රයෝජනයට ලබා ගත්තා. භූගෝලීය වශයෙන් මේ වනාන්තර එකිනෙකට වෙනස්‌.

අපේ රටේ වනාන්තර ආසන්නයේ ජීවත්වන මිනිසුන්ගේ ජනජීවිතය සහ එම වනාන්තර අතර සමීප සම්බන්ධතාවක්‌ තිබෙනවා. ඔවුන්ගේ ගේදොර සඳහා අවශ්‍ය දැව, ඔවුන්ට උවමනා ආහාරපාන සහ මස්‌ වර්ග ආදියත් ඔවුන් ලබාගත්තේ වනාන්තරයෙන්. ගැමියෝ වනාන්තරය සමග නිසි කළමනාකාරිත්වයකිනුයි කටයුතු කළේ. සොබාදහම කාලය සමග සම්බන්ධවෙමින් දිගු කාලයක්‌ තිස්‌සේ සෙමින් සිදුකළ වනාන්තර නමැති නිර්මාණ සමග කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව එදා මිනිසුන් ඉතා හොඳ අවබෝධයකින් පසුවුණා. ඔවුන් වනාන්තර සමග ගනුදෙනු කළේ කාලය හා බැඳුණු එහි පැවැත්මට හානියක්‌ සිදුවන අන්දමින් නොවේ. වනාන්තරයක පහළම ස්‌ථරයේ ගස්‌වලින් වැටෙන නොයෙකුත් ගෙඩි වර්ග කා ජීවත්වන මීමින්නන් වැනි සතුන්, ඊළඟ ස්‌ථරයේ එනම් ශාක කඳන්, අතු ආදියේ සැරිසරන දඬුලේනුන් වැනි සතුන්, ශාක මුදුන් හා අතු අතරේ ගැවසෙන නොයෙක්‌ වර්ගවල වඳුරන් වැනි සතුන් සහ ශාක මුදුන්වලත් අහසේත් සැරිසරන කුරුල්ලන් වැනි සතුන් ලෙස වනාන්තරය හා බැඳුණු සත්ත්ව ප්‍රජාවකුත් සිටිනවා. වනාන්තරයක්‌ තුළ ජීවත්වන මෙම සතුන් හා ශාක අතර යම් ආකාරයක සන්නිවේදනයක්‌ පවතිනවා. සොබාදහම විසින්ම නිර්මාණය කළ කිසියම් රිද්මයක්‌ මෙහි තිබෙනවා. විශේෂයෙන් තෙත් කලාපයේ වනාන්තරවල අක්‌කරයක සිදුවන දැව නිෂ්පාදනය අනෙක්‌ පළාත්වල ඇති වනාන්තරවලට සාපේක්‌ෂව ඉතාමත් වැඩියි. වනාන්තරයක්‌ පවතින්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ මහපොළොවේ පෝෂ්‍ය පදාර්ථ උරාගෙන එය ඉහළට ගෙනගොස්‌ නැවත එම පොළොවටම හෙළමින් සිදුකරන ජෛව රසායනික ක්‍රියාවලිය චක්‍රයක්‌ ලෙස අඛණ්‌ඩව සිදුවෙමිනුයි. මේ රිද්මයානුකූල ක්‍රියාවලිය අවබෝධ කරගන්නේ නැතිව වනාන්තරයක්‌ එළිකිරීම යනු එම ජෛව රසායනික ක්‍රියාවලිය මුළුමනින්ම ඇනහිට එම ප්‍රදේශය මුඩුබිමක්‌ බවට පත්වීමයි. වනාන්තරයක්‌ තුළ සිදුවන සොබාදහමේ රිද්මය අවබෝධ කරගන්නේ නැතිව වනාන්තරයක්‌ සමග ගනුදෙනු කරන්නට හෝ වනාන්තරයක අසිරිය විඳ ගැනීමට කිසිවෙකුටත් හැකියාවක්‌ නෑ.

සාකච්ඡා සටහන
පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.