අලහේන හා මඩවලන්දෙනිය ගල්කොරිකාරයන්ගේ ග්‍රහනයට
ජීවිත පුපුරුවා හරින ගල්බෝර කතා වස්‌තුව

බිත්ති පුපුරලා කොයිවෙලේ කඩා වැටේද දන්නෑ
රෑ හත අට වෙනකම් බෝර ගහනවා පුපුරවන වෙලාව දන්නෙ නෑ
පොලිසිය පැත්ත පලාතක එන්නෙ නෑ



වේලාව රාත්‍රී 7 ත් ඉක්‌මවා ගොස්‌ ඇත. නිවාස දෙදරා පිපිරි ගිය ගල් බෝරවල හෙණ හඩට නිදා සිටි පුංචි දරුවෝ පිබිදිව හඩ තලන්නට වන්හ. සවස හතරෙන් පසුව ගල් බෝර දැමීම තහනම් වුවද කිසිදු නිනව්වක්‌ නොමැතිව තමන්ට රිසිසේ ගල්බෝර කරුවන් රෑ ද බෝර දමති.

මේ දිග හැරෙන්නේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ මලයාඩිය වන පෙතට මායිම්ව පිහිටා ඇති අලහේන සහ මඩවලන්ද යන ග්‍රාමසේවා වසම්වල ගල් කොරි පිළිබද කථා වස්‌තුවයි.

මීට වසර කිහිපයකට පෙර මාතර, කාර්තිව් පාර සෑදීම ආරම්භයත් සමගම මෙම ප්‍රදේශයේ ගල් කොරි වලට සුපිරි ඉල්ලුමක්‌ ඇති වන්නට වූහ. එම කාලයේ ව්‍යාජ ඔප්පු සකස්‌ කරමින් සිටි සහ හොර වැඩ කර වැඩ තහනව මට ලක්‌ව නැවතත් ඉඩම් නිලධාරිවරයෙකු ලෙස ජනාධිපති විමර්ශනයෙන් පවා කනෙන් රිංගා සේවයට පැමිණි නිලධාරියෙකු වෙනත් අයෙකුගේ ගල් කොරියක්‌ ලක්‌ෂ පහකට ගෙන ගෙන එම මාර්ගය ඉදි කිරීම සඳහා පැමිණී චින ජාතිකයන්ට දී ලක්‌ෂ ගණන් ලබාගත් බව ප්‍රසිද්ධ රහසක්‌ බවට පත් වුනි. මෙම සිදු වීමත් සමගම අම්පාරේ ගල් කොරි සඳහා ප්‍රබල ඉල්ලුමක්‌ ඇති වන්නට වූහ. ඉන් පසු ඉවක්‌ බවක්‌ නොමැතිව මෙම මඩාන, මඩවලලන්ද සහ අලහේන ගම්මාන වලින් වට වුණ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන පියස ගල් කොරි කාරයන්ගේ තෝතැන්නක්‌ බවට පත් වන්නට වූහ.

නිහඬ වන අරණේ සිසිල විs`දිමින් මලයාඩිය වැව් ඉස්‌මත්තේ කෙම් බිමක්‌ කර ගනිමින් සිටි මුව පොව්වන් සහ ගෝන සේනාව ඇතුළු හස්‌ති රාජයන් පිළිබඳ කිසිදු තැකිමක්‌ නොකළ වන සංරක්‌ෂණ නිලධාරීන්ද තම අඩවියේ වග විභාගයකින් තොරව ගල් කොරි දමන්නට අවශ්‍ය වූ ඉඩ හසර ලබා දෙන ලදී. ඒ සඳහා අවශ්‍ය නිල් කොළඳ විසි කිරීමට ගල් කොරි කරුවන් කිසි විටකත් ලෝබ නොවුණේ ගල් කොරියක්‌ ගෙන කාට හරි විකුණා ලක්‌ෂපතියෙක්‌ වීමට ඉඩ ලැබෙන නිසාවෙනි. එම නිසා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇතැම් නිලධාරීන් මෙන්ම රාජ්‍ය සේවයේ නියුතු අය සහ ඇතැම් ග්‍රාම සේවා නිලධාරිවරුන් තමන්ගේ ඥාතියකුගේ නමින් ගල් කොරි රෑගෙන හොර රහසේ මහා පරිමාණ ගල් කොරි ව්‍යපාරිකයන්ට සහ කොන්ත්‍රාක්‌කාර සමාගම්වලට ලක්‌ෂ ගණන් මුදලට බඳු දෙන්නට වූහ.

ගල් කොරියක්‌ ලබා දීමේදී එම ඉඩම ප්‍රාදේAශීය ලේකම් කාර්යාලය සතු නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නම් ගල් කොරිය දැමීම සඳහා අවසර ලබාදීම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන්ද සිදු කරනු ලබයි. එය එසේ සිදු කිරීමට නම් ගල් කොරියක්‌ ආරම්භ කිරීමට උත්සාහ කරන්නා ඉහත ආයතන දෙක සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ අනුමැතියද ලබා ගත යුතු වේ. එසේ අනුමැතිය දීමේදී ඒ, බී සහ සී යන ශ්‍රේණිවලින් කොන්දේසි රැසක්‌ සමගින් ගල් කොරි සඳහා අවසර ලබාදිය යුතුව තිබේ.

මෙම අලහේන, මඩාන සහ මඩවලලන්ද ප්‍රදේශයේ ගල් කොරි 10 කට අධික ප්‍රමාණයක්‌ ඇත. ඒවාද බී සහ සී ශේ්‍රණීවල ගල් කොරිය. එම හිමිකරුවන් කොන්දේසි උල්ලංඝනය කරමින් තමන්ට රිසිසේ ගල් කොරි පවත්වාගෙන යන ආකාරය පසුගිය දින කිහිපය පුරාම එම ප්‍රදේශයේ පුරාම මෙම ගල්කොරි පිළිබඳව සොයා බැලූ අපටද පසක්‌ වූහ.

සී ශ්‍රෝණියේ ගල් කොරියක මාසයට කැඩිය හැක්‌කේ ගල් කියුබ් 210 ක්‌ ද බී ශ්‍රෝණියේ ගල් කොරියක මාසයකට කැඩිය හැක්‌කේ ගල් කියුබ් 525 ක්‌ වුවද කඩන ගල් ප්‍රමාණය බැලීමට වන සංරක්‌ෂණ නිලධාරීන් පැත්ත පළාතේවත් නොමැත. අදාළ ගල් කියුබ් ප්‍රමාණය කැඩීමට හැකි වන අයුරින් නිකුත් කරනා වෙඩි බෙහෙත් ප්‍රමාණයෙන් වැඩිපුර ගල් කැඩිමට ගල් බෝර දමන්නෝ දක්‌ෂය. එසේ නැත්නම් පිටින් හොරට පුපුරණ ද්‍රව්‍ය ගෙන ගල් බෝර දැමීමද රිසි සේ කළ හැක්‌කේ පොලිසිය පැත්ත පළාතේවත් නොඑන බැවිනි. ඒ අයුරින් ගල් කොරි කරුවන්ට කිසිදු අපහසුවකින් තොරව රජයට බදු මුදල් නොගෙවා අවශ්‍ය තරම් ගල් කියුබ් ප්‍රමාණයක්‌ කැඩීමට නිලධාරීන් ලබා දෙන්නේ පුදුමාකාර අනුග්‍රහයකි.

ගල් වෙඩි දැමීමට වේලාව දී ඇත්තේ පෙ, ව. 8 සිට සවස 4.00 තෙක්‌ය. ඇතැම් බලපත්‍ර වල එය පෙ. ව. 10.00 සිට ප. ව. 2.00 පමණ වන තෙක්‌ අවසරදී ඇත. නමුත් ගල් වෙඩි දමන්නෝ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව තමනට රිසිසේ මෙම ගල්වෙඩි රාතියේද දමමින් සිටිති. අප එම ගල් කොරියක්‌ අසල සිටින විට සවස 4.45 සිට සවස 5.30 වන තෙක්‌ම එක දිගට ගල් වෙඩි දමන ආකාරය අපටද දැකගන්නට ලැබුණි. එපමණද නොව රාත්‍රී 7 ටද ගල් බෝර දමන හඬ අපට නිරන්තරයෙන් ඇසෙද්දී දමන ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන්ගේ දෙසවන් එම අවස්‌ථාව වන විට බිහිරිව පවතින්නේ කුමන කරුණක්‌ නිසාදැයි සිතාගැනීමට නොහැකිය.

රජයේ නිවාඩු දිනවල සහ පෝය දිනවල ගල් වෙඩි දැමීම තහනම් වුවද ගල් කොරි කරුවන්ට එය නිනව්වක්‌ නැත. ගල් වෙඩි දමන අවස්‌ථාවේ පොලිසිය සිටිය යුතු වුවද එලෙස ගල් වෙඩි දමන අවස්‌ථාවේ කිසිදු පොලිස්‌ නිලධාරියෙකු නොමැති බව එම දින කිහිපයේ අප පැහැදිලිවම දුටු කරුණක්‌ වන්නේය. මෙම ගල් කොරි වල පිපිරීම් සඳහා විදුලි ඩෙටනේටර් භාවිත කිරීම තහනම් වුවද ඇතැම් ගල් කොරි හිමියන් බලධාරීන්ගේ ලැබෙනා කාරුණික පූර්ණ අනුග්‍රහය යටතේ විදුලි ඩෙටනේටර්ද කිසිදු ගැටලුවකින් තොරව භාවිත කරනවා," කරන බවද ප්‍රදේශවාසීහු පවසා සිටිති.

මෙම ගල් කොරි සඳහා බොර වළෙහි ගැඹුර අඩි 05 ක්‌ ලෙස බලපත්‍රයේ සඳහන් කර තිබුණද බොර ගසන්නෝ අඩි 08 ක්‌ පමණ ගැඹුරට ගසනා බෝර පහරින් වනාන්තරයද දෙදරවා ගොස්‌ ඇතැම් නිවාස වල බිත්තිද දෙදරා ඉරිතලා ගොස්‌ ඇත.

අදාළ ගල් කොරියේ බලපත්‍රයේ තොරතුරු ඇතුළත් දැන්වීම් පුවරුවක්‌ වැඩ බිමේ ප්‍රදර්ශනය කිරීම කොන්දේසියක්‌ වුවද ඒවාද තුට්‌ටුවකට මායිම් නොකර තිබියදී අදාළ නිලධාරීන් දෙනෙත් පියාගෙන සිටීම තුළ කිසිදු හ`දුනාගැනීමේ නාම පුවරුවක්‌ මෙම ගල් කොරිවල දක්‌නට නොමැත. සී ශ්‍රේණියේ ගල් කොරියක ගල් විදීම ඇරණු කොට යන්ත්‍ර සූත්‍ර උපයෝගී කොට ගල් කැඩීම ඇතුළු දේ සිදු කිරීම තහනම් වුවද කිසිදු බාධාවකින් තොරව සී ශ්‍රෝණියේ ගල් කොරිවලද ඉහත කටයුතු සඳහා යන්ත්‍ර උපයෝගී කොටගෙන අදාළ කටයුතු සිදු කරනු ලබයි. මේ ආකාරයෙන් විවිධ වූ තක්‌කඩි වැඩකිරීම සඳහා අවශ්‍ය නිසා ගල්aකොරියේ අදාළ විස්‌තර සහිත නාම පුවරුව ගැසීම අනිවාර්ය වුවද මෙම ගල් මෝල්ලු එම නාම පුවරු සවි නොකර නීති රීති උල්ලංඝනය මහ සරුවට කරගෙන යති.

වන සංරක්‌ෂණ කාර්යාලයේ සේවය කරනු ලබන අයෙකු සිය මාමණ්‌ඩිය නමින් ලබා ගත් ගල් කොරියක්‌ එක්‌ සමාගමකට රුපියල් ලක්‌ෂ 60 කට ලබාදී තිබෙන බවද ප්‍රදේශයේ පැතිර යන ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව ඇත.

මෙම ගල් කොරි සියල්ලම ඇත්තේ මිනිසුන්ගේ පුද්ගලික ඉඩම්වල නොව රජයේ ඉඩම් වලය. එනම් වන සංරක්‌ෂණ නිලධාරීන් මායිම් ගල් දමා වෙන් කළ රක්‌ෂිsත වනපෙත් වලය. ගල් කොරියකට බලපත්‍ර දීමේදී නිසැකවම එම ගල පොළොවෙන් මතුපිට තිබිය යුතුය. එම ගල කැණීම සිදුකර ගල් කැඩීම නීතියෙන් තහනම්ය. නමුත් ඇතැම් ගල් කොරිකරුවන් පසින් හා ගසින් යටව ඇති ගල් කඳුවල පිහිටි ගස්‌ පෙරළා පස්‌ ඉවත් කොට ගල් කැඩීම ජයටම සිදුකරති. එසේ බිම දමනා ගස්‌ බැකෝ යන්ත්‍ර වලින් වළවල් හාරා වළ දමා තොත්ත බබ්බුන් සේ සිටිති.

ගල් කැඩීම සඳහා පරිසරයට හානි කිරීම තහනම් වුවද සිත් පිත් නැති මුදලට පමණක්‌ ගිජුවූ මිනිසුන්ගේ බැකෝ යන්ත්‍ර සහ ගල් බෝර පහරට නතුව ක`දු මත පිහිටි වෘක්‌ෂ රාජයෝ වේදනාවෙන් බිම ඇදවැටෙද්දී වන සංරක්‌ෂණ නිලධාරීන් ඇඟිල්ලක්‌ කටේ දාගෙන නිදාගන්නා පුංචි දරුවන්සේ නිදාගෙන සිටින්නේ ගල් කොරිකරුවන් පුදනා රුපියල් ශත නිසාදැයි ජනතාව විමසා සිටිති.

මෙලස ගැටලු සහගත ගල්කොරි ඇත්තේ මෙම මලයාඩිය වන පෙතට මායිම්ය. එනම් මලයාඩිය වැවේ පෝෂක ප්‍රදේශය මුළුමනින්ම විනාශ කර දමමිනි. ඇතැම් ගල්කොරි ඇත්තේ වැවට මීටර් 200 කටත් අඩු දුරකිනි.

වන රක්‌ෂිතයේ මෙම ගල් කොරි පිහිටා ඇති නිසා කිසිදු වන සතෙකුට හෝ වෘක්‌ෂලතාවන්ට හානි සිදු නොවීම නීතියකි. එම නීති අමු අමුවේම උල්ලංඝනය කරමින් වන සංරක්‌ෂණ නිලධාරීන් නිහඬ ශීලයක්‌ රකිද්දී දහවල් සිට රාත්‍රීයේ පවා ගල් බෝර දමන නිසා මහ දවාලයේ පවා වනන්තරයේ විසිමට නෙහැකිව අලි ගම්මාන අසල සැරසැරීම ජන ජීවිතයට මහා තර්ජනයක්‌ව ඇත.

මේ කතාව "ඉරිදා දිවයින"ට කීවේ දමන පදිංචි මාධ්‍යවේදී තිලක්‌ අලහකෝන් මහතායි.

ආසියාවේ වැඩිම ජන ඝනත්වය ඇත්තේ කාත්තන්කුඩි නගරයේ. ඒ වාගේම වැඩිම ගල් කොරි ඝනත්වයක්‌ තියෙන්නෙත් දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අලහේන සහ මඩාන ග්‍රාමසේවා වසම්වලයි, අලහේන පමණක්‌ ගල් කොරි 08ක්‌ තිබෙනවා. මෙම ගල් කොරිවලින් දාන ගල් බෝර නිසා කිලෝමීටර් දෙකකටත් ඈතින් තිබෙන නිවාසවල බිත්ති පවා පුපුරා ගොස්‌ තිබෙනවා. ගල් කොරි නිසා දවල්ට කැලේ ඉන්න ඕන අලි ඉන්නේ ගම්වල. දිනකට මෙම දකුණු ඇළ මාර්ගයේ ගල් කියුබ් දෙකේ, තුනේ සහ පහේ ටිපර් රථ වාර හයසියයකට අධික ප්‍රමාණයක්‌ යනවා,

ඒ නිසා තාර දමා නැති එම මාර්ගයේ ටිපර් රථ ගමන් කිරීම දැඩි ගැටලුවක්‌ වෙලා. දමන ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසියද පිහිටා තිබුණත් එම අයට මේවා ඇසුණත් පෙනුණත් කිසිම දෙයක්‌ සිදු කරන්නේ නැහැ. පොලිසියෙ ස්‌ථානාධිපතිවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල නිවාස ද පිහිටා තියෙන්නේ මෙම ප්‍රදේශයේමයි. නමුත් රෑ හතට ගල් බෝර දාද්දී නීsති රීති උල්ලංඝනය කරද්දීත් නිහඬව සිටින්නේ ගල් කොරි කරුවන්ගේ සල්ලි නිසාද කියලා ජනතාව අසා සිටිනවා යෑයිද තිලක්‌ අලහාකෝන් මහතා පවසා සිටියේය.

ගල් කොරිවලට ප්‍රවේශ වන මාර්ග ගම්මාන මැදින් ගම්වාසීන් භාවිතා කරනා මාර්ග හරහා වැටි තිබෙන නමුදු බලපත්‍රයේ සඳහන් පරිදි නිසි ආකාරයට පිළිසකර නොකර මෙම මාර්ගයේ දිනපතාම ටි්‍රපර් රථ වලින් ගල් ඇදීම සිදු කරගෙන යමින් සිටිති. එම නිසා නැඟෙන දුවිල්ලෙන් කුඩා දරුවන් පමණක්‌ නොව වැඩිහිටියන්ටද හතිය සෑදි ඇත

මේ කතාව කියන්නේ සුමේධ ධර්මසේනයි.

ගල් වෙඩි වලින් බිත්ති පුපුරලා තැන් තැන් වල පිපිරිලා කොයි වෙලේ බිත්ති කඩන් වැටෙයිද දන්නේ නැහැ. රෑ හතහමාරටත් බෝර ගහනවා. එතකොට බිත්ති දෙදරලා යනවා දැන් මාස ගණනක ඉදන් මට හතිය හැඳලා තියෙන්නේ. එම නිසා සතියට දෙතුන් වතාවක්‌ බෙහෙත් ගේන්න වෙලා. අපේ පුතාගේ දරුවටත් සෙම හැදිලා හොඳ වෙන්නේ නැහැ.

මේ ගල්aකොරි නිසා අපි විඳින දුක කාටවත් බළධාරින්ට පේන්නේ නැහැ යනුවෙන් ඩී.එම්. සේපාලිකා මහත්මිය පවසා සිටියාය.

බෝර පුපුරුවන අවස්‌ථාවේ ඒ බව අවට අයට නිසි පරිදි දැනුම්දීම කොන්දේසියකි. එයද මෙම ගල් කොරිවලින් නිසි පරිදි ඉටු නොවෙමින් තිබේ. මෙම ගල් කොරිවල වැඩ කරනා සේවකයන් හට කිසිදු ආරක්‌ෂක උපකරණයක්‌වත් ලබාදී නැති අතර ඔවුන් හට අඩුම තරමේ ආරක්‌ෂිත හිස්‌ වැස්‌මක්‌වත් ලබා දී නැති මෙම ගල් කොරි පවත්වාගෙන යෑමේදී අවට නිවාසවලට හෝ තුරු ලතාවලට හානි නොවීම බලපත්‍රයේ එක්‌ කොන්දේසියකි. ඒවාද තඹයකට මායිම් නොකර තමනට අභිමත ආකාරයට බොහෝ ගල් කොරි හිමිකරුවන් කටයුතු කරමින් සිටිති.

කුඩා වන පියසක්‌ තුළ මහා පරිමාණයෙන් ගල් අඹරන යන්ත්‍ර ද සවි කර විශාල වශයෙන් ගල් කොරි බලපත්‍ර ලබා දීම තුළ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව වන සතුන් අමතක කර දමා තිබිම කනගාටුදායක කරුණකි. මෙම වනාන්තරයේ දින කිහිපයක්‌ සංචාරය කළද වඳුරෙක්‌ තබා කටුස්‌සෙක්‌වත් දැක ගැනීමට නොහැකි වීම තුළ ගල් කොරි සඳහා ලබාදී ඇති පුදුමාකාර අනුග්‍රහය මොනවට පැහැදිලි වේ. මෙලෙස අධික ගල් කොරි නිසා ගල්ඔය ව්‍යාපාරය යටතේ ඉදිකරනු ලැබූ මලයාඩිය ජලාශය අවට පාරිසරික පද්ධතියට ප්‍රබල හානියක්‌ සිදුවෙමින් තිබේ.

නමුත් කනගාටුවට කරුණ නම් මේ සියල්ල සිදු වන විට මහජනතාවගේ මුදලින් වැටුප් ලබන නිලධාරි පැලැන්තිය දෙඇස්‌ වසා බීරන් අන්ධයන්, ගොළුවන් ලෙස කටයුතු කිරීමය. එසේ කරන්නේ ගල් කොරිකරුවන්ගේ දහසින් බැඳි පියලි ලැබෙන නිසාදැයි ජනතාව නිරන්තරයෙන් අසා සිටින්නේය.

සුසන්ත අමර බන්දු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.