නැණැති දරුවෙක්‌ පිරිපුන් මිනිසෙක්‌ ග්‍රන්ථය දොරට වැඩුම 26 දා
සමස්‌ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 97 කටම
මේ අධ්‍යාපනයෙන් වැඩක්‌ නෑ

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අපේ රටේ වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමවේදය මුළුමනින්ම සකස්‌ කළ යුත්තක්‌ බවට පත්වී ඇතැයි බොහෝ විද්වතුන් පළකර ඇති මතයකි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහයන් ද මේ පිළිබඳ විශේෂ අවධානියක්‌ යොමු කරමින් ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ස්‌නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ජයසිංහ සහ අක්‌ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති පෙරේරා යන වෛද්‍ය කණ්‌ඩායම සම`ග රචිත නැණැති දරුවෙක්‌, පිරිපුන් මිනිසෙක්‌ නමැති සුවිශේෂී ග්‍රන්ථය මෙම මස 26 වැනි බදාදා සවස 3.00 ට කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී දොරට වඩී. එම ග්‍රන්ථය පළ කිරීමේ අරමුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහයන් සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

නැණැති දරුවෙක්‌, පිරිපුන් මිනිසෙක්‌ ග්‍රන්ථයේ විශේෂත්වයක්‌ තිබෙනවා. එනම් ඊට දායක වූ සියලුදෙනා වෛද්‍ය ක්‌ෂේත්‍රයේ විවිධ අංශයන්හි විශේෂඥවරුන්..

අපේ රටේ පාසල් අධ්‍යාපනයේ තිබෙන අවුල් සහගත බව පිළිබඳව මීට වසර දෙක තුනකට පෙර අපි විශේෂඥ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ දෙමාපියන් දැනුවත් කිරීමේ දේශන මාලාවක්‌ රට පුරා පැවැත්වූවා. එම දේශනවල එකතුවක්‌ ලෙසයි මෙම පොත එළිදකින්නේ.

වර්තමාන පාසල් අධ්‍යාපනයේ ඇති අවුල් සහගත බව ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

අද ක්‍රියාත්මක වෙන මේ අධ්‍යාපන ක්‍රමය අපේ රටට ගැළපෙන්නෙ නෑ. අපේ රටේ පාසල් අධ්‍යාපනය සැකසිලා තියෙන්නෙ දරුවන් විශ්වවිද්‍යාලවලට යොමු කරවීමේ අරමුණින්. නමුත් සෑම වසරකම පාහේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ සමස්‌ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 2 - 3 අතර ප්‍රමාණයක්‌ පමණයි. විශ්වවිද්‍යාල වරම් අහිමි ඉතිරි සියයට 97 ටම මේ අධ්‍යාපන ක්‍රමයෙන් වැඩක්‌ නෑ.

රටකට අධ්‍යාපන ක්‍රමයක්‌ සම්පාදනය කරන විට එය විවිධ දක්‌ෂතා සහ හැකියාවන් සහිත පුරවැසියන් බිහිකළ හැකි ක්‍රමයක්‌ විය යුතුයි. නමුත් අද අපේ පාසල්වලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන්නේ විශ්වවිද්‍යාලයට යැමට අවශ්‍ය වන පොතේ දැනුම පමණයි. පොතේ දැනුමට දරුවා සිරවූ විට ඔහු තුළ ඇති සහජ දක්‌ෂතා සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට තිබෙන අවස්‌ථා මඟහැරී යනවා.

අද ඇතැම් විෂය නිර්දේAශ පමණක්‌ නොවෙයි, පාසලට දරුවන් ගෙන යන පොත් බෑගයේ බර පවා ඔවුන්ට දරාගත නොහැකි බවට චෝදනා එල්ලවුණා. පොත් බෑග් නිසා රෝගී වූ දරුවන් ගැන පවා වාර්තා වුණා?

අනවශ්‍ය විෂය කරුණු විෂය මාලාවන්ට ඇතුළත් කිරීමේ ප්‍රතිඵලයක්‌ හැටියට අද විෂය ක්‌ෂේත්‍ර බොහෝ පුළුල් වී තිබෙනවා. දරුවන්ගේ පාසල් බෑග් වැඩි බර ප්‍රමාණවලින් යුක්‌තවීමටත් මෙය හේතුවක්‌. බොහෝ පොත්පත්වල ඇති විෂය කරුණු දරුවාගේ අනාගතයට එතරම් ප්‍රයෝජනවත් ඒවා නෙමෙයි.

අධ්‍යාපනයේ නියම ප්‍රතිඵල ලබන්නට නම් දරුවකුට සමබර අධ්‍යාපනයක්‌ ලබාදෙන්න ඕන. විෂය ක්‌ෂේත්‍ර අනවශ්‍ය ලෙස පුළුල් කිරීම නිසා ශාරීරික, මානසික, සමාජීය සහ පෞරුෂ වර්ධනයට හේතුවන ක්‍රියාකාරකම් වෙත දරුවන්ට යොමුවීමට ඇති අවස්‌ථාව ගිලිහී යනවා. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ මේවා කෙරෙහි යොමු කර ඇති අවධානයත් අඩුයි. අපේ රටට ගැළපෙන පුරවැසියන් බිහිකිරීමේ වගකීමත් වර්තමාන අධ්‍යාපනය පැහැර හැර තිබෙනවා. අවංක භාවය, විනීත ලෙස හැසිරීම, වෙනත් අය සමග කටයුතු කිරීමට පුහුණු කිරීම වැනි දේවල් වෙනත් රටවල කුඩා පන්තිවලදීමයි ආරම්භ කරන්නෙ. අපේ පාසල් අධ්‍යාපනය තුළ මේ දේවල් සම්පූර්ණයෙන්ම අමතක කරලා. මේ නිසා අපේ පාසල් අධ්‍යාපනය තුළින් කුසලතා පූර්ණ පුරවැසියෙක්‌ බිහිවෙන්නෙ නෑ. සමාජය ගැන තමා වෙත පැවරී ඇති වගකීම පිළිබඳ වර්තමාන බොහෝ තරුණ තරුණියන් තුළ නිසි අවබෝධයක්‌ නොමැත්තේත් මේ නිසයි.

ඇතැම් අධ්‍යාපනඥයින් අදහස්‌ කරන විදිහට මේ දේවල් ගෙදරින් උගන්වන්න පුළුවන් කමක්‌ නෑ. අධ්‍යාපන ක්‍රමයක වගකීම ශාස්‌ත්‍ර ඥානය ලබාදීම පමණක්‌ නෙමෙයි.

වර්තමාන අධ්‍යාපනය තුළින් අද සමාජයට ගැළපෙන පුද්ගලයින් බිහිකරගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි?

පාසල් විෂය නිර්දේශය හදන්නෙ බොහෝවිට විශ්වවිද්‍යාල මහාචාර්යවරු. මේ මහාචාර්යවරු කිහිපදෙනෙක්‌ අප සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා උසස්‌ පෙළ සමත්වී විශ්වවිද්‍යාලයට එන දරුවන්ට විශ්වවිද්‍යාල තුළදී සිය අධ්‍යාපන කටයුතු කරගෙන යැමට හැකිවන සේ පාසල් විෂය නිර්දේශ සකස්‌ කරන බව. විශ්වවිද්‍යාලය ඉලක්‌ක කරගෙන මේ විෂය නිර්දේශ සකස්‌ කරනවා පමණක්‌ නෙමෙයි, විශ්වවිද්‍යාලයෙදී උපාධියක්‌ ලබාගත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ රැකියාවන් මිස වෙනත්

රැකියාවක්‌ කිරීමට අවශ්‍ය දැනුමක්‌ හා හැකියාවක්‌ මේ තුළින් ලැබෙන්නෙ නෑ. අද බොහෝ විභාග ප්‍රශ්න සකස්‌ කරන්නේත් කටපාඩම් කර උත්තර දිය හැකි ආකාරයටයි. මේ තුළින් දරුවකුගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වෙන්නේ නෑ.

අද අපේ රටේ තිබෙන ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ රැකියා තිබුණත් ඒවා සඳහා පුහුණු ශ්‍රමිකයන් නොමැතිවීම. විශ්වවිද්‍යාලය මඟහැරෙන අපේ රටේ සමස්‌ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 97ක්‌ තරම් බහුතරයට මේ වෘත්තීය දැනුම ලබාගත හැකි ක්‍රමයක්‌ පාසල් අධ්‍යාපනය තුළ තිබෙන්නට ඕන.

මේ පොත තුළින් ඔබත් ඇතුළු මේ විශේෂඥ මඬුල්ල සමාජයට දෙන පණිවිඩය කුමක්‌ද?

මේ පොතෙන් පැහැදිලි කරන්නෙ අපේ රටේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ඇති මෙම අඩුපාඩු ගැනයි. මේ අඩුපාඩු මඟහරවාගැනීමට නම් විෂය නිර්දේශය නැවත ලිවිය යුතුයි. පසුගිය කාලයේ පළවී ඇති පෙළපොත්වලත් විශාල ගැටලු තිබෙනවා. පිටු සකස්‌වීම්වල පවා වැරදි තිබෙනවා. එමනිසා පෙළ පොතුත් විෂය නිර්දේශත් අලුතින් සකස්‌ කළ යුතුයි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධාරණය කළ යුත්තේ විෂයමාලා සංවර්ධන කටයුතුවලට අධ්‍යාපනඥයන් පමණක්‌ නොව කාර්මික හා තාක්‌ෂණ අංශවලත් ප්‍රවීණයනුත් සම්බන්ධ කරගත යුතුය යන්න. සමාජයේ විවිධ ක්‌ෂේත්‍රවල ප්‍රවීණයන් විෂයමාලා සංවර්ධන කටයුතුවලට දායක කරගැනීමෙන් වර්තමාන පාසල් අධ්‍යාපන විෂය මාලාවන්හි ඇති අඩුපාඩු බොහෝදුරට මඟහරවා ගත හැකියි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.