ඇහැලේපොල කුමාරිහාමි රාජසිංහ රජුට යෑවූ තල්පත කෝ?

ඇළපාතමුදලිට බලවත් අසාධාරණයක්‌
බිද වැටුණු රජවීමේ සිහිනය

ශ්‍රී වික්‍රම රාජසිංහ යනු ඉන්දියාවෙන් මෙරටට ආ වඩිග රාජ කුමාරයෙකි. මේ කුමරු ජීවිකා වෘත්තීය වශයෙන් තම්පලා වැවූ නිසා ඔහු තම්පල කුමාරයා හැටියටත් ප්‍රසිද්ධ වූයේය. ඇත්තටම ඔහුගේ අප්පා කවරෙකුදැයි කීමට හරිහැටි නොදන්නා මුත් ඔහුගේ මව ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බිසවත් සමඟ ආ පිරිසේ කෙනෙකි. මැය සමඟත් රජුගේ සම්බන්ධයක්‌ තිබුණු බව පැවසේ. එසේම ඇය පිළිමතලාවේ මහා අදිකාරම් සමඟද අනියම් සම්බන්ධයක්‌ ගොඩනඟාගෙන සිටියාය.

අදිකාරම්ගේ සිත් තුළ රජු කෙරෙහි තිබුණේ නොපහන් හැඟීමකි. දිනෙන් දින දලු ලා ආ එම හැඟීම වෛරයකට පෙරළුණි. රජු මැරීමට උපායක්‌ කල්පනා කළ අදිකාරම් ඒ සඳහා කුමාරයාව යොදා ගන්නට අදහස්‌ කළේය. දිනක්‌ රජු මේ නිවසට ආ විට කුමාරයා ලවා කඩුවකින් කොටා ඔහුව ඝාතනය කෙරෙව්වේය.

ඊළඟට ඇත්ගොව්වාට අල්ලස්‌ දී මඟුල් ඇතු කුමරුන් ඉදිරියේ දණ ගස්‌සවා ගෙන කුමරුන්ව ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කරවා ගත්තේය. මේ දෙදෙනා අතර තිබූ හොඳ හිත පලුදු වී යැමට වැඩිකල් නොගියේය. හේතුව අදිකාරම් ගහන පදයටම නැටීමට රජු අකැමැති වීමයි. තවදුරටත් රජු පාලනය කළ නොහැකි බව අවබෝධ කර ගත් අදිකාරම් රජුව ඝාතනය කිරීමට සිතා ගත්තේය. මේ අනුව කීප විටක්‌ම රජු මැරීමට උත්සාහ කළද ඒ හැමවිටම බේරුණු රජ අදිකාරම්ට සමාව ද දුන්නේය. අන්තිමට රජුගේ ඉවසීමේ සීමාව කෙළවර වූයේ කුලී හේවායන් 60 දෙනකු යොදා රජුව ඝාතනය කිරීමට අදිකාරම් උත්සාහ කළ මොහොතේය. රජුගේ උපදේශකයන් පවා කීවේ අදිකාරම්ට මරණීය දණ්‌ඩනය දෙන ලෙසය. ඒ අනුව රජු ආඥාව නිකුත් කළේය. සැඟවෙන්නට උත්සාහ නොකළ අදිකාරම් රජුට භාර විය. අදිකාරම්ගේ එකම පුතාද රජු ඉදිරියට ගෙන ආ නමුත් මරණීය දණ්‌ඩනය දුන්නේ අදිකාරම්ට පමණි. ඔහුගේ සියලු වස්‌තුව රාජ සන්තක කළ නමුදු රජු පසු කාලයක මේ වස්‌තුව අදිකාරම්ගේ පුතුට පවරා ඔහුට රාජ්‍ය තනතුරක්‌ද දුන්නේය. අදිකාරම් රජුගේ ආඥාවට හිස නමා භාර වූ හෙයින් අඩුම වශයෙන් ඔහුගේ දරු පවුලවත් බේරුණි.

පිලිමතලාවගෙන් හිස්‌ වූ මහා අදිකාරම් ධුරයට පත් කරන ලද්දේ ඇහැලේපොල අදිකාරම්ය. 2 වන රාජසිංහ දවස රුහුණේ බලපිටිය ග්‍රාමයෙන් උඩරටට සංක්‍රමණය වූ මොහුගේ මී මුත්තාට රජු සමඟ හොඳින් ඇසුරක්‌ ගොඩනඟා ගන්නට ලැබුණේ ජෝතිෂ්‍ය ගැන ඔහුගේ තිබුණු මනා දැණුම නිසාය. රජු ඔහුට උසස්‌ රාජ්‍ය නිලයක්‌ දුන්නේය. එම පරම්පරාව එතැන් පටන් උඩරට නිලතල හෙබවූවේය. එසේම ජෝතිෂ්‍ය කටයුතුද කරගෙන ගියේය.

ඇහැළේපොළ අදිකාරම් සරණ පාවාගෙන සිටියේ පිළිමතලාවගේ නැගණියගේ දුවයි. කුමාරිහාමි කාගේත් සිත්ගත් ළඳක්‌ වුවද අදිකාරම්ට තිබුණේ කුරිරු අදහස්‌ය. ඒ බව සනාථ කරන බොහෝ දේ අදිකාරම්ගේ ජීවිතය පුරාම දැකගත හැක. අදිකාරම් සබරගමුවේ රාජකාරිවලට පැමිණිය විට ලැඟුම් ගන්නේ බටුගෙදර තානායමේ ය. වරක්‌ ඔහු එහි සිටිද්දී බස්‌නායක නිලමේ කෙනෙක්‌ අවි අත්තක්‌ දරාගෙන දෝලාවකින් එහි පැමිණියේය. එයට උරණ වූ අදිකාරම තම හේවායන් ලවා ඔහුට අඩන්තේට්‌ටම් කොට දෝලාව කඩා බිඳ දමා ඔහුගේ සියලු දේපළ රාජසන්තක කොට ඔහුව දිළින්දෙකු කළේය. තවත් විටකදී (පිළිමතලාවේ ජීවතුන් අතර සිටින කාලයේ) කෝරාළවරුන් දෙදෙනකු පිහියෙන් ඇන මරා දැම්මේය. මේ අවස්‌ථාවේ ඔවුන්ගේ නෑයින් මේ ගැන රජුට පැමිණිලි කළ විට උරණ වූ රජු වහා අදිකාරම්ට පැමිණෙන ලෙස නියෝග කළේය. පැමිණිය යුත්තේද බෙර වාදනවලින් තොරව හා දෝලාවකිනුත් නොමැතිව බව දන්වා සිටියේය. (ජන දුක හඳුනාගත් මේ රජුටයි අප පසු කාලයක කෲර පාලකයකු කියා හංවඩු ගැසුවේ) පිළිමතලාවේ මේ ප්‍රශ්නයට මැදිහත් වී එය විසඳා දුන් බව කියවේ.

අදිකාරම්ගෙන් බලවත්ම අසාධාරණය වූයේ ඔහුගේ අතිජාත මිත්‍රයා වන ඇලපාත මුදලිටයි. (ගජමන් නෝනා සමඟ අනියම් සම්බන්ධයක්‌ පැවැත්වූයේ මොහුය) ඔහුට සිටියේ කුඩා දූවරුන් දෙදෙනෙකි. මෙයින් එක්‌ දියණියක්‌ වැඩිවිය පැමිණි කල ඇහැලේපොලගේ පුතෙකුට විවාහ කර දීමට දෙදෙනා අතර ගිවිසුමක්‌ විය. මේ අතර හදිස්‌සියේම ඡ්වර රෝගයකින් ඇලපාත මුදලි මරණාසන්න වූයේය. එවෙලේ තම ප්‍රාණසරි මිත්‍රයා ගෙන්වා ගත් ඇලපාත මුදලි තමනට පරම්පරාවෙන් උරුම වූ සීතාවක රාජසිංහ රජුගේ දිවි ලේ තැවරුණු සාටකය හා හත් පොටක්‌ තම ඉන වටා කරකවා දැමිය යුතු රිදී හවඩිය ද අදිකාරම්ට භාර දුන්නේය. ඒ දියණියගේ සැමියා ලෙස කවදා හෝ මේවා අයිති වන්නේ ඇහැලේපොල පරම්පරාවට නිසා විය යුතුය. (මෙම රිදී හවඩිය අදිකාරම් ඉංග්‍රීසීන් වෙත පලා එද්දීත් තිබූ බව පැවසේ)

මිත්‍රයා මළ පසු අදිකාරම් කළේ එම වලව්වේ තිබූ වටිනා භාණ්‌ඩ හා පෙට්‌ටගමක්‌ තම නිවසට ගෙන යැමය. එසේම බටුගෙදර තිබූ මුදලිගේ විශාල පොල්වත්ත ද තමා සතු කර ගැනීමයි. මුදලිගේ ළමාහාමි මෙයට විරුද්ධ වූ විට ඇයට විරුද්ධව රජුට පැමිණිලි කළේය. කෙනෙක්‌ මළ විට එකල නීතිය අනුව ඔහුගේ දේපළ රාජ සන්තක කළ යුතු නමුත් එය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ ඒ දිසාවට කැමති අයුරිනි. මේ අවස්‌ථාවේදී කුමක්‌ හෝ කරුණකට රජු දිසාවේවරුන් කැඳ වූයේය. රජු හමුවීමට යැමට පෙර වහා ක්‍රියාත්මක වූ අදිකාරම සියලු දේපළ නැවත ළමාහාමිට පවරා දුන්නේ රජු තමනට දොස්‌ පවරාවී යෑයි ඇති වූ බිය නිසා ය.

ඇහැලේපොල සබරගමුවේ දිසාවේ හැටියට කටයුතු කරන්නට පටන්ගත්තේ මීගස්‌තැන්නේ දිසාවගේ මරණයෙන් පසුවයි. ඒ 1808 දීය. මේ මහලු දිසාව කලක්‌ රජු සමඟ අමනාපයෙන් සිටියේ යුද පිටියේදී පසු බැස්‌ස තම බෑණා වන ලෙව්කේ රාලව යුද නීතියට අනුව රජු විසින් මරා දැමීම හේතුවෙනි. රජු ඉදිරියටම ගොස්‌ දිසාව රජුට තර්ජනය කළද, රජුට ඔහුගේ වේදනාව වැටහුණි. ඒ නිසාම මරණාසන්න වී සිටි දිසාව බැලීමට ගිය රජු සියතින්ම ඔහුට ඖෂධ පෙවූ බවත් පැවසේ. ඒ අවස්‌ථාවේදී දිසාව රජුට පැවසුවේ ඇහැලේපොල කටුවාගෙන් ප්‍රවේශම් විය යුතු බවයි. මේ දිසාව විවාහ කරගෙන සිටියේ පිළිමතලාවගේ දියණියකි. මැය සමඟ ඇහැලේපොලගේ අයථා සම්බන්ධයක්‌ තිබුණි. (සාහසික ලෙස තම දරු පවුලම ඝාතනය වී අවුරුද්දක්‌ යැමටත් පෙර ඔහු මේ වැන්දඹුව විවාහ කර ගත්තේය)

ඩොයිලිගේ දිනපොත අධ්‍යනය කිරීමේදී අදිකාරම්ගේ දෙපිටකාට්‌ටු චරිතය අපට මැනවින් තේරුම් ගත හැක. ඔහු ඉංග්‍රීසීන් සමඟ මුල සිටම ඇසුරක්‌ ගොඩනඟාගෙන සිටියේය. වරක්‌ ඩොයිලි ශ්‍රී පාද කන්දේ ඇති වෘක්‌ෂලතා ගැන ඇහැලේපොලගෙන් අසා යෑවූ විට ඉතා දුර්ලභ වෘක්‌ෂලතා 12 ක්‌ නියදියක්‌ ඔහු එව්වේය. එයට තෑගි වශයෙන් පාත්ත ජෝඩු 2 ක්‌ අදිකාරම්ට ලැබුණි.

වරක්‌ එක්‌නැලිගොඩ නිලමේ අදිකාරම්ගේ නියෝගයකට ඩොයිලිගෙන් යුද ආධාර ඉල්ලූ නමුත් ජනතාව රජු සමඟ බවත් රජුට විරුද්ධව යැමට තරම් හේතුවක්‌ ඔවුනට නොපෙනෙන බවත් පවසා තුවක්‌කු කීපයක්‌ පමණක්‌ දුණි. ඇත්තටම ඇහැලේපොල කුමාරිහාමි ඝාතනය වන තෙක්‌ම ජනතාව සිටියේ රජුගේ පැත්තේය. ඒ අදිකාරම්ලා හැමවිටම අසාධාරණ බදු අය කරමින් ජනතාව පීඩාවට පත් කළ හැමවිටම රජු සිටියේ ජනතාවගේ පැත්තේ නිසා ය.

තම රජවීමේ සිහිනය සැබෑ කර ගැනීමට නම්, ජනතාව තම පැත්ත ගත යුතු බවත්, ඒ සඳහා ලොකු දෙයක්‌ කළ යුතු බවත් අදිකාරම්ට තේරුම් ගියේය. මීගස්‌තන්නේගේ වැන්දඹු බිරිය එයට රුකුල් දීම අදිකාරම්ට විශාල අස්‌වැසිල්ලක්‌ විය. ශ්‍රී වික්‍රම රජුටත් වඩා හොඳින් සිංහලේ නීතිය දත් අදිකාරම්, කුමාරිහාමිව මකර කටේ තබා කැරැල්ල පටන්ගත්තේය. රජු වහාම 1 වැනි ආඥා පත්‍රය යෑවීය. එහි සඳහන් කරුණු 3 වූයේ ඔහුගේ ධුරය අහෝසි කළ බවත්, දේපළ රාජ සන්තක කළ බවත්, ඔහුගේ හිස ගසා දමන බවත් ය. පිළිමතලාවේ කළාක්‌ මෙන් රජුට භාර වෙනවා වෙනුවට ඔහු ඉංග්‍රීසීන් වෙතට පලා ගියේය. රජු 2 වන ආඥා පත්‍රය නිකුත් කොට කුමාරිහාමි ඇතුළු පවුලේ අයව අල්ලා සිර කර සතියක්‌ තබා ගත්තේ ඇහැලේපොල භාර වේ යෑයි බලාපොරොත්තුවෙනි.

ඇත්තටම මෙසේ අල්ලා ගැනීමට පෙර කුමාරිහාමිට පලා යැමට ඉඩකඩ තිබුණි. එහෙත් ඇය රජ වාසලෙන් පණිවිඩයක්‌ ඉතා විශ්වාසයෙන් බලාපොරොත්තුව සිටියාය. කුමාරිහාමි තම ස්‌වාමියාගේ නින්දිත කුමන්ත්‍රණය නොදැන ඔහු කෙරේ තිබූ ඉමහත් සෙනෙහස නිසාම රජුට තල්පතක්‌ යෑව්වාය. එහි අදිකාරම් වරදක්‌ කර ඇත්නම් ධුර අහෝසි කරන ලෙසත්, දේපළ රාජ සන්තක කරන ලෙසත් ඉල්ලා, එසේ වුවත්, මීට පසු මෙවැනි දෙයක්‌ නොවන විදියට වග බලාගන්නා බැවින් තම සැමියාගේ ජීවිතය දානය දී තමාට භාර කරන ලෙසත් යෑද්දේ මීට බලුගැත්තී යයි කියමිනි.

මෙන්න මේ තල්පත දැනට මහනුවර පන්සලක පෙට්‌ටගමක තිබී මගේ මග පෙන්වීමකට අනුව ගිය දෙදෙනකුට දැක ගන්නට ලැබී ඇත. එපමණක්‌ නොව එහි දේවමුලාචාරියාට රජු නිකුත් කළ ආඥා පත්‍රයද ඔවුන්ට සොයාගත හැකි විය. බ්‍රවුන්ද්‍රිග්. ඩොයිලි, හා ඇහැලේපොල යනාදීන්ට අවශ්‍ය වූයේ රජු මහා කෲර පාලකයකු බව ජනතාව අතර ප්‍රචාරය කිරීමටය. ඒ සඳහා ඔවුන් දේවමුලාචාරියාද යොදා ගත්හ. පත්තිරිප්පුව හා කිරි සයුර නිර්මාණය කළ මොහුගේ ඇඟිලි කපා දැමූ බවයි ප්‍රචාරය වී තිබුණේ. එහෙත් ආඥා පත්‍රයේ ඇත්තේ ඔහුගේ දේපළ රාජ සන්තක කිරීමට පමණයි. සමහර විට මේ කොන්ත්‍රාත්තුවේදී ඔහු රජුගේ මුදල් අවභාවිතා කරන්නට ඇත. දේපළ රාජ සන්තක වූ පසු ඔහු කිරි සයුරට පැන දිවි නසාගත් බව පැවසේ. කෙසේ හෝ වේවා මල්වතු අස්‌ගිරි දෙපාර්ශ්වයට අයත් පන්සල්වල තවත් වටිනා දේවල් ඇත. මේවා පෙට්‌ටගමේ දමා යතුරු දමා, යතුරු ඉනේ ගසාගෙන ස්‌වාමීන් වහන්සේලා වඩින සේක. මහා නායක ස්‌වාමීන් වහන්සේලා මේවා තම භාරයට ගෙන එක පෙට්‌ටගමක්‌ සාමණේරයන් වහන්සේලා පස්‌ නමකට බැගින් භාර දී මේ සියලුම ලියවිලි ලේඛනගත කරවා පන්සලට අදාළ ඒවා පමණක්‌ ඉතිරි කරගෙන අනිත්වා ජනගත කරවන්න.

ඇය මේ තල්පත ඇරියේ කා අතේදැයි හරියට කිව නොහැකි වුවත් බොහෝ විට එය පුස්‌සැල්ලේ නිලමේට දෙන්නට ඇති යෑයි මට සිතේ. ඒ ඔහු එවකට දියවඩන නිළමේ වූ නිසාය. ඔහුත් ඇහැලේපොලගේ සහචරයෙකි. මෙම තල්පත රජු අතට නම් පත් නොවුණි. පත් වූවා නම් ලංකා ඉතිහාසය ලියවෙන්නේ වෙනස්‌ ම ආකාරයකටයි. එසේ නම් අප කිසිදා ඉංග්‍රීසීන්ට යටත් කළ නොහැකි වේ. ඉතිහාසයේ කවදත් සිදු වූ පරිදිම ඇයම වූවා හැරවුම් ලක්‍ෂය.

රජුගේ සමාව බලාපොරොත්තුව සිටියද යම් අභාග්‍යයක්‌ වුවහොත් එක දරුවෙක්‌ හෝ බේරාගැනීම ඇගේ අභිලාෂය විය. කුමාරිහාමිගේ පවුල අල්ලා ගැනීමට කටුපුල්ලේ රාළ පිටත් වූවා යෑයි ආරංචිය සමඟම තම වැඩිමහල් දියණිය කැප්පෙටිපොල නෑනන්ඩියට භාර දෙන්නේ තමාගේ ඇත්දළ ආභරණ පෙට්‌ටියත් සමඟමයි. ඇය දැරිය සහ පෙට්‌ටිය තම නැන්දනියගේ ගම් පියස වන සඳලංකාවට යෑව්වාය. එහිදී මේ ආභරණ පෙට්‌ටිය නිධන් කළ බව පැවසේ. සමහර විට කෙනෙකුට සිතෙන්නට පුළුවන් ඇයි පුතෙකු රැක නොගත්තේ කියා. එහෙත් එය අවදානම් වැඩකි. බොහෝ විට පුතුන් රජු ඉදිරියට දැකුම් පිණිස ගිය අය විය යුතුයි. එම නිසා අදිකාරම්ට පුතුන් දෙදෙනකු සිටින බව ඕනෑම කෙනෙකු දැන සිටිනවා විය යුතුයි.

දැන් ඉතින් අපෙන් විය යුතු විශාල වගකීමක්‌ ඇත. නැපෝලියන් බොනපාට්‌ව පවා පරාජය කළ ඉංග්‍රීසීන්ගේ ඒ අභීත 58 වෙනි සේනාංකය පරාජය කිරීමට ලෝකෙන්ම හැකි වූයේ අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පමණි. එතුමා අද රජවරුන් වගේ මාලිගයට වී අණ දුන්නේ නැත. පෙරමුණට ගිය අන්තිම රාජ්‍ය නායකයා එතුමාය. එතුමා රටින් පිටුවහල් කරද්දී හමුදා රෙජිමේන්තුවේ දොස්‌තර මාෂල්ට පැවසුවේ "මගේ නිළමේලා මාත් එක්‌ක හරියට හිටියා නම් උඹලට මගේ රට අල්ලාගන්න හම්බ වෙන්නේ නෑ" කියායි. එතුමා කෲර පාලකයකු නොවන බවට අපට ඔප්පු කිරීමට අනන්තවත් සාක්‌කි ඇත.

අන්තිමට මීගස්‌තැන්නේ දිසාවගේ වචන මතක්‌ කරගමු. "ඇහැලේපොල කටුවාගෙන් ප්‍රවේශම් වෙන්න"

* තිලකා රන්දෙනිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.