ශ්‍රීපාද ලාංඡනය මත මුතු මැණික්‌ අතුරා ඇත

අනුර සොලමන්ස්‌

මෙතෙක්‌ කතාව

ක්‍රි.ව. 1304 - 1369 අතර කාලයේදී ජීවත් වූ මොරොක්‌කෝ ජාතික සංචාරකයකු වූ ඉස්‌ලාම් භක්‌තික ඉබන් බතුතා ශ්‍රී පාදස්‌ථානය වන්දනා කිරීම සඳහා 1342 හෝ 1344 දී ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙවියන් වහන්සේ විසින් ලොව මවන ලද පළමුවැනි මිනිසා ලෙස හැඳින්වෙන ආදම්ගේ පා සටහන සමනොළ ගිර මුදුනෙහි ඇත යන විශ්වාසය මත ඔහු ලංකාවට ගොඩබසින්නේ හලාවතින්ය. ඉන් පසු පුත්තලමට යන ඔහු එකල යාපනේ රාජධානිය පාලනය කළ ආර්ය චක්‍රවර්ති නමැති හින්දු රජු හමුවෙයි. ඔහු සමනොළ නැඟීම සඳහා පිරිස්‌ බලය සහ අවශ්‍ය ආධාර ඉබන් බතුතාට ලබා දුන්නේය. සමනොළ තරණය සඳහා ඔහු මුලින්ම යන්නේ ගම්පොළටය. එතැන් පටන් කතාව අද කියවමු.

ගම්පොළ රාජධානියෙන් නික්‌ම ගිය අපි ඉස්‌තා මහමුද් නමැති ඉස්‌ලාමීය නාමයෙන් හැඳින්වෙන ගුහාවකට පැමිණියෙමු. එය වඳුරන්ගෙන් පිරුණු තැනකි. මේ වඳුරෝ සම්පූර්ණයෙන්ම කළු පැහැතිය. දිගු වලග සහිතය. මිනිසුන් වවන යට රැවුල් මෙන් කළු පැහැති රැවුලක්‌ උන්ට තිබිණි. මේ වඳුරන්ට නායකයකු සිටින බව ද මම දැන ගතිමි. අප අපගේ රජු අනුව කටයුතු කරන හැටියට වඳුරන්ද එම රජු අනුව කටයුතු කරන බව අපගේ අතවැසියෝ කීහ. ඔවුන් මට කී පරිදි වඳුරු නායකයාගේ හිස වටා ශාක පත්‍රවලින් කළ ඔටුන්නක්‌ තිබූ බව මා කිවුවොත් ඔබ පුදුම නොවිය යුතුය. මේ වඳුරු රජු සිය පිරිවර වඳුරු ජනයා වටකරගෙන සැතපී සිටින අයුරු ඔවුහු මට විසිතුරු ලෙස කියා දුන්හ. ඔවුන් කියු පරිදි වඳුරු රජු නිදන විටදී ඔහු දෙපසින් ලී දඬු අතින් ගත් වඳුරෝ සිව් දෙනා බැගින් මුරකාවල් දමා සිටියහ. වඳුරු රජු හිඳ සිටින විටත් ඔහු වෙනුවෙන් මේ මුරකාවල් මෙලෙසම යොදා තිබිණ. නායක වඳුරා සිය බිරියත් දරුවන් සහ සෙසු වඳුරන් දිනපතාම හමුවිය. දෛනික බැහැදැකීම්වලින් පසු රජු කෙරෙන් නික්‌ම ගිය වඳුරෝ වනයට වැද පලතුරු කඩාගෙනවුත් ඒවා අතැතිව රජ හමුවී ඒවා රජුට පිදූහ. නායක වඳුරා සිය පවුලේ අය සහ පිරිවර සමඟ ඒවා අනුභව කළහ. මා සමඟ ගමන් කළ එක්‌ අතවැසියකු කියූ කාරණයකින් මම මහත්සේ මවිත වීමි. සිය නායකයා ඉදිරිපිට වඳුරකුට පහරදෙන වඳුරන් සිවු දෙනෙකු දිනක්‌ ඒ අතවැසියා විසින් දක්‌නා ලද්දේලු· එසේම මේ වඳුරන් සිය රැහේ සිටින වැඳිරියකට හිරිහැර කළොත් ඇය සැනසීම සඳහා නැහැවිය යුතුලු.

අප ගමන් කළ පාරේ කූඩැල්ලන් බහුලය. කූඩැල්ලාට හොඳම පිළියම දෙහි බව මගේ ගමන් සගයෝ මට කීහ. කූඩැල්ලා මතට දෙහි බිඳු කිහිපයක්‌ දැමූ විට ඌ පුපුරා යයි.

අපේ ගමනේ ඊළඟ කොටස යෙදී තිබුණේ ගල්ලෙන් හතක්‌ තිබූ ප්‍රදේශයක්‌ හරහාය. මෙය පසු කළ පසු මහා ඇලෙක්‌සැන්ඩර්ගේ ගල් ලෙන දැක ගැනීමට අපට හැකිවිය. මෙය සෙරන්ඩිබ් නමැති සුවිශාල කන්ද පාමුල පිහිටි ගල් ලෙනකි. කන්ද තුළට ඇතුළු වීම සඳහා මේ ගල් ලෙන යොදාගත හැකි බව ගමන් සහකරුවෝ මට කීය. සෙරන්ඩිබ් කන්ද ලංකාවේ තිබෙන උසින් වැඩිම කන්දය. මහ සමුදුරේ යාත්‍රා කරන විටත් මෙය දැකගැනීමට ලැබුණු බව මම ඔබට කීවෙමි. එසේම එය ලොව පිsහිටි වඩාත්ම උසැති කඳු අතරින් ද එකකි. සමහර විට මේ කඳු මුදුන නොපෙනෙන්නේ එය වලාකුළුවලින් වැසී ඇති බැවිනි.

මේ කන්ද පාමුල පැහැපත් වනමල් බොහෝ තිබේ. සමහර මල් අල්ලක්‌ තරම් විශාලය. මේ මල් ගසේ ඇති විශාල පත්‍ර මත දෙවියන්ගේ නම ලියෑවී ඇතැයි මගේ අතවැසියෝ කීහ. ආදම්ගේ පා සටහන් පිහිටි කඳු මුදුන දක්‌වා යන මාර්ග දෙකක්‌ සෙරන්ඩිබ් කන්ද දෙපැත්තෙන් විය. මෙයින් එක පාරක නම ආදම්ගේ පාර හෙවත් බාබාගේ මාර්ගයය. අනෙක මාමාගේ පාර හෙවත් ඊවාගේ මාර්ගයය. ඊවාගේ පාර දිගුය. එහෙත් ලෙහෙසිය. (මෙය නූතන රත්නපුර පාරය) බාබාගේ පාර කෙටිය, එහෙත් දුෂ්කරය. (මෙය නූතන හැටන් පාර විය යුතුය) ලෙහෙසි පාරෙන් ගොස්‌ පා සටහන් වන්දනාමාන කිරීම සැබෑ වන්දනා ගමනක්‌ ලෙස සැලකීමට මේ වැස්‌සෝ අකැමැත්තාහ. ඔවුන් කියන්නේ වඩා පින් ලැබෙන්නේ දිග පාරෙන් ගමන් කළ විට බවය. කන්ද නඟින්නට පටන් ගන්නා තැන මහා ඇලෙක්‌සැන්ඩර් රජු විසින් පිහිටුවන ලද සංකේතයක්‌ තිබේ. එතැනින්ම ඉහළට ගල් පඩි කපා ඇති අතර ඒ මඟ දෙපස යකඩ ඉනි සිටුවා ඒවාට යකඩ දම්වැල් සවිකර තිබිණි. මේ දම්වැල් අල්ලාගෙන පඩි දිගේ පාද ලාංඡනය දක්‌වාම නැඟිය හැකිය. කන්ද මුදුනට සැතපුම් 2 ක්‌ පහතින් ඇති දම්වැල් අත්වැල් හෘද සාක්‍ෂියේ දම්වැල ලෙස නම් කර ඇත. මේ දම්වැල අල්ලාගෙන කන්ද නඟින කෙනකුට පහත බලන විට පෙනෙන්නේ තමන් පැමිණි ගමන් මඟ සහ කන්ද පාමුලින් පෙනෙන ගැඹුරු පාතාලයය. කඳු මුදුනට සැතපුම් දෙකක්‌ තිබියදී ගල් ලෙනක්‌ හමු වන්නේය. මේ ගල්ලෙන ඉදිරිපිට පිරිසිදු මිරිදිය සහ මසුන්ගෙන් පිරුණු ළිඳක්‌ තිබේ. ගල්ලෙනට නම් තබා ඇත්තේ මෝසස්‌ සහ මහා ඇලෙක්‌සැන්ඩර්ගේ ආධ්‍යාත්මික ගුරුවරයාගේ නමිනි.

කඳු මුදුනට ගොස්‌ පාද ලාංඡනය දැක බලාගෙන වැඳ නමස්‌කාර කිරීමට අදහස්‌ කරන අය මේ ගල්ලෙන තුළ සිය බඩු භාණ්‌ඩ සහ ගමන් මලු තබා ඉහළට නැඟීමට පටන් ගනිතිs. සැතපුම් දෙකක්‌ ඉහළට නැඟීමෙන් පසු පාද ලාංඡනය වෙත ළඟා විය හැකිය. මේ ශුද්ධ වූ පාද ලාංඡනය සටහන්ව ඇත්තේ ගල් තලාවක්‌ මතය. පාදය ගල් තලාව මත තබා තද කර ඇති සෙයක්‌ එය පිහිටුවා ඇති සැටියෙන් පෙනී යයි.

මේ පාද ලාංඡනයෙහි දිග වියත් එකොළොසකි. කලකට පෙර මේ කඳු මුදුනට පැමිණි චීන වන්දනාකරුවන් පිරිසක්‌ මේ පාද ලාංඡනයෙහි මහපටැඟිලි කොටස ගල්තලයෙහි කැබැල්ල පිටින්ම කපා ඉවත් කරගෙන චීනයට ගෙන ගොස්‌ විහාරස්‌ථානයක තැන්පත් කර වන්දනාමාන කරන බව දැනගන්නට තිබේ.

කඳු මුදුනෙහි ඇති පාද ලාංඡනය මත රන්, රිදී, මුතු, මැණික්‌ වැනි වටිනා ද්‍රව්‍ය නිරන්තරයෙන් දැකිය හැකිය. ඒවා එතැන තබන්නෝ බැතිමත්හුය.

ලබන සතියේ අවසන් කොටස

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.