වික්‌ටර් අයිවන්ගේ ප්‍රසන්න චිත්‍රපටය

ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ "උසාවිය නිහඬයි" චිත්‍රපටයට පනවා ඇති තහනම එබඳු වාරණ වුවමනාවන් හා එය දැමූවන් විසින්ම භාරගත යුතු පාරා වළල්ලකි. මන්දයත් තවමත් එය මහජනතාව වන අප නරඹා නැති නිසාය. මහජනතාව අතරට නොපැමිණි චිත්‍රපටයකින් කිසියම් පාර්ශ්වයකට එම මහජනතාවගෙන් අගතියක්‌, නිගරුවක්‌ හෝ මොනම බලපෑමක්‌වත් සිදුවෙතැයි කල්තියා නිගමනය කළ හැකිද? මාධ්‍ය හමු, උද්ඝෝෂණ විරෝධතා පවත්වමින් පත්තර පිටු පුරවමින් හඬ නඟන්නට තරම් දෙයක්‌ මෙහි නැත. යමකු යම් නිර්මාණයක්‌ ඉපැද්දුවේ නම් මොන සක්‌කරයාටවත් එය රසික ඇසුරට පත්වීම වළක්‌වනු නොහැක. වියදම පියවා ගැනීම හෝ ලාභ ඉපැයීම හෝ විදේශීය ආයෝජන හා සම්මාන, ආධාර, වැනි අපේක්‌ෂා නොවේ නම් චිත්‍රපටයක්‌ එය නැරඹිය යුතු යෑයි නිශ්චිත රසිකයන් අතට පත්කිරීමේ ක්‍රම ඕනෑතරම් අද ඇත. නිදසුනක්‌ ලෙස තවමත් තහනම් කර ඇති "අක්‌ෂරය" චිත්‍රපටය අද වනවිට නරඹා නැති අයකු සොයා ගත නොහැකි තරම්ය. හඳගමගේ තහනම් නොකළ චිත්‍රපටයකට වඩා ඔහුගේ තහනම් කළ 'අක්‌ෂරය' චිත්‍රපටය ජනතාව නරඹා ඇත. තවත් නිදසුනක්‌ ලෙස රටේ ජාතික ආරක්‌ෂාවට හානියක්‌ වෙතැයි උතුරු ප්‍රදේශය පිළිබඳ පුනරුත්ථාපනය, ප්‍රතිසංස්‌කරණය හා සංවර්ධනය භාර ඇමැතිවරයා විසින් එකල තහනම්කොට ලක්‍ෂ පහහමාරක වන්දියක්‌ සමඟ ප්‍රදර්ශනයට අවසර දුන් "පුරහඳ කළුවර" චිත්‍රපටයද ගත හැකිය. එය පෙන්වූවා කියා ජාතික ආරක්‌ෂාවට හානියක්‌ වූවාද?

අප විසින් කළ යුතු නිවැරදි දේ කුමක්‌ද යන ප්‍රායෝගික ප්‍රශ්නයට පිළිතුරක්‌ සැපයීම ප්‍රයත්නයක්‌ ලෙස බිහිවූ "උපයෝගීතාවාදයේ" කියෑවෙන සේ "යම් ක්‍රියාවක නිවැරදිභාවය නිර්ණය වන්නේ පොදු යහපත සඳහා එය කෙතරම් දුරට උපකාරීවේද යන්න මතයි. කුදු ප්‍රායෝගීතා මූලධර්මයට අනුව සත්‍යයේ වටිනාකම තීන්දු කෙරෙනුයේ එහි ප්‍රායෝගික උපයෝගීතාව හෙවත් ප්‍රයෝජනවත් භාවය අනුවය. චිත්‍රපටයක උපයෝගිතා අගයද සැලකිල්ලට ගත යුත්තකි.

"උසාවිය නිහඬයි" චිත්‍රපටය පොදුජන ඇසුර ලැබීම මෙලෙස අත්අහිටුවනු නොහැක. එම පරමාධිකාරී බලය ඇත්තේ ජනතාවටයි. එබැවින් සැබැවින්ම අත්හිටුවිය යුත්තේ මෙම චිත්‍රපටයෙන් හා ඊට වස්‌තු විෂය වූ පුවත්පත් ලිපි සමූහයෙන් එළිදරව් වන අයුක්‌තිසහගත අවභාවිතයයි. මෙම චිත්‍රපටය නිදහස්‌ කරගැනීමේ සටන තරමටම මෙකී සමාජ දේශපාලන අරගලය තුළ නිරූපිත නීතියේ අවභාවිතය නිවැරදිකර ගැනීමේ සටනද ජය ගත යුතුය. මෙම අරගලයේ ස්‌වරූප දෙක අප වෙන්කොට හඳුනාගත යුතුය.

වික්‌ටර් අයිවන් සහ ප්‍රසන්න විතානගේ (මාධ්‍යකරුවා සහ සිනමා මාධ්‍යකරුවා) ස්‌වකීය මාධ්‍ය භාවිතයට ගෙන ඇත්තේ එකම සිදුවීමකි. මාධ්‍යකරුවා මෙම සිදුවීම අරබයා ඉතා දීර්ඝ කාලයක්‌ පුරා තම ප්‍රකාශන මාධ්‍යය තුළින් අතිශය ප්‍රබල වූත්, සර්ව සාධාරණවූත්, සාක්‌ෂි සහිත වූත්, ශක්‌තිමත් අරගලයක්‌ දියත්කොට තිබුණේය. එම අරගලයට ඉතා දීර්ඝ කාලයක්‌ නිසි ප්‍රතිඵල රහිතව ගතවිය. මෙම අරගලයෙන් මාධ්‍යකරුවා ජයගන්නේ නැත. එනම් ඔහු පරාජිත සටන්කාමියකු බවද? කිසිසේත්ම ඔහු පරාද විය යුතු ද නැත. අප එසේ සිතන්නේ අපරාධකරුවකු වෙත්නම් ඔහු දඬුවම් ලැබිය යුතුම වන නිසාය. වික්‌ටර් අයිවන් දශක දෙකක්‌ පුරා අධිකරණමය ක්‍රියාමාර්ග තුළ සඵල කර ගන්නට සිය දිවි නොතකා ගෙන ගිය මෙම 'නොනිමි අරගලය' ප්‍රසන්න විතානගේ සැණෙකින් ජනතා අධිකරණය වෙත රැගෙන ගොස්‌ ඇත. සිනමාකරුවා තම කෘතිය ජනගත නොකොටම සිය ඉලක්‌ක සපුරාගෙන ඇත. එනම් කෘතිය ජයගත නොකොට එහි අන්තර්ගතය කෙරෙහි ජනතා අවධානය හා ජනතා ප්‍රතිවිරෝධය ක්‌ නිර්මාණය කිරීමය.

මධ්‍යකරුවා වන තමාට සිය ඉලක්‌ක සපුරා ගත නොහැකි වූ බව ඔහුම කියයි.

අදාළ මහෙස්‌ත්‍රාත්වරයාට එරෙහිව තමා කළ චෝදනා පරීක්‍ෂා කර බැලීමට පත්කළ කමිටුව තමා එල්ල කළ චෝදනා සියල්ලටම එම මහෙස්‌ත්‍රාත්වරයා වරදකරු කළ බවත්. ඒ අනුව එම කමිටුව කළ නිර්දේශ ක්‍රියාත්මක නොවූ බවත් වික්‌ටර් අයිවන් (රාවය, 2016.10.16) චෝදනාලාභී මහෙස්‌ත්‍රාත්වර යා අධිකරණ සේවයෙන් ඉවත් කළ යුතු බවටත්, ඔහුට එල්ල වී තිබුණු ස්‌ත්‍රී දූෂණ චෝදනාවන්ට හා තම වංචාකාරි ඉතිහාසය වසන්කොට අධිකරණයට එකතුවීමේ චෝදනාවට නඩු පැවරීමටත් එම කමිටුව නිර්දේශ කළැයි අයිවන් කියයි. (රාවය 2016.10.16) එය ඉටු නොවීම යනු මාධ්‍යකරුගේ පරාජයක්‌ නොවේද? ඉන්පසුව වික්‌ටර් අයිවන් නීතිපතිට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයට පැමැණිලිs කරනුයේ වරදකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් අති විශාල බහුතරයකගේ කැමැත්ත මත පරීක්‍ෂණ ආරම්භ වෙත්ම අගවිනිසුරු ධුරය වෙනස්‌වීම අධිකරණයේ යහපත තකා තමා කළ සියලු දේ ආපසු හැරවූ බව වික්‌ටර් අයිවන් කියයි. මෙය මාධ්‍යකරුවා ලද පරාජයක්‌ නොවේද? එකී පරාජය ජය මාවතකට හරවන්නේ සිනමාකරුවකු විසින් වීම විකල්ප මාධ්‍ය සටන්කාමීත්වය පිළිබඳ නව අවලෝකන ඇති කරන්නකි.

මෙම දෘඩෝත්සාහී මාධ්‍යකරුවාට තම විරෝදය පළ කළ හැකි එකම ක්‍රමය ලෙස ඔහුට ඉතිරිවන්නේ අගවිනිසුරුවරයා දිවුරුම් දෙන ඡායාරූපයක්‌ ඔළුවෙන් හිඳුවා එම මුල් පිටුවම කළු පැහැයෙන් මුද්‍රණය කිරීම පමණි. තමාට සිදුවූ අසාධාරණය ප්‍රබල ලෙස පළකිරීම සඳහා තෝරාගත හැකිව ත්sබුණු හොඳම ක්‍රමය එය වී යෑයි වික්‌ටර් අයිවන් පවසයි. (රාවය 2016.10.16) මාධ්‍යකරුවා යනු තම විරෝධය පළකිරීමෙන් පමණක්‌ සෑහෙන්නෙක්‌ද? පවත්නා ක්‍රමයෙහි වෙනසක්‌ සිදු විය යුතු යෑයි ඉල්ලා සිටීම හෝ අතෘප්තිකර විරෝධය පළකිරීම මෙන්ම මෙසේ විරෝධය පාමින් දේශපාලනමය මහා සමාජමය වෙනස්‌කම් ඉල්ලා සටන් කිරීම රැඩිකල්වාදයේ අර්ථයයි. නමුත් වඩාත් ප්‍රායෝගික වන්නේ විරෝධය සෑම හෝ සටන් කිරීමෙන් ඔබ්බට ඇතිවන දේය. වික්‌ටර් අයිවන් ඉතා දීර්ඝ කාලයක්‌ නියෑළී සිටියේ පවත්නා ක්‍රමයට තදබල විරෝධය පෑම සහ එම ක්‍රමය වෙනස්‌ කළ යුතු යෑයි සටන් කිරීමෙහිලාය. මෙකී "නොනිමි අරගලය" තවත් පියවරක්‌ ඉදිරියට රැගෙන ගියේ ප්‍රසන්න විතානගේය. එනම් මාධ්‍යකරුවාගේ අරගලය සඵල නොවී නිශ්ඵල වනවිට එය වඩාත් ඵලදායී ලෙස ජනතා අධිකරණය හමුවෙහි තබන ලද්දේ සිනමාකරුවා විසිනි. එනම් "උසාවිය නිහඬයි" නමැති වාර්තා චිත්‍රපටය අප හඳුනාගන්නේ වික්‌ටර් අයිවන් නියුතු සමාජ දේශපාලන අරගල හිම ජන සහභාගිත්වය ඒකරාශී කරන ප්‍රබල අවස්‌ථාවක්‌ වශයෙනි. එ නම් මෙම චිත්‍රපටය යනු සමස්‌ත අරගලයෙහි එක්‌ අභියෝගාත්මක ජවනිකාවකි. මාධ්‍යකරුවා සහ සිනමා මාධ්‍යකරුවා යන අරගලකරුවන් දෙදෙනාගේ මේ සටන දෙයාකාරය. වික්‌ටර් අයිවන් පෞද්ගලිකව හා හුදෙකලා නිරතවූ අරගලය තුළ ප්‍රසන්නගේ මෙම වාර්තා චිත්‍රපටය ස්‌ථාන ගත වන්නේ මෙම අපරාධය තුළ අගතියට පත් අසරණයන්ට සාධාරණය ඉටු වන දාකය. මෙම චිත්‍රපටයේ සත්‍ය වටිනාකම නිර්ණය වන්නේ මෙම අරගලකරුවන් (අයිවන් සහ ප්‍රසන්න) සිය ප්‍රකාශන මාධ්‍ය තුළින් හෙළිකරන අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබන දාක ය. විරෝධය පෑමෙන් පමණක්‌ යුක්‌තිය ඉටු නොවේ.

දිගු කාලයක්‌ පුරා නීති ක්‍ෂේත්‍රය මත සිදු නොවිය යුතු අයුක්‌ති සහගත සිදුවීම් මත මෙම අපරාධයට අදාළ පරීක්‍ෂණ යක්‍ෂයාට ගියේ යෑයි මාධ්‍යකරුවා පවසයි. එසේ නම් එවිට සිනමාකරුවාගේ කාර්යය මෙහි කුමක්‌ද වීද? මාධ්‍යකරුවා දිගුකලක්‌ පුරා නිරත අරගලය යකාට ගියපසු එම අරගලය ම වෙනත් මාධ්‍යයක්‌ ඔස්‌සේ වෙනතකට හැරවීමකි. මෙතෙක්‌ තම පුවත්පත හා අධිකරණය යන වේදිකා මත සක්‍රීය කෙරෙමින් තිබුණු තම අරගලය වඩාත් ප්‍රායෝගික තලයක ජනතා සහභාගිත්වය ලබන්නේ සිනමා මාධ්‍යයට පරිවර්තනය වීමත් සමඟය. මාධ්‍යකරුවා වසර ගණනාවක්‌ තම පුවත්පත හරහා මෙම අපරාධය සාක්‍ෂි සහිතව දීර්ඝ වශයෙන් හෙළි කරද්දීත්, ඉන් නොනැවතී "නොනිමි අරගලය" නමින් පොතක්‌ ප්‍රසිද්ධ කරද්දීත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් ඒ කිසිවකුට තහනම් නියෝග තහංචි පනවන්නට ක්‍රියා නොකිරීමෙන් ගම්‍ය වන්නේ කුමක්‌ද? පුවත්පත් ලිපි පෙළක්‌, අධිකරණයේ දූෂිතයන් ට එරෙහි සිය අරගලය පොතක්‌ ලෙස පළවීමත් පොදු ජනතාව අතර ප්‍රසිද්ධ වෙද්දී වුවද එබඳු විරෝධයක්‌ එම දූෂිතයන් වෙතින් මතු නොවෙයි. නමුත් එම සිදුවීම ම ප්‍රස්‌තුත කොටගත් වාර්තා චිත්‍රපටයකට තහනම් නියෝග පැනවෙන්නේ එය මහජන ප්‍රදර්ශනයට පැමිණෙන්නටත් පෙරය. ජනතා ඇසුරට පත් වන්නට පෙර එම ජනතාව අතර අදාළ චූදිතයන් අගතියට පත් වන්නේ කෙසේaද? යම් අපරාධකරුවකු නිගරුවට පත්වන්නේ ඔහු තුළ නින්දිත ක්‍රියා හේතුවෙන් මිස එකී ක්‍රියා කලාපය දෙවනුව ප්‍රසිද්ධ කිරීමෙන් නොවේ. කෙසේ වුවද ජනතාව අතරට පැමිණි පුවත්පත් ලිපි හා ග්‍රන්ථය යන මාධ්‍ය අභිබවා චිත්‍රපටය යන මාධ්‍ය ප්‍රබල බලපෑමක්‌ එල්ල කරන බව මින් සාක්‍ෂාත් වෙයි.

අධිකරණයේ දූෂිතයන් නිර්දය ලෙස නිර්වස්‌ත්‍ර කෙරෙන තම "නොනිමි අරගලය" පොත එම දූෂිතයන්ට එරෙහිව ජනතාව වෙත ඉදිරිපත් කළ දොaෂාභියෝගයකැයි කතුවරයා උදම් අනයි. නඩුකාරයකු තමා ඉදිරියේ ඇසෙන නඩුවල ස්‌ත්‍රීන් දූෂණය කළේ නම් එම කාන්තාවන්ට මොනයම් හෝ සාධාරණයක්‌ ඉටු වූවාද? අධිකරණයට වංචනික වූ විනිසුරුවරයා නීති ක්‍ෂේත්‍රයෙන් ඉවත් කළාද? සිදුව ඇත්තේ "නොනිමි අරගලය" සීමාවත් නැතිව දිග්ගැස්‌සීම හෙවත් සූක්‍ෂම ලෙස යටපත් කිරීම පමණයි. අයිවන් හුදෙකලාව කළ සටනට ජනතාව ඒකරාශී කරනුයේ මින් පෙර එබඳු අරගලයක නොසිටි සිනමාකරුවෙකි. අපරාධකරුවා පුවත්පත් මාධ්‍යයෙන් තමාට එල්ලවන අඛණ්‌ඩ ප්‍රබල විරෝධය වුවද නොතකා ඇත. සිනමා මාධ්‍යය වෙතින් කිසියම් විරෝධයක්‌ එල්ලවන බව ඉව වැටුණු සැනින් එකී දූෂිතයන් තැති ගන්නේ ඇයි? අඩුම තරමින් "උසාවිය නිහඬයි" චිත්‍රපටය ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට පැමිණියේවත් නැත. සිනමාකරුවා තම චිත්‍රපටයට අදාළ වස්‌තු විෂය අරගන්නේ ද මාධ්‍යකරුවාගෙන්මයි. එපමණක්‌ නොව සිනමාකරුවා ස්‌වකීය ප්‍රබල ප්‍රකාශන මාධ්‍යය වන වෘත්තාන්ත ප්‍රබන්ධ සිනමාව මත නොරැඳී මාධ්‍යකරුවා සටන් වැද සිටින වාර්තාකරණය දෙසට හැරෙයි. කුමකටද? අධිකරණයෙන් නොවිසඳුණු ගැටලුවට ජනතා අධිකරණයෙන් විසඳුම් පැතීමට ය. අධිකරණය මෙම ජනතා විරෝධය හෙවත් භාවකම්පිත තෙරපුමට සංවේදී වන්නේ ද? මේ සියලු කලබැගෑනි අස්‌සේ "නොනිමි අරගලය" පොතේ 3 වැනි මුද්‍රණයත් වෙළෙඳපොළට ආ බව ප්‍රචාරය කෙරේ. අගවිනිසුරුට එරෙහිව කරන ලද "නොනිමි අරගලය" රු. 700/- යි. චිත්‍රපටය ඔස්‌සේ මෙම සටන ගැන දැන, කම්පිත වූ දහස්‌ ගණන් ජනතාවට කොළඹ ජාත්‍යන්තර "පොත් සල්aපිලෙන් වට්‌ටම් සහිතව "නොනිමි අරගලය" මිලදී ගත හැකිය.

මාධ්‍යකරුවාගේ "නොනිමි අරගලය" එය එතෙක්‌ පැවැති පෞද්ගලික හුදෙකලා ස්‌වාර්ථයෙන් මුදා ගෙන සාමුහික අයිතියට පමුණුවන්නේ චිත්‍රපටය විසිනි. සමූහායත්න ක්‍රමය තුළ චිත්‍රපටයක්‌ ප්‍රබල වන්නේ එය මුළු මහත් ප්‍රජාවගේම යහපත තකා ප්‍රායෝගිකවම හේතුවන නිසාය. අයිවන්ගේ "නොනිමි අරගලය" තුළ මතුවන ප්‍රසන්නගේ "නිමි චිත්‍රපටය" "සමූහායත්තවාදය" තුළ විග්‍රහයට ගත් කළ මාධ්‍ය මගින් නිර්වස්‌ත්‍ර කළ දූෂිතයන් නිදැල්ලේ හැසිරෙනුයේ කෙසේදැයි හෙළි වෙයි. සාමූහිකකරණ න්‍යාය තුළ චිත්‍රපටය යනු පොදු අයිතිය තුළ පාලනය වන්නකි. සරලව කිවහොත් චිත්‍රපටය යනු සමූහ ගොවිපළක විලාස ගනී. මින් අප උත්සාහ කරන්නේ මාධ්‍යකරුවාගේ එකාධිකාරී අරගලය අර්ථ ගැන්වීමටයි.

අවසානයේ අගවිනිසුරුට එරෙහිව දොaෂාභියෝගයක්‌ ඉදිරියට ගැනීම සඳහා අති දුෂ්කර ප්‍රයත්නයක නිරත වන්නට තමාට සිදුවූ බව පවසන අයිවන් රාජ්‍ය බලයේ අනුග්‍රහයෙන් එම ප්‍රයත්න ව්‍යර්ථ කෙරුණු බව කියයි. මෙම අවභාවිතය අධිකරණය නැත්තටම නැති කළ බව පවසන්නේ මෙම මාධ්‍යකරුවා ය. අධිකරණයේ දූෂිතයන්ට එරෙහිව තමාට කරන්නට සිදුවූයේ දිග්ගැස්‌සුණු කටුක අරගලයකැයි මෙම මාධ්‍යකරුවා ම පිළිගනී. මේ අනුව මෙම වාර්තා චිත්‍රපටය යනු කුමක්‌දැයි, එය කෙතරම් ඵලදායී ප්‍රායෝගික බලපෑමක්‌දැයි සාක්‍ෂාත් වෙයි. ඡායාරූපයක්‌ උඩුයටි කොට පළ කිරීම, තම පුවත්පතෙහි පිටු කළු පැහැයෙන් මුද්‍රණය කිරීම, සියලු දූෂිතයන් ගැන පොතක්‌ ලිවීම වැනි හුදෙකලා විරෝධතා ක්‍රියාවලින් ඔබ්බට මෙම අරගලය සක්‍රීය විය යුතුව තිබුණි. අඩුම තරමින් එකී විරෝධතා ක්‍රියාවලියට පුළුල් පොදු ජන සහභාගිත්වයක්‌ ලබා ගත යුතුව ද තිබිණි. වසර ගණනාවක්‌ පුරා, වැකි, ඡේද හා ලිපි රාශියක්‌ ඔස්‌සේ ගෙන ගිය අරගලය කෙටි රූපාවලියකින් වහා ජන අවධානයට යොමු කර ඇත. තමාගේ පොතට එරෙහිව දූෂිතයන් ලෙස හෙළි කරන ඒ කිසිවකු අධිකරණය ඉදිරියට ගියේ නැතැයි මාධ්‍යකරු කියයි. එම පොත ඇසුරෙන් චිත්‍රපටයක්‌ ප්‍රතිනිර්මාණය කරන වාර්තා චිත්‍රකරුට එරෙහි වාරණ තහංචි පැනවෙයි. අරගලකරුවන් වටහා ගත යුත්තේ කුමක්‌ද?

මාධ්‍යකරුවා වාර්තා කරනුයේ සිදුවූ යමකි. සිනමා මාධ්‍යකරුවා එසේ නොවේ. ඔහු වාර්තා කරන්නේ සිදුවිය හැකි යමකි. ප්‍රසන්න විතානගේ අර්ධ වාර්තාකරණ චිත්‍රපටයක්‌ තුළ වික්‌ටර් අයිවන්ගේ සමස්‌ත අරගලය සංක්‍ෂිප්ත කළ ද සිනමාකරුවාට අපට භාර ගත හැක්‌කේ ඉතිහාසකරුවකු ලෙස නොව කවියකු ලෙස ය. වඩාත් ප්‍රබල බලපෑමක්‌ සිදු විය හැක්‌කේ සෘජු වාර්තාකරණයකින් නොව වඩාත් දාර්ශනික හා කලාත්මක ප්‍රකාශනයක්‌ විය හැකි වක්‍ර වාර්තාකරණයකිනි. ප්‍රසන්නගේ වාර්තා චිත්‍රපටය එවැනි උසස්‌ ආත්ම ප්‍රකාශනයකි. නියත සිද්ධි වාර්තා කරන මාධ්‍යකරුවකුට වඩා සිනමා මාධ්‍යකරුවකු උසස්‌ හා ප්‍රබල සටන්කරුවකු වන්නේ ඔහු සාර්වත්‍රික සත්‍යයක්‌, පොදු හෙවත් සර්වසාධාරණ සත්‍යයක්‌, ප්‍රකාශ කරන්නකු වන නිසාය. තවත් අවධාරණයට ගත යුතු කාරණාවක්‌ වන්නේ "උසාවිය නිහඬයි." වාර්තා චිත්‍රපටය හදන ප්‍රසන්න විතානගේ මින් පෙර පුරහඳ කළුවර වැනි ස්‌වීය චිත්‍රපට ද තනා ඇති බවය. පුරහඳ කළුවර යනු උසාවිය නිහඬයි මෙන් අන් අරගලකරුවකුගේ දීර්ඝ කාලීන සටනක එක්‌ ජවනිකාවක්‌ ලෙස ගත හැකි නොවේ.

මහා චිත්‍රපටය ඕනෑ තරම් සාර්ථක ලෙස ප්‍රදර්ශනය නොවන විට එහි අවසානයේ දවටන එක්‌ සටන් ජවනිකාවක්‌ නිසාම පොදු ජන මනාපයක්‌ ඉස්‌මතු වනු ඇත. ජනතාව ඉල්ලා සිටින්නේ දුවන චිත්‍රපට මිස නොනිමි ජවනිකා නෙවේ. සත්‍යයට වඩා සත්‍යයේ මායාව ප්‍රබල බව නිර්මාණකරුවා සේම විනිසුරුවරු ද දනිති.

මතු සබැඳෙයි.

අජිත් ගලප්පත්ති

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.