මංකඩ
සරා වටහා දුන් ජීවිතය

මේ සිද්ධිය සිදුවුණේ වසර ගණනාවකට පෙර මොනරාගල පැත්තේ ඈත ගම්මානෙක. පාසල් දරුවෙකු හා ගුරුවරියක සම්බන්ධ වුණත් මෙය ඉගෙනීමටවත් අධ්‍යාපනයටවත් සම්බන්ධ කතාවක්‌ නොවේ. කෙළින්ම ජීවිතය තුළටම කැපවුණු කතාවක්‌.

එය සිදු වුණේ මෙහෙමයි. නගරබද ජීවත් වුණු තරුණියකට ඇගේ මුල්ම ගුරු පත්වීම ලැබුණේ ඔය කියන මොනරාගල පැත්තේ පිටිසර ඉස්‌කෝලෙකට. මුලදී එහි යැමට අදිමදි කළත් පාසලට ගියාට පස්‌සෙ ඇගේ සිත හිරුඑළිsය වැටුණු කුසුමක්‌ වගේ පුබුදු වුණා.

ඉගැන්වීම හරි ඉගෙනීම හරි මේ දෙකටම කිසිම හැඟීමක්‌ නැති පාසලකට ඕ ඇවිත් තිබුණා. එහෙත් ඒ පාසලේ සෑම පන්ති කාමරයකම ජීවිතය පණ ගැහෙමින් තිබුණු බව ඇයට දකින්නට ලැබුණා. සමහර පුංචි පැටවු ජීවිතය විසින් දඩයම් කරනු ලැබ සිටියා. ප්‍රථම දිනයේම ඇයට ළමයින්ගේ උසුළු විසුළු වලට ලක්‌වීමට සිදු වුණා. දෙවැනි දිනයේ ළමයි ඇයව විහිළුවකට ගත්තා. ඇයගේ වචන ගණන් ගත්තේ පන්තියේ ළමයින්ගෙන් එකෙකු දෙන්නෙකු පමණයි. අකුරක්‌ ලියන්නට දන්නේ නැති ළමයින් පවා හතේ පන්තියේ සිටියා.

සරා ඒ විධියේ ළමයෙක්‌. ඔහුට මෙලෝ දැනුමක්‌ තිබුණේ නෑහැ. ඔහු නිතරම කළේ ගුරුවරුන් කුලප්පු වන දෙයක්‌. ඒ සමඟම අතොරක්‌ නැතිව බැණුම් ඇහුවා. ගුටිත් කෑවා. කිසිවෙක්‌ ඔහුට ප්‍රශංසා කළේ නෑ. එහෙත් අලුත් ගුරුතුමිය කිසියම් දෙයකට සරාට ප්‍රශංසා කළා. ඔහුගේ දඩබ්බරකම්වලට ඈ බැණ වැදුණේ නෑහැ. පාසල ඇරුණු පසු සරා කඩුල්ල ළඟ දැවටෙමින් සිටියා. එතනින් යන්නට පැමිණි ගුරුතුමිය ඔහු දැක නැවතුණා.

"මොකද සරා?"

"නෝන මහත්තය මට කවදාවත් කවුරුවත් හොඳක්‌a කියලා නැහැ."

ඊළඟ දිනයේ ද සරා නිවැරදි ලෙස ඉලක්‌කම් ලියා තිබුණා. ඔහුට ඒ සඳහා පොත පුරා ලොකු හරියක්‌ ලබුණා. කාටත් මෙල්ල කිරීමට නොහැකිව තිබූ මේ පුංචි දඩබ්බරයා හොඳ ළමයෙකු වෙමින් සිටියා. වෙනදාටත් වඩා කලින් පාසල් පැමිණීමට පුරුදු වුණ සරා තමාගේ හිතවත් නෝන මහත්තයාට ගෙදරින් මොනවා හෝ පලතුරක්‌ ගෙන ඒමට අමතක කළේ නෑ.

"මොනවද සරා?"

"අපේ ගෙදර වෙරළු ගහක්‌ තියෙනව නෝන මහත්තය. දැන් ගහ පුරවල වෙරළු හැදිල. මම නෝන මහත්තයට වෙරළු ගෙනාව."

ගුරුතුමිය ඒ වෙරළු අනෙක්‌ දරුවන්ටත් සරා ලවාම බෙදා දෙන්න සැලැස්‌සුවා. සරා එය කළේ සතුටින්. අනෙක්‌ දරුවන් සරා කෙරෙහි දැක්‌වූ නොමනාප ගතිය අතහැර සිනාවුණා.

එහෙත් දෛවය වෙනස්‌ වුණේ හිටි ගමන් කළු වලාවකින් හිරු වැසුණා වගේ. සරා දින ගණනක්‌ පාසල් ඇවිත් තිබුණේ නැහැ. ගුරුතුමියට එය ප්‍රශ්නයක්‌ වුණා. සරා පාසල් නොඑන්නේ ඇයි දැයි ඇය දැනගන්නට තැත් කළා. එහෙත් ඇයට ඒ ගැන නිවැරදි ආරංචියක්‌ ලැබුණේ නෑ.

ඒ නිසා ඈ තීරණය කළා සරාගේ ගෙදර යන්න. පාර වැටී තිබුණේ පුංචි කැලෑ රොදක්‌ මැදින්. වැලි පාරෙ දිගටම කඩතොළු. ඇය ගියේ අමාරුවෙන්. සැතපුම් භාගයක්‌ විතර ගියාම ඈ දුටුවා පාර අයිනෙ තියෙන අර වෙරළු ගහ. ඇය සිතුවා නිවැරදියි. වෙරළු ගහ ළඟම කටු මැටි ගෙයක්‌. ගෙයි ඉදිරියේ කිසිවකු නෑ. ඕ ගේ වටා ඇවිද පිළිකන්න පැත්තට ගියා. රෙදි කඩක්‌ තන මත්තට ඇඳ සිටි අම්මා කෙනෙක්‌ වළං සෝදමින් සිටියා. ඇය දුටු ගමන්ම ඕ කරමින් සිටි වැඩය නවතලා නැගිට්‌ටා.

"අනේ, ඉස්‌කෝලෙ නෝනා......"

"මේ සරාගේ අම්මද?" ඔව් නෝන මහත්තය. මම අඩමාන කළා නෝන මහත්තය ඒවි ද කියලත්. ඉස්‌කෝලෙටත් පණිවිඩයක්‌වත් යවා ගන්න බැරි වුණා නෝන මහත්තය. අපේ කොලුව නෝන මහත්තය ගැන නිතර කියනවා. පහුගිය ටිකේ ඌ හරි සංතෝෂෙන් ඉස්‌කෝලෙ ගියේ. නෝන මහත්තයට පිං සිද්ධ වෙනව උගේ හිත පිරෙන්න කතා කළාට. ඇය කියාගෙන ගියා.

"ඉතින් කෝ සරා. ඇයි එයා ඉස්‌කෝලෙ එන්නෙ නැත්තෙ?"

ගැහැනිය නිහඬව බිම බලා ගත්තා. මොකක්‌ හරි කනගාටුදායක දෙයක්‌ සිදුවෙලා ද කියල ඇයට හිතුණ.

"මං හිතුව නෝන මහත්තය දන්නව ඇති කියල. කොලුව නැති වුණා නෝන මහත්තය."

"අපොයි"

ඌරන්ට මානන තුවක්‌කුව අරගෙන සරා කුරුල්ලෙකුට මානා පත්තු කළා. මූනිස්‌සම්වලින් සරාට අනුකම්පාවක්‌ ලැබිලා නෑ. පුපුරා ගිය තුවක්‌කුව තුළ වූ උණ්‌ඩ සරාගේ නළල් තලය පලා ගෙන හිස්‌ මොළය ඇතුළට කිඳා බැස්‌සා.

ගුරුතුමිය ආපසු හැරුණේ බලවත් සිත් වේදනාවකින්. සියල්ල අවසන් බවත් ඇයට දැනුණා. ඇගේ සිතේ ඇඳුණේ "අනේ අහිංසකයා" කියන රූපයයි පාසල, ළමයි, ඉගෙනීම වගේ දේවල් කටුකයි කියලයි ගුරුතුමියට හිතුණේ. ඊට වඩා කටුක මේ අවස්‌ථාව ජීවිතය තේරුම් ගැනීම. මේ කතාව මට කියූ ලිලානන්ද ඇය අවසානයේ එසේ පැවසූ බව කීවා.

තිස්‌ස ගුණතිලක - tissa333@gmail.com

දිවයින, මංකඩ, 223, උපාලි පුවත්පත් සමාගම,
බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.