බස්‌නාහිර මගී ප්‍රවාහනය ඇමති පවුලේ බුක්‌තියට

අමරසිංහ මාලගේ

* පවුලේ අයට, යාලුවන්ට අධිකාරියේ තනතුරු...
* අධිකාරියට ලැබිය යුතු මුදල් පිල්ලි යයි...

රටක අත්‍යාවශ්‍යම අවශ්‍යතාවක්‌ වන ප්‍රවාහන පද්දතිය අඩාළ වු කල්හී වාහන නැති සාමාන්‍ය ජනතාවගේ සියලු කටයුතු අඩාළ වන්නේය. රැකියාවට යාමේ සිට ප්‍රවාහනය අවශ්‍යවන සියලු දේ ඇන හිටීම නිසා නිවසටවී උඩ බලාගෙන කල්පනා කිරීමට වඩා දෙයක්‌ සාමාන්‍ය ජනතාවට කළ නොහැකිවෙයි.

සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රජයන් මගින් ජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීම ඕනෑම රටක සාමාන්‍ය සිද්ධාන්තයයි. අපේ රටේ ලංකා ගමනා ගමන මණ්‌ඩළය ඇතිවන්නේද මේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන ප්‍රශ්නයට පිළිතුරක්‌ ලෙසය.

මුල් කාලයේ ලාබ ලබමින් ඉතා හොඳ ජනතා සේවයක්‌ ලබා දුන් බවට සාක්‌ෂි ඇති ලංගමය ජනතා ප්‍රසාදයට ලක්‌වෙමින් තිබියදී, එක්‌ එක්‌ කාලයට රටේ බලය අතට ගන්නා දේශපාලකයෝ තමන්ට හිතවත් කණ්‌ඩායම් බුරුතු පිටින් ලංගමයට ගාල් කිරීම නිසා ආදායමට වඩා වියදම වැඩිවීම සිදුවන්නේය. ඊට සමගාමීව දූෂණ ක්‍රියාද වංචා සහ හොරකම්ද ලංගමයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ආක්‍රමණය කිරීමෙන් ලංගම දිරාපත්වීම ආරම්භ වන්නේය.

අපේ රටේ දිනෙන් දින වැඩිවෙන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට දිරා ගිය ලංගමට නොහැකි නිසා පෞද්ගලික බස්‌රථ සේවාව ආරම්භ වන්නේ ජනතා ප්‍රවාහනයේ වැඩි බර ඔසවාගෙන යාමටය. මේ දෙකම එකතුව අදටත් ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අතර එය කොතරම් සතුටුදායක තත්ත්වයක පවතීද යන්න නිවැරදිව දන්නේ උදේ සවස බස්‌වල යන මගීන්ම පමණි.

පෞද්ගලික බස්‌රථ සේවාව ආරම්භ කිරිමෙන් පසු, මෙම සේවාව විධිමත් ක්‍රමවේදයක්‌ යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා 1992 මැයි මස 5දා මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පිහිටුවා ගන්නේය.

බස්‌නාහිර පළාත් සභා ප්‍රවාහන ඇමතිවරයා යටතේ ක්‍රියාත්මක වන බස්‌නාහිර මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියට සභාපතිවරයෙක්‌, සමාන්‍යාධිකාරීවරයෙක්‌, අධ්‍යක්‌ෂක මණ්‌ඩළයක්‌ ඇතුලු විවිධ නිලතල සහිත නිලධාරීන් පිරිසක්‌ද වෙයි. මෙම සභාපතිවරයා පත්කිරීමේ වගකීම ඇමතිවරයා සතු වන අතර සමාන්‍යාධිකාරීවරයා පත්කිරීම අධ්‍යක්‌ෂක මණ්‌ඩළය විසින් තෝරා ගන්නා අයෙකු ඇමතිවරයාගේ අණුමැතිය ලබාදීමෙන් පසු සිදුවන්නේය.

බස්‌නාහිර මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය සතු වගකීම් විශාලය. එම අධිකාරිය යටතේ ඇති බස්‌ සංඛ්‍යාව 6500 ඉක්‌මවයි. කොළඹ, ගම්පහ, කළුතර ආවරණය වන පරිදි කාර්යාල 07ක්‌ මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය සතුව ක්‍රියාත්මක වෙයි. අධිකාරයේ සේවයේ නියුතු සේවක, නිලධාරී සංඛ්‍යාව 818 කට ආසන්නය.. මෙයින් 342කට වැටුප් ගෙවන්නේ මහ භාණ්‌ඩාගාරයයි. ඉතිරි අයගේ වැටුප් ලැබෙන්නේ අධිකාරිය උපයා ගන්නා මුදලිනි.

මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රමවේද ලෙස රූට්‌ පර්මිට්‌ නිකුත් කිරීම, අලුත් කිරීම, පර්මිට්‌ ටෙන්ඩර් දැමීම මාසික ධාවන සටහන්පොත් නිකුත් කිරීම සහ දඩ මුදල් විශේෂවන අතර වෙනත් ආදායම්ද නැතුවා නොවේ.

රූට්‌ පර්මිට්‌ නිකුත් කිරීම, ලොග් ෂීට්‌ නිකුත් කිරීම, අදාළ මාර්ගවල නොකඩවා බස්‌ ධාවනයේ යෙදවීම, බස්‌ ධාවනය සඳහා කාල සටහන් නිකුත් කිරීම ඇතුලු විශාල වගකීමක්‌ සහිත මෙම අධිකාරිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේනම් සහ නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් මගී ජනතාවට පෞද්ගළික බස්‌ පිළිබඳ ඇතිවන කලකිරීම සහ අප්පිරියාව නැත්තටම නැතිවන බව අධිකාරියේ සේවයේ නියුතු සමහර සේවක මහත්වරුම පවසති.

බස්‌නාහිර මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය තනිකරම දේශපාලනකරණයවී මේ වනවිට තිබෙන්නේ ඉතාම අවධානම් තත්ත්වයක බව අධිකාරියේ සේවක මහත්වරුන්ම පවසන්නේ පවතින තත්ත්වය තුළ බස්‌නාහිර පළාත් මගීප්‍රවාහන සේවයම කඩා කප්පල් වීමට ඇති ඉඩකඩ පෙන්වා දෙමිණි.

අමාත්‍යවරයා තමන්ගේ පුතා සභාපති බවට පත්කර ඇතිබවත්, ඔහුගේ මිත්‍රයකුයයි කියන අයෙකු ආයතන බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව සමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කර ඇති බවත්, ඊට අදාළ මූළික සුදුසු කමක්‌වන වයස 35ට වැඩිවිය යුතු වුවද පත්කර ඇති සමාන්‍යාධිකාරීවරයා ඊට අඩු වයස්‌ මට්‌ටමක පවතින බවටද චෝදනා කරයි. මේ සියලු දෙනාගේම අදාළ විෂය පිළිබඳ ඇති දැනීමද අඩු මට්‌ටමක පවතින බවත්, ඔවුන් පවසයි.

මෙම සභාපතිවරයා සහ සමාන්‍යාධිකාරීවරයා හිතූ මතේ අධිකාරියේ සේවක මහතුන් මාරු කිරීම් කරන බවද, තමන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට එරෙහිවන්නන් ඔවුන්ගේ පලි ගැනීම්වලට ලක්‌වෙන බවද පැවසේ. විශ්‍රාමික ධාවන කලමණාකාරවරුන් දෙදෙනෙක්‌ කිසිම අවශ්‍යතාවක්‌ නැතිව සේවා දිගු ලබාදී ඇති බවද, අනියම් කම්කරු සේවයට බඳවාගත් කාන්තාවක්‌ පඩි රහිත නිවාඩු 19ක්‌ ලබා සිටියදී ලිපිකරු පදවියක්‌ ලබා දී ඇති බවද පවසයි.

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පාලන සහ පාලන කළමණාකාර තනතුරු 02ක්‌ ඊට සුදුසු අය පත් නොකර හිස්‌ව තබාගෙන සිටින්නේ ඔවුන්ගේ හිතවතුන් පත්කරගැනීමටයයි සැක සිතන බවත් සේවකයෝ පවසති.

මේවන විට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයට අධිකාරය පත්ව ඇති බව පවසන සේවක මහතුන්, අත යටින් ගෙනයන මුදල් ගණු දෙණු නිසා අධිකාරියට ලැබිය යුතු මුදල් ලක්‌ෂ ගණන් අහිමි වෙමින් පවතින බවද පවසයි.

මේවන තුරුත් කිසිදු ආකාරයට මගී ජනතාවට වැදගත්වන කිසිම ක්‍රියාමාර්ගයක්‌ රැගෙන නැති බවද ඔවුන් පවසයි. එA පිළිබඳව කිසිවෙකුටත් විමසීමට හෝ යෝජනා කිරීමට නොහැකි බවත් අධ්‍යක්‌ෂක මණ්‌ඩළයේ යෝජනා පවා ගණන් නොගන්නා ඔවුන් සියලු කටයුතු සිදු කරන්නේ ඔවුන්ගේම මනාපයට බවත් සේවකයෝ පවසති.

බස්‌නාහිර මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය තුළ ඇති අර්බුදකාරී තත්ත්වයේ එක්‌ පැතිකඩක්‌ මෙසේ වන අතර බස්‌ හිමියන්ද විශාල වශයෙන් බස්‌රථ ධාවනයෙන් ඉවත් කර ගනිමින් සිටින බවද පැවසේ.

ජනපතිවරයා හෝ අගමැතිවරයා වහාම මැදිහත්ව දේශපාලන බලපුලුවන්කරුවන් ගෙන් බස්‌නාහිර මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය බේරා නොගත හොත් දිනපතා පෞද්ගලික බස්‌රථවල නගින ලක්‌ෂ සංඛ්‍යාත මගී ජනතාවට සිදුවන්නේ මහමග රස්‌තියාදු වෙමින් තමන්ගේ වටිනා කාලය මහ මගටම කා දැමීමටය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.