අනෝතත්ත විල හමුවීමේ කතාව 1
හිමාල කඳු මැද දිලිසුන මහා බලගතු ජලාශය

අනුර සොලමන්ස්‌



මෙය පරණි බොදු සිතියමකි. චිනයෙන් සොයා ගන්නා ලදීත රතු පැහැති කවයෙන් දැක්‌වෙන්නේ අනෝත්ත විල පිහිටි ස්‌ථානයයි


භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ මෙයට අවුරුදු දෙදහස්‌ පන්සිය පනස්‌ ගණනකට පෙර ඉන්දියාවේ බුද්ධගයාවේ වැඩවසන කල්හී සෑම උදය වරුවකම විහාර මළුවට වැඩම කර ඈත පෙනෙන හිමාල කඳුවැටිය දෙස ස්‌වල්ප වේලාවක්‌ බලා සිටි බව එරට අන්ද්‍රd ප්‍රදේශවාසී දෙමළ බෞද්ධයෝ කියති. එදා බුද්ධගයාවේ උන්වහන්සේ වැඩසිටි තැනට හිමාල කඳුවැටියේ කෛලාස නමැති කන්ද මනාසේ දර්ශනය විය. අදටත්, වලාකුළු විසින් බාධා නොකරන ලද්දේ නම් බුද්ධගයාවට කෛලාස කූඨය හොඳින් පෙනෙයි.

කෛලාස කූඨය යනු අඩි 21778 ක්‌ උස, කිසි කලෙකත් කිසිදු මනුෂ්‍යයකු විසින් තරණය නොකෙරුණ පර්වත රාජයෙකි. හින්දු ආගමික විශ්වාසයට අනුව ශිව දෙවියෝ සිය භාර්යාව වන පාර්වති දේවිය සමඟ භාවනානුයෝගිව කෛලාස කූඨය මත වැඩවාසය කරති. ජෛන ආගමට අනුව මහමෙරු පර්වතය යනු මේ කෛලාස පර්වතයයි. තිබ්බතයේ සහ චීනයේ සමහර පළාත්වලත් නේපාලයේ හා මොංගෝලියාවේ ඇතැම් බෞද්ධ ආශ්‍රමවලත් අදහන වජ්‍රයාන බුද්ධාගමට අනුව එම බුදු දහමේ බුදුවරයකු වන Demchok (ඩෙම්චොක්‌)වාසය කරන්නේ කෛලාස පර්වතයෙහි ය. මේ සියල්ලටම අමතරව, තිබ්බතයේ තිබෙන බෝන් නමැති ආගමට අනුව මෙළොව ඇති සියලු ගුප්ත සහ අධ්‍යාත්මික බලවේගවල වාසස්‌ථානය වූ කලී කෛලාස කූඨය ය. 2001 දී කෛලාසය කැණීම සඳහා ස්‌පාඤ්ඤ ජාතික කඳු නගින්නන් කණ්‌ඩායමකට අවසර දීඹට තිබ්බතයේ භාරකාර රාජ්‍යය වන චීනය තීරණය කළේය. එහෙත් රෙයිනහෝල්ඩ් වෙස්‌නර් නමැති ලෝක ප්‍රකට කඳු නගින්නා මේ තීරණය හෙළා දකිමින් මෙසේ කියා සිටියේය, "කෛලාස කූටය තරණය කරන්නාගේ දෙපා මමගින් ඉතා වටිනා යමක්‌ කිලිටි වෙයි. ඒ වූකලී මේ පර්වතය මත දෙවියන් සිටිතැයි කල්පනා කරන මනුෂ්‍ය කොටස්‌වල ආධ්‍යාත්මයයි" චීන රජය එම කියමන පිළිගත් අතර කෛලාසය නැගීම සියලු කඳු නගින්නන්ට තහනම් කරන ලදී. 1980 කෛලාසය නැගීමේ අවසරය රෙයින්හෝල්ඩ් වෙස්‌නර් වෙත චීන රජය විසින් ලබා දුන්නද ඉහත සඳහන් හේතුව මත ඔහු ඒ අවසරය ප්‍රතික්‍ෂේප කළේය. මේ විශිෂ්ට කඳු නගින්නා එවරස්‌ට්‌ කන්ද ද ඇතුළුව ලොව බොහොමයක්‌ උස්‌ කඳු ඒවායේ මස්‌තකයටම තරණය කළ අයෙකි. අධ්‍යාත්මික වටිනාකමක්‌ ඇති මෙවැනි කඳු මුදුන් 15 ක්‌ ලොව ඇත. සමනොළ කන්ද, ඉතාලියේ විසුවියස්‌ කන්ද, ඊජිප්තුවේ සිතායි කන්ද යනාදිය මේ අතර ප්‍රමුඛය.

කෛලාසය යනු ගුප්ත රහස්‌ කෝටි ගණනක්‌ සඟවා ගත් කන්දකි. බෞද්ධ සාහිත්‍යයේ එන අනෝතත්ත විල, මානස විල ඇතුළු පූජනීයය විල් සිය ගණනක්‌ කෛලාසය පාමුල සහ එය අවට ඇත.

බ්‍රිතාන්‍ය ජාතිකයකු වන චාල්ස්‌ හයිගම් වූකලී ළමා කාලයේ සිට බෞද්ධ කතා ඇසීමට ප්‍රිය කළ කෙනෙකි. පසු කාලයේදී ලොව ප්‍රමුඛතම පුරාවිද්‍යාඥයකු බවට පත්වන ඔහු උස්‌ මහත් වන්නේ සිය මව විසින් කියන ලද බෞද්ධ කතා මැදය. ආසියාවේ ආධ්‍යාත්මික ප්‍රවාද ගැන හොඳින් දැන සිටි හයිගම් මාතාව විසින් ඔහුට වරක්‌ කියන ලද කතන්දරයකට අනුව අනොතත්ත විල තුළ අනෝතත්ත නමින් මකරෙක්‌ වාසය කළේය. දිගු කාලයක්‌ පෙරුම් පිරූමේ මකරා බෝධිසත්වයෙක්‌ බවටද පත් විය. (මේ කියන්නේ අප අදහන හීනයාන බුදුදහමේ බෝධිසත්වයන් ගැන නොව මහායාන බුදුදහමේ එන බෝධිසත්ව සංකල්පය ගැනය. තිබ්බතය වැනි රටවල අදහන මහායාන බුදුදහමට අනුව භාවනාව ප්‍රගුණ කරන ඕනෑම කෙනකුට බෝධිසත්වයකු බවට පත්වී මරණ මංචකයේදී නිවන් සාක්‍ෂාත් කරගත හැකිය.)

එකල අනොතත්තවිල භයානක අනතුරකට මුහුණ දී තිබිණ. ඒ වූකලී කටින් ගිනි පිට කරන අර්ධ මනුෂ්‍ය, අර්ධ පක්‍ෂි සත්ත්ව විශේෂයක්‌ වූ ගරුඩ නමැති දැවැන්ත ජීවීන් විසින් මකරුන්ට හිරිහැර කිරීමය. (සාමාන්‍යයෙන් අප අසා ඇති මකරු බියකරු සත්ත්ව විශේෂයකි. එහෙත් අනෝතත්ත විලේ සිටි මකරු අහිංසකයෝය.) අනෝතත්ත බෝධිසත්වයන් එම ගරුඩ වසංගතය නිමාවට පත් කර අනෝතත්ත විලට ශාන්තිය උදාකර ඇත.

මෙවැනි කතා ඇසීමෙන් කුතුහලයටත් උද්දාමයටත් පත් චාල්ස්‌ හයිගම්, අනෝතත්ත විල සොයා යැමට තීරණය කළේ ළමා කාලයේදී ය. දකුණු ලන්ඩනයේ පාසලකට ඇතුළු වූ ඔහු 1957 දී එනම් 18 වැනි වියේදී කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයට ඇතුළු විය. ඉන්පසු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගිය ඔහු පුරාවිද්‍යාව ගෙන ගනිමින් එංගලන්තයේ ලෝකඩ යුගය ගැන කළ කැණීම්වලට සම්බන්ධ විය. ඇගතා ක්‍රිස්‌ටි නමැති ලෝකප්‍රකට රහස්‌පරීක්‍ෂක නවකතාකාරියගේ සැමියා වූ ශ්‍රීමත් මැක්‌ස්‌ මැලෝවන් ඔහුගේ පුරාවිද්‍යා ගුරුවරයාය. එකල ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමාරයා ද චාල්ස්‌ හයිගම් සමඟ එකට පුරාවිද්‍යාව උගත්තේය.

(ලබන සතියේ තව කොටසක්‌)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.