තෙදැති බලැති සියඹලාව කැබිලිත්තේ වනසා දැමූ උන්ගේ කිලි තව ඇත්තේ...

ගයාන් සමරසිංහ

ශත වර්ෂයකට පමණ එපිට රුහුණු මාගම් පුරවරයේ ජීවත් වූ අන්දෝරිස්‌ එම පළාතටම සිටි දක්‍ෂ වෙදැදුරෙකි. රෝගීන් දස දහස්‌ ගණනකට ඔහු ප්‍රතිකාර කර තිබේ. අන්දෝරිස්‌ වෙද මහතාට සුවකළ නොහැකි කිසිම රෝගයක්‌ නොමැත. එකල මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන්ට පවා ඔහු වෙදකම් කර තිබේ. පන්සිල් පද පහ රකිමින් තනිකඩ ජීවිතයක්‌ ගතකළ අන්දෝරිස්‌ වෙද මහතා සැබෑ බෞද්ධයෙකි.

රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග අන්දෝරිස්‌ වෙද මහතා විසින්ම සාදා දෙනු ලැබේ. ඒ සඳහා අත් උදව්කරුවෝ දෙදෙනෙක්‌ සිටිති. දිනක්‌ බෙහෙත් වර්ගයක්‌ සෑදීම සඳහා අවශ්‍ය ඉතා දුර්ලභ බෙහෙත් පැළ ටිකක්‌ සොයා ගැනීම සඳහා අන්දොaරිස්‌ වෙද මහතා තම ගෝලයකු සමඟ මහ වනාන්තරයට ඇතුළු වුණේය. අලි, කොටි, වළසුන් වැනි දරුණු ඝණයේ සතුන් වාසය කරන වනාන්තරයේ සැතපුම් ගණනක්‌ ඔවුහු ඇවිද්දේය. කොතරම් ඇවිද්දත් අවශ්‍ය කරන බෙහෙත් පැළෑටිය අන්දෝරිස්‌ වෙද මහතාට සොයා ගැනීමට නොහැකි විය.

හෝරා ගණනක්‌ ගතවිය. බෙහෙත් පැළෑටිය සොයා ගැනීමට නොහැකි විය. ගෝලයා ආපසු හැරී යමු කීවත් අන්දෝරිස්‌ වෙද මහතා බෙහෙත් පැළෑටිය සොයාගෙන මිසක්‌ ආපසු නොයන බව පැවසුවේය. තවත් හෝරාවක්‌ පමණ ඝන වනාන්තරයේ ඇතුළට ගිය පසු අවශ්‍ය කරන බෙහෙත් පැළෑටිය හමුවිය. ඒ වන විට ඉරත් අවරට ගොස්‌ තිබුණි. යළි ආපසු ටික දුරක්‌ පැමිණි පසු අන්දෝරිස්‌ වෙද මහතාට පාර වැරදී ඇති බව දැණුනේය.

දරුණු වන සතුන්ගේ බියකරු හඬවල් සමඟ වනාන්තරය අඳුරෙන් වැසීයැමට පටන් ගත්තේය. අන්දෝරිස්‌ වෙද මහතාටද තරමක බියක්‌ දැණුනි. සම්පූර්ණ කළුවර වීමට මත්තෙන් වනයෙන් එළියට යා යුතුය. නැතහොත් ඒකාන්තයෙන්ම දරුණු වන සතකුගේ ප්‍රහාරයට ලක්‌වී මියයැමට සිදුවේ.

කෙතරම් සෙව්වත් අන්දෝරිස්‌ වෙද මහතාට ගම්මානයට යැම සඳහා පාර සොයා ගැනීමට නොහැකි විය. ඔහු වනයේ අතරමං වී ඇත. කළුවර ගතියද ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගත්තේය. දැන් ඒකාන්තයෙන්ම වනාන්තරයෙන් එළියට යැමට නොහැකි බව ඔවුහු දැන ගත්තෝය.

"කරන්න කිසි දෙයක්‌ නැත. දැන් දෙවියන්ගේ පිහිට තමයි" සිතූ වෙද මහතා තම ඉෂ්ට දෙවියන් මෙනෙහි කරමින් පත්වී ඇති විපත ගැන එම දෙවියන්ට පැවසුවේය.

එසේ දෙවියන්ට දුක්‌ගැනවිල්ල ඉදිරිපත් කර ටික දුරක්‌ ගිය පසු ඈතින් එළියක්‌ විහිදෙන බව ඔවුන් දෙදෙනා දුටුවාය. වහාම ඔවුන් එම එළිය විහිදෙන ස්‌ථානය කරා ළඟාවිය.

මහත් පුදුමයකි. දුටු දෙයින් ඔවුන්ගේ ඇස්‌ අදහාගත නොහැකි විය. සියඹලා ගසක්‌ යට හුළු අත්තක්‌ අතින් දරා ගත් මිනිසෙකි. අන්දෝරිස්‌ වෙද මහතා වහාම එම පුද්ගලයා අමතා "අපි කැලෑවේ අතරමංවෙලා ඉන්නේ. ගම්මානයට යන්න පාර පෙන්වන්න පුළුවන්ද" කියා ඇසුවේය. එම මිනිසා පැවසුවේ "මගේ පස්‌සෙන් එන්න" කියා පමණි. සියඹලා ගහ යට සිටි අද්භූත මිනිසා අන්දෝරිස්‌ වෙද මහතා සහ ගෝලයාව නිරුපද්‍රිතව ගම්මානය කරා රැගෙන ගියේ කිසිදු වචනයක්‌ කතා නොකරමින්ය.

අන්දෝරිස්‌ වෙද මහතා ශත වර්ෂයක පමණ එපිට දුටු සියඹලා ගස ඇති ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ කැබිලිත්ත ලෙසින්ය. එහි ඇති සියඹලා ගස මුල කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩ සිටින බවට පැරැන්නෝ මෙන්ම වර්තමානයේ ජනතාවද විශ්වාස කරති. එකල පැරැන්නෝ අප්‍රසිද්ධව එම සියඹලා ගහට දේවත්වයෙන් සළකා පුද පූජා පැවැත්වූවෝය. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන දුක්‌ගැනවිලි සියඹලාගහේ වැඩ වාසය කරන කතරගම දෙවියන්ට පවසා උදව් උපකාර ඉල්ලුවේය. කිසිවෙකුටත් හානි නොවන අයුරින් කැබිලිත්තේ ඇති සියඹලා ගසට ඔවුහු පුද පූජා පැවැත්වූවෝය.

කාලයක්‌ එලෙස අප්‍රසිද්ධව පැවති කැබිලිත්ත ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට පටන් ගන්නේ මෑත කාලීනවයි. කැබිලිත්ත වන්දනා කළ සමහර බැතිමතුන් එය වන්දනා කිරීමේදී මුහුණ දුන් හාස්‌කම් පිළිබඳව විවිධ මාධ්‍යවලට පැවසුවේය. ඉන්පසු රට පුරාම ඒවා ප්‍රචාරය විය. ඒ සමඟම කැබිලිත්ත වැඳීමට යන බැතිමත්හු ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වන්නට පටන් ගත්තේය.

බැතිමතුන් වැඩිවීමත් සමඟ කැබිලිත්ත විනාශ වන්නට පටන් ගත්තේය. එකල පා ගමනින් දවස්‌ ගණන් දුක්‌ විඳිමින් ගොස්‌ කැබිලිත්ත වන්දනා කළ බැතිමත්තු වර්තමානයේ වාහනවලින් ගොස්‌ පැය කිහිපයක්‌ ඇතුළත කැබිලිත්ත වන්දනාමාන කරති. එහි යන බැතිමතුන් රැගෙන යන ප්ලාස්‌ටික්‌ බෝතල්, පොලිතින් කවර ආදී පරිසරයට අහිතකර ද්‍රව්‍ය වන්දනා මාන කරන ඉසව්වේ දමා යති. එමනිසා අවට පරිසරය විශාල වශයෙන් දූෂණය වෙයි. මෙවැනි හේතුන් නිසා පූජනීය ස්‌ථානයක්‌ ලෙස තිබුණ කැබිලිත්ත විනාශ වෙමින් පවතී.

තවත් සමහරෙක්‌ මෙම පූජනීය භූමිය වන්දනා මාන කරන්න යන්නේ "ආතල්" එකට මෙන්ය. එසේ ගොස්‌ වැඩ වරද්දා ගත් අය බොහෝ සිටිති. මේ එයට එක්‌ උදාහරණයක්‌ පමණි. මොරටුව ප්‍රදේශයේ තරුණයන් සිවුදෙනකු කැබිලිත්ත වන්දනාමාන කරන්න ගියේ ඉහත සඳහන් කළ පරිදි "ආතල්" එකට මෙන්ය. ඔවුන් යහළුවන්ට පවසා සිටියේ ඔතන මොන හාස්‌කම්ද? කියා ය. අතරමඟදී මත්පැන්ද පානය කරමින් ඔව්හු කැබිලිත්ත වන්දනාමාන කිරීමට ගියෝය. යා හැකිවූයේ මඳ දුරක්‌ පමණි. සිවුදෙනාටම සුවකළ නොහැකි උදරාබාධයක්‌ හැදුණේය. වේදනාව දරාගත නොහැකිව පොළවේ පෙරළි පෙරළි පස්‌ කෑවේය. අවසානයේ කතරගම දෙවියන්ගෙන් සමාව ගත් පසු සිවුදෙනාගේම උදරාබාධය සුව වූහ.

කැබිලිත්ත පූජා භූමියට වුණු ලොකුම හානිය සිදු වූයේ පසුගිය දින කිහිපය තුළදීය. ඒ කතරගම දෙවියන් වැඩ සිටිනා දේව භක්‌තිකයන්ගේ පූජාවට පාත්‍ර වූ සියඹලා ගස මැරීමට පටන් ගැනීමත් සමඟයි. එම සියඹලා ගැස මැරීමට පටන්ගෙන තිබුණේ දේව භක්‌තිකයන්ගේම වැරැදි ක්‍රියා කලාපය හේතුවෙනි.

වසර ගණනක සිට සියඹලා ගස අවට පොල්තෙල් පහන් දැල්වීමේදී බිමට වැටෙන තෙල් එකතුවී එම ගසේ මුල් හානියට පත්වී ඇති අතර රසායනික ද්‍රව්‍යවලින් යුත් කිරිවලින්ද කාලයක සිට මෙම සියඹලා ගස දෝවනය කර තිබේ. මෙම හේතූන් නිසා කාලයක සිට සියඹලා ගසේ වර්ධනයට බාධා පැමිණියේය. අවසානයේ එම සියඹලා ගසේ මුල් සම්පූර්ණයෙන්ම වියළී ගොස්‌ මැරී ගියේය.

සියඹලා ගස මැරුණු පසු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැමිණ අලුත් සියඹලා පැළයක්‌ එම ස්‌ථානයේ රෝපණය කළේය. බැතිමතුන්ගේ නොසැලකිලිමත් භාවය නිසා මැරී ගියේ වසර ගණනාවක ඉතිහාසයක්‌ ඇති පුද පූජාවන්වලට පවා ලක්‌වූ ඉපැරැණිම සියඹලා ගසයි. එය ආරක්‌ෂා කර

රැක ගැනීමට නොහැකිව විනාශ වූ කල තවත් සියඹලා පැළයක්‌ රෝපණය කිරීම කොතරම් දුරට සාර්ථක වේදැයි අපි නොදන්නෙමු.

ඓතිහාසික වටිනාකමකින් යුත් තවත් මෙවැනි බොහෝ ස්‌ථාන මෙරට තිබේ. ඒවා විනාශ වීමට නොදී ආරක්‌ෂා කර ගැනීම වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.