හමුදාව පාලනය විය යුත්තේ
පුරවැසි බලයට අවශ්‍ය ලෙසද?


චතුර පමුණුව

පුරවැසි බලය මෙන්ම පුරවැසි සංවිධාන එකතුවත් යළි පරලවී තිබේ. ජනවාරි 08 විප්ලවයේ පූර්ණ අයිතිය තමන්ට යෑයි කියන මොවුන් යහපාලන ආණ්‌ඩුවේ ගමන් මාර්ගයද තමන්ගේ අභිමතය පරිදිම නිර්මාණය විය යුතු යෑයි පවසන පිරිසකි. වේගයෙන් විශාල වූ යහපාලන බැලුම්බෝලය හදිසියේම පිපිරී යැම නිසා පුරවැසි බලයේ මුහුණු විරූපී වී ඇති ආකාරය දැක්‌වෙන කාටුනයක්‌ද ඩේලි මිරර් පුවත්පතේ පළවී තිබිණි. ඒ කාටුන් ශිල්පියාද පුරවැසි බලයේ පරලවීම හොඳින් නිරීක්‍ෂණය කර ඇති බව නම් සහතිකය. විජාතික න්‍යාය පත්‍රයක්‌ වෙනුවෙන් විශේෂයෙන්ම සිංහල බෞද්ධ විරෝධී පදනමක සිට කටයුතු කරන පුරවැසි බලය හදිසියේම පරල වූයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ පදනම් ආයතනයේදී හමුදා සාමාජිකයන්ට නිවාස හා ඉඩම් පිරිනැමීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයේ කළ කතාව නිසාය.

මේ කතාවත් සමග පුරවැසි බලයේ නායකයෝ භූමිතෙල් බෝතලයක්‌ ඇඟට වැටුණු ගැරඬි සේ දඟලන්නට වූ බව නම් පැහැදිලිsය. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හා හිටපු නාවික හමුදාපතිවරු තිදෙනකු උසාවියට දක්‌කාගෙන යැම ජනාධිපතිවරයා පිළිකුලෙන් යුතුව හෙළා දැකීම පුරවැසි බලය කිසිසේත් බලාපොරොත්තු වූ ප්‍රකාශයක්‌ නම් නොවේ. පුරවැසි බලය සංවිධානය සිය ප්‍රමුඛතම විරුද්ධවාදියකු ලෙස සලකන ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා පෙනී සිටීම මේ කණ්‌ඩායමට දරා ගැනීමට අපහසු කාරණයක්‌ විය. එනිසාම මොවුන් ජනපතිගේ ප්‍රකාශයෙන් දින දෙකක්‌ ඉක්‌ම යාමටත් ප්‍රථම මරදානේදී පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවා තමන්ම පත්කළ නායකයාගේ පතුරු අරින්නට විය. පුරවැසි බලයේ ප්‍රධානීන් මෙහිදී අවධාරණය කර සිටියේ ජනවාරි 08 වැනිදා හංසයා ලකුණට ඡන්දය ලබාදුන් හැට දෙලක්‍ෂයක ඡන්ද දායකයන්ගේ මතයට එරෙහිව ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි. පුරවැසි බලයේ බොහෝ සාමාජිකයන් කිසිම විටක එල්.ටී.ටී.ඊ. ය යුද්ධයෙන් පරාජය වනු දැකීම අපේක්‍ෂා කළ අය නම් නොවේ. ඔවුහු දෙමළ ජනතාව වෙනුවෙන් ස්‌වයංනිර්ණ අයිතිය ලබාදිය යුතු යෑයි ප්‍රකාශ කළ අයවෙති. එවන් පුද්ගලයන් කිසි විටකදී මවුබිම ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්නෝ නොවෙති. යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශිකයන් පැමිණියද පුරවැසි බලය එයට එරෙහි නොවන බව නම් පැහැදිලිs සත්‍යයකි.

කවරක්‌ වෙතත් රටේ බහුතර ජනතාව ජනාධිපති සිරිසේන මහතා පදනම් ආයතනයේදී කළ ප්‍රකාශය ගැන උරණ වන්නේ නැත. ජනපතිවරයාට කල්ගතවී හෝ ත්‍රස්‌තවාදය පරාජය කළ රණවිරුවන්ට එරෙහි දියත්වන කුමන්ත්‍රණය ගැන අවබෝධවීම සතුටට කරුණකි.

පුරවැසි බලයේ ප්‍රධානී මහාචාර්ය සරත් විඡේසූරිය මරදානේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී හමුදාවටත් චෝදනා එල්ල කළේ කවර අරමුණින්ද? හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කිරීම වහා සිදුකළ යුතු යෑයි මොහු අවධාරණය කර සිටියේය. එසේ නම් හමුදාව පාලනය විය යුත්තේද පුරවැසි බලයට අවශ්‍ය පරිදිද? පුරවැසි බලය හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට යෝජනා කරන්නේ කවර පුද්ගලයෙක්‌ද? හමුදාවේ සෑම පත්වීමක්‌ම පුරවැසි බලයේ අනුමැතිය පරිදි සිදුවිය යුතුද? මෙය නම් මහා විහිළුවකි. මහාචාර්යතුමාට අවශ්‍ය ලෙස ලංකා හමුදාව පාලනය කළ නොහැකිය. එය හිතළුවක්‌ පමණි. නමුත් පුරවැසි බලය වඩාත් හිතෛෂිවන්නේ අගමැතිවරයාගේ පාර්ශ්වයටය. එසේ නම් ඉල්ලීම එන්නේ කොහෙන්ද? කවරක්‌ වෙතත් පුරවැසි බලයට අවශ්‍ය පරිදි ආරක්‍ෂක අමාත්‍යාංශය පාලනය කළ නොහැකිය.

පුරවැසි බලයේ ප්‍රධානී මහාචාර්ය විඡේසූරියගේ ප්‍රකාශයක්‌ සම්බන්ධව යහපාලන රජයේම අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්‍ෂ මහතා නිසි පිළිතුරු ලබාදී තිබිණි. ඔහු රූපවාහිනි වැඩසටහනකට එක්‌වෙමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්යවරයා කිසිදු වගකීමකින් තොරව ඕපාදූප ප්‍රකාශ කරන්නෙක්‌ බවත් ටොන් පච පතුරුවන්නෙක්‌ බවත්ය. යහපාලනයෙන්ම පුරවැසි බලයට පිළිතුරු ලැබී ඇති බව පෙනේ. අධිකරණ ඇමැතිට පිළිතුරු දීම සඳහා ඉදිරියේදී මේ සංවිධානය පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වුවහොත් ඒ ගැන එතරම් පුදුම විය යුතු නැත.

මේ අතර පසුගිය අඟහරුවාදා දිනයේ පුරවැසි සංවිධාන එකතුව මගින්ද පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවා තිබිණි. එහි ප්‍රධානී සමන් රත්නප්‍රිය ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? ජනපතිවරයා බලයට පත් කරන ලද්දේ තමන් විසින් බවත් එනිසාම ඔහු (ජනාධිපතිවරයා) ක්‍රියාකළ යුත්තේද අපගේ එකඟතාවයන්ට අනුව බවයි. පුරවැසි සංවිධාන එකතුව අනුව යමින් රට පාලනයට සිරිසේන මහතා සූදානම්ද? යහපාලන රජයට තම සංවිධානවලට කළ හැකි බලපෑම ක්‍රමයෙන් වියෑකී යැම ගැන මේ සංවිධාන මහත් පශ්චත්තාපයට පත්ව සිටින බව නම් පැහැදිලිය. එහෙත් ජනපතිවරයා පුරවැසි බලයෙන් උපදෙස්‌ ගැනීම නවත්වන්නේ නම් එය ඔහුගේ ඉදිරි ගමනට මෙන්ම රටේ අනාගතය යහපත් වීමටත් බෙහෙවින් බලපාන බව නම් සටහන් කළ යුතුය.

ජනපතිවරයාගේ මතභේදාත්මක කතාවත් සමග ආණ්‌ඩුව අභ්‍යන්තරයේ දෙදරුමක්‌ හටගෙන ඇති බව නම් රහසක්‌ නොවේ. යහපාලන ආණ්‌ඩුව බලයට පත් වූදා සිට පොලිස්‌ දෙපාර්තමේන්තුව පාලනය වූයේ ජනපතිවරයාට අවශ්‍ය පරිදි නම් නොවේ. එය පාලනය කරනු ලැබුවේ අගමැතිවරයාට අවශ්‍ය පරිදිය. ශ්‍රීලනිප යේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම එහි උප සභාපතිවරයකු වන අමාත්‍ය ඒ. එච්. එම්. µවුසි මහතාට එරෙහිව අල්ලස්‌ කොමිසමෙන් නඩු පැවරීම ගැනත් ජනාධිපතිවරයා සතුටට පත්වී නොමැත. ජනපතිවරයා සියල්ලම පත්තරෙන් දකිනතුරු නිහඬව බලා සිටීමද සුදුසු නැත. රටේ විධායක ජනපති ලෙස 2015 ජනවාරි 09 වැනිදා සිට කටයුතු කරන නිසා ඒ විධායක බලතල ලත් රස බැලිය යුතුය. නැත්නම් සිදුවන්නේ කුමක්‌ද? රට එකතැන පල්වීම පමණකි. අද බොහෝ දෙනා නගන ප්‍රශ්නය වන්නේ යහපාලනයේ සුක්‌කානම ඇත්තේ කා සතුවද යන්නයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.