බැතිමත්තු සසලවෙති!
කතරගම අලි ඇත්තු නඩු භාණ්‌ඩ වෙති!



ඩී. පී. කුමාරගේ මහතා

රුහුණු කතරගම දේවාලයට අයත් ඇත්ගාල අලි ඇතුන් තිදෙනෙකුගෙන් සමන්විතය. ඊට අමතරව "සමාධි" නමින් හැඳින්වෙන ඇතින්නක්‌ වූ අතර ඇය පෙරහැර කටයුතු ආදියට නිතර සහභාගී කරවන ඇතින්නක්‌ය. නුදුරේ දිනක සමාධි නමින් හැඳින්වෙන ඇතින්නද නිත්‍යානුකූලව කතරගම පුද බිමට භාර කිරීමට නියමිතව සිටි අතර මීට මාස කීපයකට පෙර එනම් ඉකුත් පෙරහැර මංගල්‍යය නිමාවී දින දෙකක්‌ ගතවන තැන "සමාධි" ඇතින්න වනජීවී භාරයට පත්වන්නේය. දින පහළොවක්‌ පුරා කතරගම මහා පෙරහැර අලංකාර කරමින් වීදි සංචාරය කළ සමාධි හට පෙරහැර කටයුතු ආදියට සහභාගිවීමෙන් ලත් වෙහෙස නිවා ගැනීමට පවා ඉඩක්‌ ලැබුණේ නැත. ඇයට පින්නවල අලි අනාථාගාරයට යැමට සිදුවී ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් කතරගම දේවාල භාරයේ සිටි ඇතින්නක්‌ බවට ලද හංවඩුවත් සහිතවය. වනජීවී භාරයට ගත් සමාධි මේ වනවිටද තම හුරුපුරුදු පරිසරයෙන් මිදී පින්නවල අලි අනාථාගාර භූමියේ අසතුටෙන් පසුවෙනවා විය හැක.

ඉන් අනතුරුව සමාධිට උරුමවූ ඉරණම අත්වන්නේ කතරගම ඇත්ගාලේ වසර 10 ක්‌ පමණ නිදුකින් කල් ගෙවූ "භානු"ටය. භානු නමින් හැඳින්වෙන අලි පැටවාද මේ වන විට වනජීවී භෘරයට පත්ව පින්නවල අලි අනාථාගාරයේ අනාථයෙකු බවට පත්වී හමාරය. භානුට නැගෙන චෝදනාව වන්නේද නීති විරෝධී ලෙස කතරගම පුදබිමේ රඳවා තබා ගැනීමය. මෙය කතරගම ඇත්ගාල හැඩකළ සමාධි සහ භානුට පමණක්‌ උරුම වූවක්‌ නොව මෙරට පන්සල්, දේවාල ආශ්‍රිතව ඇදී වැඩුන හීලෑ අලි ඇතුන් හට මෑතක සිට විඳින්නට සිදුවූ සිදුවීමට නියමිත අලි කලබගෑනියක්‌ය.

කෙසේ වෙතත් මේ වන විට කතරගම පුදබිමෙන් රැගෙන ගොස්‌ "නඩු භාණ්‌ඩ" ලෙස පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින භානු සහ සමාධි පිළිබඳව සමාජය තුළින් මතුවී ඇති බැවින් ඒ සම්බන්ධව මාධ්‍යයට අදහස්‌ දැක්‌වීමේ මාධ්‍ය හමුවක්‌ ඉකුත්දා කොළඹදී පැවැත්විය.

රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම මාධ්‍ය හමුවේදී බස්‌නායක නිලමේවරයා සඳහන් කර සිටියේ කතරගම පුදබිම භාරයේ සිටි අලි ඇතුන් දෙදෙනා සම්බන්ධ නීතිමය ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කරගත යුත්තක්‌ වුවත් ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කර ඇති ක්‍රමවේදය වැරදි සහගත බවය. පහත පෙළගැසෙන්නේ අදාළ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් බස්‌නායක නිලමේවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළ කරුණුය.

කතරගම පුදබිම කියන්නෙ මෙරට පමණක්‌ නොවෙයි දේශ දේශාන්තරවල පවා ප්‍රසිද්ධ පුණ්‍ය භූමියක්‌. එහෙම තැනක තිබෙන ඇත්ගාලක අලි ඇතුන් සංචිතය තවත් වැඩි කළ යුතුයි කියල රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා පවා කියද්දී තමයි භානු සහ සමාධි අවස්‌ථා දෙකකදී වන ජීවියේ අත්අඩංගුවට පත්වෙන්නේ. ඒ අය නගන චෝදනාව තමයි මේ කියන සත්තු දෙන්නා අපි කියාගෙන ඉන්නෙ නීති විරෝධී ආකාරයෙන් කියල. ඒක එහෙම නැද්ද කියල හොයල බලන එක ඒ අයගේ රාජකාරිය වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න කරන්න මට අයිතියක්‌ නැහැ. හැබැයි පන්සල් දේවාල ආශ්‍රිතව රජ කාලේ පටන් හීලෑ අලි ඇත්තු හිටියා. ඒක අදටත් එහෙමයි. භානු සහ සමාධිව වනජීවී භාරයට ගන්න ආව අවස්‌ථා දෙකේදීම ඒකට මම විරුද්ධ වුණා. නමුත් උසාවි නියෝගයක්‌ කියල අපේ විරුද්ධත්වය නොතකමින් තමයි මේ ක්‍රියාව සිද්ධවෙන්නේ. වසර ගණනාවක්‌ තිස්‌සේ පෙරහැර සංස්‌කෘතියට සහභාගි වෙමින් බෙර හඬට කාවඩියට හුරුවෙලා හිටිය දහස්‌ සංඛ්‍යාත බැති මතුන්ගේ වන්දනාවට ලක්‌වෙච්ච සත්තු දෙන්නව ඒ අය අරන් යනවා. මම මෙතනදී අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වරදක්‌ වෙලා තියෙනවනම් ඒ වරද කරපු අයට දඬුවම් දෙනවා මිසක්‌ සත්තුන්ට දඬුවම් කරන්න එපා කියලා විතරයි. මේ සත්තු දේවාලය සතු වස්‌තූන් විදියටයි අපි සලකන්නේ.

එහෙම තියෙද්දී අහිංසක සත්තු "නඩු භාණ්‌ඩ" කරල මේ කරන්නෙ සත්තුන්ගෙන් පළිගැනීමක්‌. නීතියක්‌ තියෙනවනම් නිසි ක්‍රමවේදයක්‌ යටතේ එය ක්‍රියාත්මක කරන්න. ඒ වෙනුවට අද වෙලා තියෙන්නේ කරඬුව බැඳගෙන යන අලි ඇතුන්ව හිරේ විලංගුවේ දාන එක. එහෙම කරලත් මේ වන තුරුත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. මේ සම්බන්ධව අවස්‌ථා කීපයකදී විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාව මුණ ගැහුණම එතුමා කියන්නේ පොඩ්ඩක්‌ ඉන්න දෙන්නම් කියල විතරයි. මම එතුමාගෙන් නැවත වතාවක්‌ ඉල්ලා සිටිනවා අපෙන් අරන් ගිය භානු සහ සමාධිව නැවත අපට දෙන්න. විශේෂයෙන් මෙතැනදී මතක්‌ කළයුතු වැදගත් කාරණයක්‌ තිබෙනවා. ඒ තමයි පළාත් වශයෙන් ගත්තත් දකුණු පළාතට වෙන්න පෙරහැර සංස්‌කෘතිය පවත්වන ස්‌ථාන වැඩියි. සෑම රජමහා විහාරයකම පාහේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පවත්වනවා. එතනදී අලි ඇතුන් හුවමාරුවක්‌ සිද්ධ වෙනවා. අපෙන් අලියෙක්‌ ඇතෙක්‌ ඒ අයට දුන්නොත් තමයි අපිටත් ඒ තැන්වලින් අලි ඇතුන් ලැබෙන්නෙ. ඉතින් එහෙම තත්ත්වයක්‌ තුළ ඉන්න හීලෑ අලි ඇතුන් ටිකත් අත්අඩංගුවට ගන්නවයි කියන්නේ එක පැත්තකින් රටේ සංස්‌කෘතිය නැති කිරීමක්‌.

උදාහරණයක්‌ විදියට තව ටික දවසකින් රුහුණු කතරගම දේවාලයේ පවත්වන ඉල් පෙරහැරට සහභාගි කරවන්න අපි ගාව දැනට ඉන්නේ "වාසනා" කියන ඇතා විතරයි. සමහර විට මෙවර ඉල් පෙරහැර ඉතිහාසයේ පළමු වතාවට එක ඇතෙක්‌ගේ සහභාගීත්වයෙන් කරවන පළමු පෙරහැර වෙන්න පුළුවන්. හුඟ දෙනෙක්‌ පෙරහැරක්‌ නරඹන්න සහභාගි වෙන්නේ ඒ සඳහා එකතුවන අලි ඇතුන් නැරඹීමේ අපේක්‍ෂාවෙන් නම් මෙවර ඒ අපේක්‍ෂාව බිඳ වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. අද අලි ඇතුන්ට සිද්ධවෙලා තියෙන්නේ පෙරහැරේ යැම වෙනුවට උසාවී යැමේ තත්ත්වයක්‌. අඩුම තරමින් අපෙන් අරන් ගිය සත්තු දෙන්නව බලන්නවත් ඉඩක්‌ නෑ. මේ සත්තු දේවාල භූමියේ ඉඳිද්දී ඇති තරම් කෑම බීම දුන්න. ඕන තරම් පලතුරු තිබුණා. අද පින්නවලට වෙලා දුක්‌ විඳිනවා. අදත් මම සත්තු දෙන්න නිදහස්‌ කරල දෙන්න කියල ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමා හමුවෙලා ඉල්ලීමක්‌ කළා. එතුමා කියන්නේ දෙකට තුනක්‌ දෙන්නම් කියල. ඒ කතාව එතුමා දිගින් දිගටම කියපු දෙයක්‌. හැබැයි ඒ පොරොන්දුව ඉෂ්ට වෙන පාටක්‌ නෑ. තවත් ප්‍රමාද කරල කල් මරල මේ අලි දෙන්නව දුන්නත් වැඩක්‌ නැති වෙනවා. මොකද දැන් ඒ සත්තු ඉන්නෙ වෙනම පරිසරයක වෙනම පිරිසක්‌ යටතෙනේ. එතකොට ඒ සතාගේ ගති ස්‌වභාවයන් වෙනස්‌ වෙනව.

නිරපරාදේ මෙහෙම සත්තු හිරකරගෙන ඉන්න එක පවක්‌. අද වැරදිකාරයො වෙලා තියෙන්නේ අහිංසක සත්තු අද දේවාල භූමියට එන බැතිමතුන් විතරක්‌ නොවෙයි ඒ සත්තුන්ව තමන්ගෙ දරුවන් වගේ රැක බලා ගත්ත අලිබාස්‌ල පවා මටයි චෝදනා කරන්නේ, මම මේ පිළිබඳ උනන්දුවක්‌ නෑ කියල. ඒකයි මම අදාළ බලධාරීන්ගෙන් අපේ සත්තු දෙන්න නැවත අපට දෙන්න කියල දිගින් දිගටම ඉල්ලීම් කරන්නේ. මේව මගේ පුද්ගලික දේපළ නෙවෙයි. අලි ඇත්තු කියන්නෙ කතරගම දේවාල භූමියේ ජීවමාන වස්‌තූන් හින්දයි මේ ඉල්ලීම කරන්නෙ.

බස්‌නායක නිලමේවරයාගේ අදහස්‌ ප්‍රකාශයෙන් රටට ඒත්තු ගැන්වෙන පොදු හැඟීම වන්නේ වරදක්‌ වී ඇත්නම් වරදකරුවන් සොයා ඒ අයට දඬුවම් ලබාදීම මිස අලි ඇතුන්ගෙන් පළිගැනීම වැරදි ක්‍රියාවක්‌ බවය.

රජ දවස පටන් පන්සල් දේවාල ආදියට අලි ඇතුන් පූජා කිරීම සිරිතක්‌ව පැවැති බවත් එකල එවැනි තැන්වල පැවැති ඇත් ගාල් අලි ඇතුන්ගෙන් තව තවත් වැඩි කළා මිස අද මෙන් හිරකරුවන් බවට පත් නොකළ බවත් ප්‍රකාශ කර සිටි බස්‌නායක නිලමේවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් අලි ඇතුන් සිරගත කිරීමේ අපවාදයේ කොටසක්‌ රජයටද අත්වන බවය.

ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
රුවන් ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.