අයවැය හිඟය අඩුකිරීමට මෙවර ක්‍රියාමාර්ග රැසක්‌

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ලබන වසරේ (2017) සමස්‌ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 4.7 ක්‌ දක්‌වා අඩු කර ගැනීමට රජය ඉලක්‌ක කර ඇත.

සංශෝධිත අයවැය ඇස්‌තමේන්තු අනුව මේ වසරේ (2016) සමස්‌ත අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 5.4 ක්‌ වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදී ඇති එකඟත්වය පරිදි රජයේ බදු ආදායම වැඩිකර ගැනීමේ උත්සාහය සහ රජයේ ඇස්‌තමේන්තුගත වියදම් අඩුකිරීමත් නිසා මෙසේ අයවැය හිඟය අඩුකරගත හැකිවනු ඇතැයි අපේක්‌ෂා කරන බව මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙකු 'දිවයින ඉරිදා සංග්‍රහය' ට කීවේය.

වත්මන් රජය පසුගිය අයවැය ලේඛනවලින් අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්‌ඩ මිල ගණන්වල වැඩිවීමක්‌ සිදු නොවනු ඇතැයි ද එම සහන ලබන අයවැයෙන්ද එලෙසම රැකගනු ඇතැයිද අපේක්‌ෂා කරන බව ඔහු සඳහන් කළේය.

විසර්ජන පනත අනුව පමණක්‌ රාජ්‍ය වියදම් රු. කෝටි 76,000 කින් අඩුවනු ඇතැයි කිව නොහැකියි. විසර්ජන පනතේ ආදායම් සහ වියදම් තත්ත්වයන් නොවැම්බර් 10 දින මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කරන අයවැය යෝජනා අනුව වෙනස්‌ වෙනවා. එසේම මේ වසරේ (2016) සත්‍ය වියදම යනු විසර්ජන පනතේ සඳහන් ඇස්‌තමේන්තුවද නොවෙයි. මේ නිසා මේ වසරේ (2016) සහ ලබන වසර (2017) සඳහා වන විසර්ජන පනතේ සඳහන් වියදම් ඇස්‌තමේන්තු සැසඳීමෙන් පමණක්‌ ලබන වසරේ (2017) අමාත්‍යාංශවලට වෙන් කළ සත්‍ය වියදම් ගණනය කළ නොහැකි බවද මුදල් අමාත්‍යාංශයේ එම උසස්‌ නිලධාරියා තවදුරටත් 'දිවයින ඉරිදා සංග්‍රහයට' කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.