ඩේවිස්‌ගේ රිදී කුසලානයේ ශ්‍රී ලංකාව ඉන්නේ කොතැනද?

අපි ගොඩක්‌ දෙනෙක්‌ පොඩ්ඩක්‌ හරි අහල තියෙන වචන දෙකක්‌ තමයි 'ඩේවිස්‌ කප්' එහෙම නැත්නම් 'ඩේවිස්‌ කුසලානය'. ඒත් ඒක ගැන හරියට දන්නේ කීයෙන් කී දෙනාද?

මම ඩේවිස්‌ කුසලානය සඳහා ඇමරිකාව වෙනුවෙන් ඕනෑම වෙලාවක ඕනෙම තැනකට යන්න සුදානම් - ජෝන් මැකෙන්රෝ.

වර්ෂ 1900 දී ඇමරිකානු ටෙනිස්‌ ක්‍රීඩක ඩ්වයිට්‌ ෆිලේ ඩේවිස්‌ විසින් බොස්‌ටන් නුවර ස්‌වර්ණාභරණ සාප්පුවකින් රිදී කුසලානයක්‌ මිලට ගන්නා ලදී. එය එම වසරේ ඇමරිකාව හා මහා බ්‍රිතාන්‍ය අතර පැවති ටෙනිස්‌ ක්‍රීඩා තරගාවලියක ජයග්‍රාහකයා වෙනුවෙන් පිරිනැමීම සඳහාය. වසර 116 කට පසු එම රිදී කුසලානය ලෝකයේ ප්‍රධානතම ලෝක ශූරතා ක්‍රීඩා කුසලානයක්‌ වන බව 1945 මිය ගිය ඩේවිස්‌ දැන සිටියේ නැතැයි සිතිය හැක. අද වන විට මෙකී ඩේවිස්‌ කුසලානය ලොව විශාලතම වාර්ෂික කණ්‌ඩායම් තරඟාවලියේ ජයග්‍රාහක රටට හිමි ත්‍යාගය විදිහට මතුවඒම අපූරු කතාන්තරයකි. දෙරටකින් පටන් ගත් "ඩේවිස්‌ කප්" 2016 වන විට රටවල් 135 ක්‌ සහභාගී වන ලොව පිරිමි ටෙනිස්‌හි වාර්ෂික ලෝක කුසලානය ලෙස පිදුම් ලබයි. ඩේවිස්‌ කුසලානය දිනීම අද වන විට ලෝක ක්‍රීඩාවේ වඩාත්ම අනභිභවනීය ජයග්‍රහණයක්‌ වේ. එය එතරම්ම දුෂ්කරය. ඩේවිස්‌ කුසලාන හිනිමග තුළ අද ගමන් ආරම්භ කරන රටක්‌ කුසලානයට අත තැබීමට අඩුම තරමේ අවුරුදු පහක්‌ වත් ගතවේ. තවමත් එය දිනා ඇත්තේ රටවල් 14 ක්‌ පමණි. ඒ අතරින් ඇමරිකාව, ස්‌වීඩනය සහ ඕස්‌ටේ්‍රලියාව ඉදිරියෙන් සිටී.

වාර්ෂිකව "ඩේවිස්‌ කප්" එක තුළ රටක්‌ සිටිනා තැන අනුව එරටේ ටෙනිස්‌ තත්ත්වය මනිනු ලබයි. ගිය වසරේ ජයග්‍රාහකයන් වූ මහා බ්‍රිතාන්‍ය මෙන්ම ආර්ජන්ටිනාව සහ චෙක්‌ ජනරජය පිළිවෙලින් ඉදිරියෙන් සිටිනා "ඩේවිස්‌ කප්" වර්තමාන ලෝක ශ්‍රේණිගත කිරීමේ රටවල් 132 ක්‌ අතුරින් ශ්‍රී ලංකාව සිටින්නේ 67 වන ස්‌ථානයේයි. ඔවුන් ක්‍රීඩා කරන්නේ රටවල් 31 ක්‌ සිටිනා ආසියා ශාන්තිකර කලාපයේ තෙවන කාණ්‌ඩයේ වන අතර එහි මුළුමනින්ම කාණ්‌ඩ හතරක්‌ පවතී. ආසියා ශාන්තිකර කළාපයට අමතරව ඩේවිස්‌ කුසලාන ව්‍යqහය තුළ තවත් කාණ්‌ඩ දෙකක්‌ ඇත. එනම් යුරෝපා අප්‍රිකානු කළාපය සහ ඇමරිකානු කළාපයයි. මෙම කළාප තුනෙන් තමනට හිමි පළමු කාණඩයට නැග ඒමෙන් අනතුරුව යම් රටකට ඉන් පසුව රටවල් 16 කින් සැදුම් ලත් ලෝක කාණ්‌ඩය ට පිවිසිය හැක. ලෝක කාණ්‌ඩයේ රටවල් 16 කි. වාර්ෂික ඩේවිස්‌ කුසලානය ජයග්‍රහණය කරන්නේ එකී රටවල් 16 න් එකකි. එම ජයග්‍රාහකයාට පිරිනැමෙන්නේ ෆිලේ ඩේවිස්‌ 1900 දී මිලදී ගත් එම ඓතිහාසික රිදී බඳුනමය.

නෝමන් බෲක්‌ස්‌, ෂෝන් බරෝත්‍රා, ෆේ‍ර‍රඩ් පෙරී, බිල් ටිල්ඩන්, රොඩ් ලේවර්, කෙන් රෝස්‌වෝල්, ආතර් ඈෂ්, ෆ්‍රEන්ක්‌ සෙඡ්මන්, හැරී හොප්මන්, බොරිස්‌ බෙකර් හා නොවෑක්‌ ජොකොවිච් ඩේවිස්‌ කුසලාන වීරයන් අතර ප්‍රමුඛ වේ. වසර පුරා වෘත්තීය මට්‌ටමෙන් ත්‍යාග මුදල් කෝටි ගණන් උදෙසා ටෙනිස්‌ පිත්ත මෙහෙයවුවද ඕනෑම ක්‍රීඩකයෙකු, තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන පෞද්ගලික නොවන, කණ්‌ඩායම් තරගාවලියක්‌ වන "ඩේවිස්‌ කප්" සඳහා කෙසේ හෝ සිය කාලය වෙන් කර ගනී. මුදලට ටෙනිස්‌ ගහන ඒ. ටී. පී. තරග වලින් වෙහෙසට පත් අප, රට වෙනුවෙන්ද ක්‍රීඩාවේ අමිල සාරයන් වෙනුවෙන්ද නියම ටෙනිස්‌ සටන් දෙස බලා ඔද වඩන්නේ ඩේවිස්‌ කුසලානයේ දීය. ඒ. ටී. පී. මුදලට එරෙහිව ක්‍රීඩා සාරය එතුළින් කරලියට පැමිණේ "ඩේවිස්‌ කප්" නැතිනම් අපට බැලීමට ඉතිරි වන්නේ සල්ලි රජකරනා අතිශය පුද්ගලවාදී විම්බ්ල්ඩන්, ඕස්‌ටේ්‍රලියානු, ප්‍රංශ සහ ඇමරිකානු විවෘත තරගාවලි පමණකි. මුදලින් පොහොසත් වූවන්ට වඩා ඉතිහාසය අගය කරන්නේ රට හා ජාතිය වෙනුවෙන් කැපවීම් කළ ක්‍රීඩකයින් ය. දුෂ්කර වූ ඩේවිස්‌ කුසලාන අභියෝගය එබඳු වීරයන්ට පමණි.

ලංකාවේ ඩේවිස්‌ කුසලාන වෘතාන්තය ඇරඹෙන්නේ 1953 වසරේය. ඉන් පසු දශක දෙකක්‌ පමණ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවති ඩේවිස්‌ කුසලාන ද්වන්ද සටන් ඉතිහාසයේ රනින් ලියවී ඇත. රූපට්‌ ෆර්ඩිනන්ඩ්ස්‌, බර්නාඩ් පින්ටෝ, පී. එස්‌. කුමාර, ලසන්ත ප්‍රනාන්දු, අර්ජුන් ප්‍රනාන්දු, ෆ්‍රEන්ක්‌ සෙබාරත්නම්, රොහාන් ද සිල්වා, රජීව් රාජපක්‍ෂ සහ හර්ෂන ගොඩමාන්න අප රට වෙනුවෙන් නම රැන්දු ක්‍රීඩකයන් වෙති. නමුත් අවාසනාවක මහත, යාබද ඉන්දියාව කලාපීය පළමු කාණ්‌ඩයට සුදුසුකම් ලබද්දී අපි එහි දෙවන හෝ තෙවන කාණ්‌ඩයේ තැක්‌ගැහෙමින් සිටී. කිසිදා පළමු කාණ්‌ඩයට හෝ නොතේරුණු ලංකාව ඩේවිස්‌ කුසලාන තරග බිමේ මැදි වයසේ රටක්‌ ලෙස සැමදා ගාල් වෙමින් ඇත.

ඉකුත් ජූලි මාසයේදී ඉන්දුනීසියාව හමුවේ 5-0 කින් පරාජය ලැබු ශ්‍රී ලංකාව වසර පහකට පසුව කළාපීය තෙවන කාණ්‌ඩයට පල්ලම් බැස්‌සේය. අපගේ අංක එකේ ක්‍රීඩකයා වන ගොඩමාන්න ස්‌වකීය ක්‍රීඩා දිවියේ සැබෑ සමයේ සිටින බැවින් ලංකාවේ ඉදිරි ගමන දැඩි තර්ජනයකට මුහුණ පා ඇත. අළුත් වීරයෙකුගේ සම්ප්‍රාප්තිය සිදු වන තෙක්‌ අප නෙත් අයා බලාසිටිමු.

ඉතාලිය විසින් බිහි කළ ප්‍රබලම ඩේවිස්‌ කුසලාන ක්‍රීඩකයා වූ නිකී පියෙට්‌රාන්ජලී කී දෙයකින් අවසන් කරමු.

"කන්ඩායමකට එක්‌ව ක්‍රීඩා කිරීමේ (තනි තනිව නොව) වරම ඩේවිස්‌ කුසලානය මගින් අපට ලබා දේ. එය ඇදහිය නොහෙන තරගාවලියක්‌ වනුයේ එනිසාය".

රේවත එස්‌. සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.