සීමාවෙන් එහා ගොස්‌ නිර්මාණය වූ
ගංගාරාමයේ සීමාමාලකය


* ලංකාවට මුලින්ම කැමරාව ගෙනාවේ ඇන්ඩෲ කියන සුදු ජාතිකය.... ඔහුගේ ඡායාරූප එකතුවේ
පැරැණි සීමාමාලකය තියෙනව.

* සීමාමාලකය සඳහා වියදම දැරුවෙ මුස්‌ලිම් ජාතික 'මුසාජි' පවුල

* ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව සීමාමාලකයේ අනුරුවක්‌.

* 1954 දී ස්‌වාමීන්වහන්සේ පනස්‌ නමක්‌ සමඟ පැරැණි සීමාමාලකය කඩා වැටෙනව.

* මේ ස්‌ථානය ඉදිකිරීමේ පුරෝගාමියා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමියෝ.

1905 දී තමයි ඇන්ඩෲ කියන සුදු ජාතික මහත්තයා ලංකාවට මුලින්ම කැමරාවක්‌ ගේන්නෙ. ඔය කාලය වෙද්දී ගංගාරාමයේ සීමාමාලකයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කරල තිබිලයි තියෙන්නේ. ඔය සුදු ජාතිකය ලංකාවට ඇවිත් ගත්ත ඡායාරූප පහක්‌ ඊට දවස්‌ කීපයකට පස්‌සෙ ඔබ්සවර් පත්තරේ පළ කරල තියෙනව. අන්න ඒ ඡායාරූප පහෙන් එකක තිබිල තියෙන්නේ බේරේ වැවේ ඉදිකරල තිබුණ අපේ සීමා මාලකයේ පින්තූරයක්‌....හුණුපිටිය ගංගාරාමය සතු ඉතිහාසය අතර ඒක සුවිශේෂී සලකුණක්‌....."

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානය තරමටම රටම හඳුනන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් තම විහාරස්‌ථානය සතු සිරිමත් මතකයන් ආවර්ජනය කරමින් අපත් සමඟ පිළිසඳරකට එක්‌වූ අතර විහාරස්‌ථානයේ කඨින චීවර පූජාමය පිංකම පසුදිනට යෙදී තිබූ බැවින් දිනය තරමක්‌ කාර්යබහුල බවින් යුක්‌ත විය. එහෙත්, අපගේ පැමිණීම උන්වහන්සේ බාධාවක්‌ කොට නොගත් සේක. ගංගාරාම විහාරස්‌ථානයත් එහි එක්‌ අනන්‍යතාවක්‌ සේ දෙස්‌ විදෙස්‌ සුපතල ගංගාරාම සීමාමාලකය පිළිබඳ ලිපියක්‌ සැකසීම අපගේ ගමනෙහි අරමුණ විය. දසුනින් පවා ප්‍රිය උපදවන සුළු පොඩිහාමුදුරුවන් උන්වහන්සේ සතු මතකයේ ඈතම ඉමට අප කැඳවාගෙන යමින් ඒ පිළිබඳ විස්‌තර කරන්නට වූ අතර එය අසා සිටීම පවා සාධු සිතුවිලි උපදවන සුළුය.

"1890 දශකයේ එක්‌තරා දිනක තමයි ගංගාරාම විහාරස්‌ථානය බිහිකිරීමට මූලික අඩිතාලම වැටිල තියෙන්නේ. ඒකත් බොහොම රසවත් සිදුවීමක්‌.......ඒ කාලේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල අපේ මහානායක හාමුදුරුවෝ තෙල්වත්තේ පන්සලේ මහණවෙලා කොළඹට පා ගමනින් වැඩම කරල තියෙනව. උන්වහන්සේ එහෙම වැඩම කරල තියෙන්නේ වැදගත් කාරණාවකට. ඔය කාලය වෙද්දී විවිධ විදේශීය ආධිපත්‍යයන්ට යටත් වෙලා අපේ රට තිබිල තියෙන්නේ භේදබින්න වෙලා. ඒකෙන් එකක්‌ තමයි සංඝභේදය. සංඝභේදය කියන්නේ ආනන්තරීය පාප කර්මවලින් එකක්‌. උන්වහන්සේ කල්පනා කරල තියෙනව නැවත වතාවක්‌ තුන් නිකායම සමගි සම්පන්න කරන්න. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට තමයි ඒ කාලේ විෙද්‍යාaදය පිරිවෙන ආරම්භ වෙන්නෙ. මේක පාලනය වෙලා තියෙන්නේ 'සභාවක්‌' මඟින්.

ඒ දවස්‌වල ලංකාවෙ තිබිල තියෙන්නෙ නිකායවල් තුනයි. අමරපුර, රාමඤ්ඤ, සියම් නිකාය කියල. ඉතිං එහෙම කරල සංඝ සමාජය නැවත එකමුතු කරන්න සුමංගල නායක හාමුදුරුවෝ විශාල වැඩ කොටසක්‌ කරල තියෙනව. ඔන්න ඔය කාලෙ දී තමයි සියම් නිකායෙ භික්‌ෂුන්වහන්සේගෙන් නායක හාමුදුරුවෝ දෙඋර වැසෙන සේ සිවුරු දරන්න කියල ඉල්ලීමක්‌ කරල තියෙන්නේ. අදත් විෙද්‍යාaදයේ තියෙන විශේෂත්වය වන දෙඋර වැසෙන සේ සිවුරු දැරීම ආරම්භ වන්නෙ ඔන්න ඔය කාලේ.....ඒක ආරම්භ කෙරුවෙ අපේ හික්‌කඩුවේ සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ.....

එය අතරේ.....උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වුණ දෙවුන්දර ජිනරතන හිමියන්ට රාජකාරියක්‌ පැවරෙනව. ඒ තමයි මේ ස්‌ථානයේ පන්සලක්‌ ඉදිකරන්න. ජිනරතන හිමියන් ඒ ආරාධනය පිළිගෙන මේ ස්‌ථානයට (ගංගාරාම භූමියට) වැඩම කරල පුංචි අසපුවක්‌ හදාගෙන වැඩ ඉන්න ගමන් තමයි මේ පන්සලයි අර බේරේ වැවේ ඉදිකරල තිබුණ පැරැණි සීමාමාලකයයි හදන්න ආරම්භය ගන්නෙ. එදත් ජිනරතන හිමියන්ට මේ ස්‌ථානයේ අසපුවක්‌ ඉදිකරන්න උදවු උපකාර කරල තියෙන්නෙත්. ක්‍රිස්‌තියානි භක්‌තියකයෙක්‌ වෙච්ච එච්. එල්. ද මැල් කියන මහත්තය.

ඒ කාලේ වෙද්දී ඔය දැන් තියෙන ඡේම්ස්‌ පීරිස්‌ මාවත කියල පාරක්‌ තිබිල නෑ. මේ ජිනරතන මාවත හරියෙ ඉඳල දිගටම තිබිල තියෙන්නෙ බේරේ වැව. ඇම්පයර් සිනමාශාලාව හරියට යනකම් එක පැත්තකින් වැව, අනෙක්‌ පැත්තෙන් පෙරහැර නවම් මාවත කියල. ඔය දැන් හඳුන්වන හරිය වෙනකම්මත් වැව. වැව ගොඩකරල ඊට පස්‌සෙනේ ඔය අලුත් මං මාවත් හැඳුනේ. මම මේ කියන්නේ මේ ප්‍රදේශය ටික ටික සංවර්ධනය වෙච්ච විදිය. මොකද මේ කාරණා වැදගත් බවක්‌ ගන්නවනේ......

ඉතිං......ඔහොම වටපිටාවක්‌ තුළ 1954 වර්ෂය පමණ වෙනකම් මේ සීමාමාලකය පැවතුණේ දැව කඳන් උඩ. ඔය......අද සීමාමාලකය තිබෙන තැනම තමයි පැරැණි එකත් තිබිල තියෙන්නේ. ඔහොම තිබෙද්දී 54 වර්ෂයේම දවසක මේ සීමාමාලකය වැවට කඩා වැටෙනව. ඒ වැටෙන්නෙ නිකම්ම නෙවෙයි. ස්‌වාමීන්වහන්සේලා පනස්‌ නමක්‌ එක්‌ක. වාසනාවකට ඒ එක උන්නාන්සෙ කෙනකුගේවත් ජීවිතයකට අනතුරක්‌ වෙලා නැහැ. එක ස්‌වාමීන්වහන්සේ කෙනකුගේ කකුලක්‌ කැඩිල තියෙනව. ඒකත් ටික දවසක්‌ යද්දී සනීප කරල තියෙනව.

එතෙක්‌ වෙලා තමන් විසින් අසා දැනගත් තොරතුරු අපත් සමගින් පවසා සිටි පොඩි හාමුදුරුවන් වහන්සේ තරමක්‌ හඬ බාල කොට".....ඔන්න ඔය කාලෙ තමයි....මම මේ ස්‌ථානයට එන්නෙ. නොවැම්බර් මාසෙ තමයි මට මතක හැටියට ඒ සිදුවීම සිද්ධ වෙන්නෙ. පැරැණි සීමාමාලකය මම දැක්‌කෙත් පින්තූරයක්‌ විදියට. කොහොම හරි ජිනරතන නායක හාමුදුරුවන්ගෙන් පස්‌සෙ ගංගාරාමයේ නායක පදවියට පත්වන්නේ අපේ වාගීශ්වර නායක හාමුදුරුවෝ. ඊට ඉස්‌සර කියන්න ඕන කාරණයක්‌ තියෙනව. ඒ තමයි අපේ මහානායක හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්

ශ්‍රී පාදස්‌ථානයේ නායක පදවිය දරල තියෙනව. උන්වහන්සේගේ තවත් ගෝල හිමිනමක්‌ තමයි මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේත් ශ්‍රී පාදයේ අධිපතිකම දැරුව.

ශ්‍රී පාදයේ නායක කම දරන්න පුළුවන් වෙන්නේ වේහැල්ලේ ධම්මදින්න පරපුරට විතරයි. ඒ පරම්පරාවටම තමයි ගංගාරාමයේ උරුමය තියෙන්නෙත්. කොහොම හරි මේ විහාරස්‌ථානය මූලික කරගෙන බේරේ වැවේ සීමාමාලකය හදන්න තුන් නිකායටම විනය කර්මය කරන්න සහ ඒ තුළින් නිකායවල් අතර තිබුණ භේද දුරුකරල ස්‌වාමීන්වහන්සේලා අතර සාමග්‍රිය ඇති කිරීම තමයි මූලිකම අරමුණ වෙලා තියෙන්නෙ. එහෙම හදපු සීමාමාලකය තමයි 1954 වසරේ දී කඩාවැටිලා තියෙන්නෙ.

මේ වන විට ද බේරේ වැව මැද විරාජමාන වස්‌තුවක්‌ සේ දිස්‌වන ගංගාරාම සීමාමාලකයේ නැවත ඉදිකිරීම පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුදැනුම මත සිදුවූවක්‌ය. ඒ පිළිබඳ වන අපූර්ව සිදුවීම් පෙළක්‌ ද උන්වහන්සේ විසින් හෙළිදරව් කරන්නට විය.

1971 වර්ෂයේ මාව රිය අනතුරකට ලක්‌වෙනව. ඒ සිද්ධියෙන් පස්‌සෙ ශල්‍ය කර්මයක්‌ සඳහා මම එංගලන්තයට යනව. ඒ ගිය අතරේ මම කැනඩාවට යනව. කැනඩාවෙ තරම් විශාල විල් තියෙන රටක්‌ තවත් නැහැ. ඒ තරමට විල් තියෙනව. ඒ එක විලක්‌ බලන්න ගිය වෙලාවෙ තමයි මට අපේ සීමාමාලකය මතක්‌ වෙන්නේ.

1976 දී ලංකාවට ආපු ගමන්ම සීමාමාලකයේ වැඩ පටන් ගන්නව. ඔය.....දැන් තියෙන සීමාමාලකය ජෙµaරි බාවා කියන කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක්‌. ඔය......සීමාමාලකය ගොඩනගද්දී ඒ සඳහා වියදම දරුවෙ හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිවෙලා ඉන්න එච්. එස්‌. මුසාජී කියන ධාර්මික මුස්‌ලිම් පවුලක්‌. ඊට පෙරත් මුසාජී පවුල විසින් නොයෙක්‌ අවස්‌ථාවල විහාරස්‌ථානයේ කටයුතුවලට විශාල වශයෙන් උපකාර වෙලා තියෙනව. ඒ පවුලේ උදවිය සහ විහාරස්‌ථානය අතර අදත් තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්‌. අදත් මුසාජී පවුලේ සිද්ධවෙන වැදගත් සිදුවීමක්‌ තියෙනව නම් ඒ අය විහාරස්‌ථානයට ඇවිත් ඒ සඳහා ආශිර්වාද ලබා ගන්නව. විදේශ ගමන් බිමන්වල යෙදෙන හැම අවස්‌ථාවකදීම විහාරස්‌ථානයට ඇවිත් තුන්රුවන් ආශිර්වාදය අරන් පිරිත් නූල් බැඳගන්නව. ඒ තරමටම විහාරස්‌ථානය හා බුදු දහම සමඟ සමීප ඇසුරක්‌ මුසාජී පවුල තුළ තියෙනව. කොටින්ම කියනව නම් මුසාජී මහත්තයගේ මිණිබිරියක්‌ විවාහ ගිවිසගන්න වෙලාවේ ඒ අයගේ පාර්ශ්වය වෙනුවෙන් විවාහයට අත්සන් කළේ මම. අදත් ඒ බැඳීම් විහාරස්‌ථානයත් මුසාජී පවුලත් අතර පවතිනව. මෙතනදී මතක්‌ කළ යුතු තවත් පුද්ගලයෙක්‌ තමයි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහත්තය. එතුමන් මේ සීමාමාලකය ගොඩනංවද් දී විශාල වශයෙන් උපකාර කළ ධානපතියෙක්‌.

පොඩි හාමුදුරුවන් වහන්සේ පවසා සිටි ආකාරයට සීමාමාලකය ඉදිකිරීමේ දී ජාති, ආගම් බේද නොතකමින් බෝර වර්ගයට අයත් ධාර්මික මුස්‌ලිම් පවුලක්‌ ඒ සඳහා බරපැන දරා ඇති අතර ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යැමේදී උන්වහන්සේට විවිධ දුෂ්කරතාවන්ට ද මුහුණ දීමට සිදුවී ඇත. ඉන් එක්‌ සිදුවීමක්‌ විස්‌තර කරන පොඩි හාමුදුරුවන් වහන්සේ,

"කොහොම හරි සීමාමාලකයේ වැඩ පටන් ගන්නවත් එක්‌කම වරායෙන් මට නියෝගයක්‌ ආව ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන්න වැඩ ආරම්භ කළ කොටසත් කඩා ඉවත් කර ගන්න කියල. ඊට පස්‌සෙ මම මේකෙ නීතිමය තත්ත්වය හොයා බැලුව. එතනදී හෙළිදරව් වෙච්ච කරුණක්‌ තමයි අපි එදා ඉඳලම රුපියල් 2 ක බදු මුදලක්‌ ආණ්‌ඩුවට ගෙවල තියෙනව කියන එක. මම මේ සම්බන්ධව රාජ නීතිඥ එච්. ඩබ්. ජයවර්ධන මහත්තයත් එක්‌ක කතා කළාම එතුමා කිව්ව "හාමුදුරුවනේ බදු මුදලක්‌ ගෙවනව කියන්නේ රජයට යටත්ව ජීවත්වෙන එකනේ" ඒ හින්ද රජයට ඒ තීරණය ගන්න පුළුවන් කියල.

මම එතනින් දුර්වල වුණේ නැහැ. මම ගියා ශ්‍රීමත් විලියම් ගොපල්ලව අග්‍රාණ්‌ඩුකාරතුමා මුණ ගැහෙන්න. එතුමා අපේ හිතවත් දායක මහත්තයෙක්‌. එතුමව මුණ ගැහිල කාරණය කියනව. ඒ කාලේ වෙද්දී වරාය භාර ඇමැතිවරයා වෙලා හිටියෙ පී. බී. ජී. කළුගල්ල, අග්‍රාණ්‌ඩුකාරවරය වහාම කළුගල්ලව රජ ගෙදරට ගෙන්නනව ඒ ගෙන්නල මාව මුණගැහෙන්න පන්සලට එවනව. එතකොට කළුගල්ල උන්නැහේ මම කවුද කියල දන්නෙත් නෑ. මම ඔහුව දන්නෙත් නෑ. ඇමැතිවරයා හැටියට මේ සිද්ධිය දන්නෙත් නෑ. ඒ පාර වෙච්ච සිද්ධිය ගැන එතුමා බොහොම කනගාටුවෙලා නැවත ඉදිකිරීම් කරගෙන යන්න අවසර කාරිය දීල මට කිව්ව මේ නියෝගය දීපූ නිලධාරියට ඒ අයත් දඬුවමක්‌ දෙනව ඔබ වහන්සේත් දඬුවමක්‌ දෙන්න කියල. අපි නම් දඬුවම් දෙන්න ගියේ නැහැ. ඒ කාලේ ඔය නියෝගය දීල තිබුණේ වරායෙ ඉංජිනේරුවරය වෙලා හිටිය සිල්වා කියන ක්‍රිස්‌තියානි මහත්තයෙක්‌. කොහොමහරි මාස නවයක්‌ යද්දී අපි සීමාමාලකය හදල ඉවර කරනව. එහෙම කරල සීමාමාලකය විවෘත කිරීමේ උත්සවය ශ්‍රීමත් විලියම් ගොපල්ලව අග්‍රාණ්‌ඩුකාරතුමා සහ මේ රටින් මැලේසියාවට ධර්ම ප්‍රචාර කටයුතු සඳහා වැඩම කරල හිටිය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ කරන්නෙ. එදත් හරි අපූරු සිද්ධියක්‌ වෙනව. උදේ ඉඳන්ම ධාරාණිපාත වර්ෂාව, සුසාජි කියන සුදු නෝනා කෙනෙක්‌ මගෙන් ඇවිත් අහනව නැකැත් ශාස්‌ත්‍රය එහෙම හොඳහැටි දන්න ඔබලා ඇයි මේ වගේ දවසක්‌ මේ සඳහා තෝරාගත්තෙ කියල. ඒ පාර මම කිව්වා නැකත තියෙන්නේ හවස හතරටනේ එතකොට බලමු කියල. ආශ්චර්යයක්‌ වගේ හවස හතර වෙද්දී අවට හැම තැනටම වැස්‌ස මේ ස්‌ථානයට එක වැහි පොදක්‌ වැටුණේ නෑ. පහුවැනිදා පත්තරවල පවා මේ සිද්ධිය පළ වුණා. ඔය වගේ අසිරිමත් තවත් සිදුවීම් රාශියක්‌ මේ විහාරස්‌ථානය හා සීමාමාලකය ආශ්‍රිතව තියෙනවා.

මෙතනදී තවත් මතක්‌ කළ යුතු වැදගත් කාරණයක්‌ තිබෙනව. ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමේ දී ගංගාරාම සීමාමාලකයේ ආකෘතිය තමයි ඒ සඳහා උපයෝගී කරගන්නෙත් ඒකත් ජෙµaරි බාවගේ නිර්මාණයක්‌ තමයි හැබැයි අපේ සීමාමාලකයට ආවේණික ලක්‌ෂණ සියල්ලක්‌ම පාර්ලිමේන්තුව ඉදිකිරීමේ දී යොදා ගෙන තිබෙනව.

අදත් ගංගාරාම විහාරස්‌ථානයත් අපේ සීමාමාලකයත් කියන්නේ බොහොම නිදහස්‌ව පවතින ආගමික සිද්ධස්‌ථානයක්‌. ඉබියතුරු දාල වහල තියෙන සිරිතක්‌ මෙතන නැහැ. පැය 24 පුරාම විවෘතව පවතින පුණ්‍ය භූමියක්‌. මෑතක දී අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තය මට අදහසක්‌ ඉදිරිපත් කළා බේරෙ වැවේ සීමාමාලක භූමියේ සතරවරම් දේවරූප හතරක්‌ නිර්මාණය කළ යුතුයි කියල. ඒ පාර අපි තීරණය කළා සතරවරම් දේව රූප හතරක්‌ බුදුරජාණන් වහන්සේට සිවුරු අටපිරිකර පූජා කළ මහා බ්‍රහ්මයගේ රූපයක්‌ ඊට අමතරව

ශ්‍රී පාදස්‌ථානයට අධිපති සුමනසමන් දේව රූපයක්‌ මේ ස්‌ථානයේ ඉදිකරන්න. ඊට අමතරව මේ වෙද්දී

ඡේඩ් කියන ගල් විශේෂය යොදාගෙන ටොන් 8 කින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ චීනයේ නිර්මාණය කරමින් පවතිනව. ඒ පිළිම වහන්සේ නමත් සීමාමාලක භූමියේ වඩා හිඳුවන්න කටයුතු කරනව. ඔන්න ඔය විදිහට තමයි මේ ස්‌ථානය පැවතගෙන එන්නේ. අපේ ගංගාරාම විහාරස්‌ථානයේ තියෙන අනික්‌ විශේෂත්වය තමයි කොළඹ කියන ඉතාමත් සංකීර්ණ සමාජ වටපිටාවක ඒ සංකීර්ණත්වය බාධාවක්‌ කර නොගනිමින් මුළුමනින්ම ආගමික, ශාසනික, සමාජීය මෙහෙවරක්‌ සඳහා පමණක්‌ යොදවා ගැනීම"

දිගු කතා බහක කෙළවර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ එසේ පවසා සිටිමින් පිළිසඳර නිමා කළ අතර එහි ගත කළ හෝරාවක දෙකක කාලය තුළ විනය, හික්‌මීම, පිළිවෙළ පිළිබඳ බොහෝ පාඩම් අපගේ ජීවිතයට ද එකතු කරගත හැකි විය.

රුවන් ජයවර්ධන
ඡායාරූප - නිමල් දයාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.