ජාතියේ නාමයෙන් ග්ලයිෆොසේට්‌ මිත්‍යාව
සිංහල පොළවේ නොවපුරන්න

ග්ලයිෆොසේට්‌ නයාගේ විෂ නොදකින
ශ්‍රී ලාංකීය කෘෂි විශේෂඥයින්ට පිළිතුරක්‌

මහාචාර්ය ජී. අයි යාපා
කෘෂිවිද්‍යා පීඨය
සබරගමු විශ්වවිද්‍යාලය.

එක්‌තරා සංගමයක්‌ මගින් සැප්තැම්බර් මස 25 වැනි ඉරිදා පුවත්පත්හි දැනට තහනමට ලක්‌ කර ඇති පූර්ණ වල්නාශකයක්‌ වන ග්ලයිෆොසේට්‌ නොහොත් රවුන්ඩ්අප් පිළිබඳ පක්‍ෂග්‍රාහි දැන්වීමක්‌ පළ කර තිබිණි. එමගින් බලවත් උත්සාහයක්‌ දරා ඇත්තේ ග්ලයිෆොසේට්‌සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල ව්‍යාප්තව ඇති මාරාන්තික වකුගඩු රෝගය අතර සම්බන්ධයක්‌ ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ප්‍රමාණවත් නොමැති බවත් අප රටේ මෙම කෘෂි රසායනිකය තහනමට ලක්‌වීමට හේතු වූයේ වකුගඩු රෝගයට මූලික හේතුව ග්ලයිෆොසේට්‌ භාවිතය යන වැරදි මතය සමහර පුද්ගලයන් විසින් දරුණු ලෙස පාලකයින්ගේ සිත් තුළ කාවැද්දීම බවයි. නමුත් අදාළ දැන්වීම දැමූ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාල වාර්තාවක්‌ උපුටා දක්‌වමින් (16 පිටුව) පෙන්වා දෙන්නේ එය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක හා අසත්‍ය ප්‍රකාශයක්‌ බව හා එකී වාර්තාවේ කිසිම විටෙකත් ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගය හා කිසිදු සම්බන්ධයක්‌ දක්‌වා නොමැත යන්නය. නමුත් සැබෑව නම් දැනට කරන ලද පරීක්‌ෂණ කිහිපයක ප්‍රතිඵල උපුටා දක්‌වමින් වාර්තාව දක්‌වා ඇත්තේ, ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගයට වන දායකත්වය සියයට සියයක්‌ නිවැරදිව තහවුරු කිරීමට එම දත්ත පමණක්‌ ප්‍රමාණවත් නොවන බවත් එමනිසා පැහැදිලි නිගමනයකට පැමිණීමට නොහැකි බව මිස මතය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක සහ සාවද්‍ය බව කිසිවිටෙකත් එහි දක්‌වා නොමැති වීමය.

ග්ලයිෆොසේට්‌ තහනම අවිද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ආවේගශීලීව සමහරෙකු දේශපාලන වාසි ලබා ගැනීමට කරන ලද තකතීරු වැඩක්‌ යන මතයේ දිගින් දිගටම එල්බගෙන සිටින විද්‍යාඥයින්ට, ව්‍යාපාරිකයින්ට, ආදී සියල්ලට කරන සරල අභියෝගය නම් ලොව පිළිගත් අන්තර් ජාතික සඟරාවක පළවූ ලෝක මට්‌ටමේ කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් මෙම රසායනිකය මානව සෞඛ්‍යයට කිසි ලෙසකින්වත් හානිකර නොවන බව ඔප්පු වූ තොරතුරක්‌ හැකිනම් සපයන ලෙසයි. ඇමරිකානු පරිසර ආරක්‌ෂණ ආයතනය (Eඡ්) දක්‌වන පරිදි ග්ලයිෆොසේට්‌වල පිළිකාකාරක ගුණ තිබිය හැකි බව එහි නිෂ්පාදකයා වූ එරටේම දැවැන්ත කෘෂිරසායන සමාගමක්‌ වූ මොන්සැන්ටෝ විද්‍යාඥයින් මීට අවුරදු 35 කට පෙර සිට දැනසිටි බවයි. 1978 - 1986 ක්‌ෂීරපායි සතුන් යොදා කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් ඒ බව තහවුරු වී ඇති නමුත් මොන්සැන්ටෝ සමාගම සහ Eඡ් ආයතනය අතර ඇති සහයෝගීතාව මෙම පරීක්‌ෂණ ප්‍රතිඵල පිටතට යාම හැකිතාක්‌ දුරට වළක්‌වා ඇත. මීයන්ගේ වකුගඩු විනාශවීමට ග්ලයිෙµdසේට්‌ හේතු වී ඇති බව ද මේවායින් තහවුරු විය. පිළිකා වලට හේතුවිය හැකි ගැටිති මීයන් පරම්පරා තුනක්‌ ආශ්‍රයෙන් කරන ලද පර්යේෂණ වලදී තහවුරු විය. ග්ලයිෆොසේට්‌ වල් නාශකය වෙළඳපොළෙහි ඇත්තේ රවුන්ඩ්අප් ලෙසින් වන අතර එහි ග්ලයිෆොසේට්‌ රසායනිකයට අමතරව තවත් රසායනික අපද්‍රව්‍ය මුසු කර ඇත. මෙසේ මුසු කරනුයේ ග්ලයිෆොසේට්‌ රසායනිකයේ වල් මැරීමේ ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩි කිරීමටයි. උදාහරණයක්‌ ලෙස පොලි එතොක්‌සිලේටඩ් ටැලොව මඟින් හෙවත් POEA මිනිස්‌ කළල, වැදෑමහ සහ පෙකෙනි වැලෙහි සෛල වලට අධික විෂ සහිත බව ඔප්පු වී ඇත. කාන්තා ශරීරයේ හෝමෝන සමතුලිතතාව බිඳ දැමීම මඟින් දරුවන් පිළිසිඳ ගැනීමට විශාල බාධා ඇති වීමත්, විකෘති කළල වර්ධනය සහ ගබ්සාවීම් විශාල වශයෙන් වැඩි වීමට ග්ලයිෆොසේට්‌ භාවිතය හේතු වී ඇති බව සොයා ගෙන ඇත. ස්‌නායු දුර්වල වීම හේතුවෙන් වන අංශභාගය, පාකින්සන් රෝගය, ආහාර මාර්ගයේ ආබාධ ආදී තවත් රෝගී තත්ත්වයන්ට ග්ලයිෆොසේට්‌ සම්බන්ධ බව තහවුරු වී ඇත.

අප රටට අමතරව නෙදර්ලන්තය, ප්‍රංශය, බ්‍රසීලය, ජර්මනිය, ආජන්ටිනාව, බර්මුඩා වැනි රටවල් ද මෙම හානිකර කෘෂිරසායනය එම රටවල තහනම් කිරීමට වහා කටයුතු යොදා ඇත. නැතිනම් යොදමින් පවතී. ශරීරගත විෂ උදාසීන කරනු ලබන එන්සයිම ග්ලයිෆොසේට්‌ මඟින් විනාශ කරන බවත් එමනිසා මෙම රසායනිකය අනෙකුත් විෂ ද්‍රව්‍ය සඳහා මිනිස්‌ ශරීරය විවෘත කිරීමද කරනු ලබයි. මේ අනුව පැහැදිලි වන කරුණක්‌ නම් විෂයයි සැක සිතූ මෙවැනි කෘෂිරසායනවල විෂ විද්‍යාත්මක පර්යේෂණ වල දියුණුවත් සමඟ තව තවත් තහවුරු වන බව විනා ඒවායෙහි ආරක්‌ෂිත බව තහවුරු නොවන බවයි. වගාවන්හි වල් මර්දනය කිරීම කිසිසේත් ග්ලයිෆොසේට්‌ නොමැතිව මහා පරිමානයෙන් කළ නොහැකි බවත් ඒනිසා තේ, ඉරිගු ඇතුළු අප රටේ වගාවන් සියල්ල විනාශයේ අභිමුවට පනවා ඇති තහනම නිසා පැමිණ ඇති බව හඬ නගා කියන කෘෂි විද්‍යාඥයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇත. - එනම් මහා පරිමානයෙන් වල් මර්දනයට ඇති එකම ක්‍රමවේදය මේ ග්ලයිෆොසේට්‌ද? යන්නයි.

අවුරුදු 2500 ඈතට දිවයන කෘෂි ඉතිහාසයකට හිමිකම් කියන සහ විශ්වවිද්‍යාල හතකින් කෘෂි විද්‍යාඥයින් බිහි කරන කෘෂිකාර්මික රටක්‌ වන අප රටේ කෘෂි තාක්‌ෂණය මෙතරම් නොදියුණු වීම ගැන අපි මවිත වෙමු. විෂ රසායනික වලින් තොර මහා පරිමාණ භාවිතයට ගැලපෙන ක්‌ෂණික වල් නාශක ක්‍රමවේද වන අධෝරක්‌ත, ක්‌ෂුද්‍ර තරංග, තාප වල් නාශක යන්ත්‍ර පළමුව මෙරටට හඳුන්වා දීමත් පසුව ඒවා මෙහිම නිෂ්පාදනය සඳහා කරන වැඩ පිළිවෙලක්‌ ගැන කිසිදු පර්යේෂණ ආයතනයකින් හෝ විද්‍යාඥයෙකුගෙන් අසන්නට නොලැබේ. අසන්නට ලැබෙන්නේ යෝජනා දෙකකි. එනම් ග්ලයිෙµdසේට්‌ තහනම වහා ඉවත් කිරීමට පියවර ගැනීම සහ ග්ලයිෆොසේට්‌ වෙනුවට වෙනත් ක්‍රියාකාරී රසායනයන් ආනයනය කර බෙදා හැරීමක්‌ ගැන පමණි. ශ්‍රී ලාංකීය කෘෂි විද්‍යාඥයින් එම ක්‌ෂේත්‍රයට සම්බන්ධ ගැටලුවක්‌ විසඳීම සඳහා ඉදිරිපත් වන ආකාරය මෙය යි. මෙවැනි යෝජනා බලාපොරොත්තු විය හැක්‌කේ කෘෂි අමු ද්‍රව්‍ය ආනයනය කරවන්නෝ දේශපාලනඥයන්ගෙන් මිස විද්‍යාඥයන්ගෙන් නම් නොවේ. මේ තත්ත්වය සළකා බැලූ කල අප දේශයේ ආහාර සුරක්‌ෂිතභාවය පවත්වා ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක්‌ කඩිනමින් අවශ්‍යව ඇත. අවුරුදු දහස්‌ ගණනකට කලින් සියයට සියයක්‌ දේශීය තාක්‌ෂණය සහ අමුද්‍රව්‍ය භාවිතා කර විදේශ රට වලට පවා අපනයනය කිරීමට තරම් ආහාර අතිරික්‌තයක්‌ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ සහ මායා, මෙසපොටේමියා, නයිල්, ඉන්දු නිම්න වැනි දැවැන්ත කෘෂි ශිෂ්ටාචාර වලට නොදෙවෙනි කෘෂි තාක්‌ෂණයකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව මේ වන විට අවාසනාවන්ත ලෙස විදේශ තාක්‌ෂණය සහ අමුද්‍රව්‍ය මත යෑපෙමින් තම ශ්‍රමය පමණක්‌ සපයමින් කරනු ලබන ආහාර නිෂ්පාදන රටාවකට තල්ලු වී ඇති ආකාරය මනාව පිළිබිඹු වේ. තම පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සඳහා පරාදීන වීම තරම් අවාසනාවක්‌ රටකට තිබිය හැකිද? මෙයින් වහා ගොඩ ඒම සඳහා පාලකයින්, විද්‍යාඥයින් සහ සමස්‌ත පුරවැසියන් පක්‌ෂ, ජාති, ආගම් භේද වලින් තොරව කැපවීම අත්‍යාවශ්‍ය වේ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.