ඩයිනමයිට්‌ කා මන්නාරමෙන් ගොඩ ගැසුවේ
ලංකාවේ අන්තිම මුහුදු ඌරාද?

එදා මාලු කඩේ මුහුදු ඌරා විකුණුවේ පන පිටින්
අතීත නාවිකයන් මුහුදු ඊරියන් සමග ලිංගිකව හැසිරීලා


මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබූ සතා පළපුරුදු ධීවරයන්ට පවා හඳුනා ගැනීමට අපහසු අමුතු වර්ගයේ එකෙකු විය. අතිශය කලාතුරකින් දකින්නට හැකි මුහුදු ඌරෙක්‌ ලෙස මේ මළ සිරුර හඳුනා ගනු ලැබුවේ, වන ජීවී නිලධාරීන් විසිනි. මේ සිද්ධිය වාර්තා වන්නේ පසුගිය අටවැනිදාය.

කුඩාදූපතක්‌ සහ එමෙන් විසිපස්‌ ගුණයකින් යුත් මහ සයුරක හිමිකරුවන් වී සිටින අප, අප වටා ඇති සමුදුරේ වටිනාකම කිසිදු අයුරකින් හඳුනාගෙන නැත. මුහුදු ඌරා අයත් වන්නේද ශ්‍රී ලංකාව විසින් හඳුනා නොගත් මහඟු සම්පත් ගොන්න අතරටය.

නොවැම්බර් අටවැනිදා පාන්දර මන්නාරම වෙරළට ගොඩගසා තිබුණේ 'ඒ සම්පත තවමත් අප සතුව ඇත. නමුත් අපට වටිනාකමක්‌ නැත' යන පණිවිඩය රැගත් මුහුදු ඌරෙකුගේ මළ කඳකි. මියගිය මුහුදු ඌරා විශාල තුවාලයකට ලක්‌වී සිටි අතර අනවසරයෙන් මසුන් මැරීමට යොදාගන්නා ඩයිනමයිටයකට මෙම සතා හසුවන්නට ඇතැයි වනජීවී නිලධරයෝ සැකපහල කර තිබුණහ.

"මෙම සත්වයන් ලංකාව මුහුදු තීරයේ කීයක්‌ ඉන්නවද කියලා තවමත් ගණනය කරලා නෑ. මොවුන් මුහුදු පැළෑටි පමණක්‌ ආහාරයට ගන්නවා. මෙවැනි සත්වයන් අපි ආරක්‌ෂාකර ගන්න ඕනෑ. මොවුන් ඉතා ශීඝ්‍රයෙන් වඳ වෙලා යන සත්වයන් බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ලංකාවේ මුහුදු තීරයට මෙවැනි මියගිය මුහුදු ඌරන් දෙදෙනෙක්‌ පමණ ගසාගෙන ඇවිත් තියෙනවා. එහෙත් ධීවරයන්ගේ නොදැනුවත්කම නිසා ඔවුන් පුළුස්‌සා තිබෙනවා. මින් ඉදිරියට ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අපි එකතුවෙලා මෙවැනි වඳවී යන මුහුදු ජීවීන් ආරක්‌ෂාකරන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ කරනවා" වනජීවී සහකාර අධ්‍යක්‌ෂ අශෝක රාජපක්‌ෂ මහතා මාධ්‍යයට එසේ පවසා තිබුණි.

2016 මැයි මාසයේදී විල්පත්තුව මුහුදු තීරයට අයත් මොල්ලිකුලම ප්‍රදේශයේ ධීවරයකුගේ දැලකට මෙවැනි මුහුදු ඌරෙකු හසු වී තිබුණි. එතෙක්‌ සාගර පර්යේෂකයෝ සිතා සිටියේ ශ්‍රී ලංකා වෙරළින් මුහුදු ඌරා සමුගෙන ගොසින් ඇති බවත්ය.

2010 වසරේ දෙසැම්බර් මාසයේදී ධීවරයන් දෙදෙනකු විසින් මුහුදු ඌරන් දෙදෙනකු මරා ගොඩට ගෙනන විට අල්ලා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබුණි. ඒ මන්නාරම දිස්‌ත්‍රික්‌කයෙන්ය. ධීවරයන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කරන ලද අතර මුහුදු ඌරු මළ සිරුරු යුගලය පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ දෙහිවල සත්වෝද්‍යානයට බාර දෙනු ලැබීය. පරීක්‌ෂණයෙන් හෙළිවී තිබුණේ මේ සතුන් දෙදෙනා පිරිමි සහ ගැහැනු සතුන් බවය. මෙම යුවළගෙන් ගැහැනු සතාගේ පියයුරුහී කිරි තිබූ බවද නිරීක්‌ෂණය වී තිබුණි. මෙයින් පෙනී යන ලද්දේ මේ මුහුදු ඌරන් යුවළට පැටවුන්ද සිටි බවය. එම සතුන් දෙදෙනා මරා දමා තිබුණේද ඩයිනමයිට්‌ යොදාගෙනය. මේ මුහුදු ඌරන් දෙදෙනා ලෝකයේ වාර්තා වූ විශාලම සතුන් ලෙස සැලකේ. මේ දෙදෙනාගෙන් පිරිමි සතා කිලෝග්‍රෑම් 480 ක්‌ ද ගැහැනු සතා කිලෝග්‍රෑම් 525 ක්‌ ලෙස සටහන් කොට ඇති අතර ඔවුන්ගේ හම් පුරවා, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා හි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට තිබේ.

මෑතකදී ශ්‍රී ලංකාවෙන් මුහුදු ඌරන් වාර්තා වූ අවසන් අවස්‌ථා තුන එසේය. එම අවස්‌ථා තුනේදීම පණපිටින් උන් දැක ගන්නට අප වාසනාවන්ත වී නොතිබුණි.

හැත්තෑව දශකයට පෙර කොළඹ දී මුහුදු ඌරන් පණ පිටින් දැක ගැනීමේ අවස්‌ථාව හිමිව තිබුණි. නමුත් ඒ වාසනාවන්ත ආකාරයකට නොවේ. කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැලේ එදා තිබූ නැවුම්ම හෙවත් 'අලුත්ම බඩු' වූයේ මුහුදු ඌරාය. එක්‌දහස්‌ නවසිය හැට ගණන්වලදී යාපනයේ සහ මන්නාරමේ සිට දුම්රියෙන් කොළඹට ගෙනා මේ මාළු විශේෂය එතරම්ම නැවුම් වූයේ ඔවුන් මුහුදෙන් පණපිටින්ම අල්ලාගෙන, දුම්රියේද පණපිටින්ම පැමිණීම නිසාය. මුහුදේ ජීවත් වුවද ක්‌ෂීරපායී වර්ගයට අයත්වීම නිසා, මුහුදු ඌරා ගොඩබිමේ සිටීම, ඌගේ මරණය සඳහා හේතුවක්‌ නොවේ. විටින් විට ජලයෙන් තෙම තෙමා සිටීම පමණක්‌ ඌගේ ජීවිතය ගොඩබිමේදී පවත්වා ගෙන යැමට ප්‍රමාණවත්ය. දුම්රියේ පටවාගත් මුහුදු ඌරන් විටින් විට ජලයෙන් තෙමා කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැලට ගෙන විත් එතැනදී මරා දමා විකිණීම එකල ජනප්‍රිය වී තිබුණි.

මේ ලෙස වසරකට මුහුදු ඌරන් එකසිය පනහක්‌ පමණ කෝච්චියෙන් කොළඹ ඇවිත් අවසන් ගමන් ගොස්‌ තිබුණි. එසේ මරාගෙන කෑමේ විපාක අද වන විට විඳවමින් සිටින්නේ ලෝකයේම දුර්ලභ මුහුදු ජීවීන් වර්ගයක්‌ බවට මුහුදු ඌරා පත්වීමත් සමගය.

ඌරකුගේ වැනි හිසක්‌ සහිත වීම හේතුවෙන් මුහුදු ඌරා යෑයි නම් ලැබූ මේ සත්වයා මුහුදේ සිටින ක්‌ෂීරපායී සත්වයෙක්‌ හෙවත් කිරි බී වැඩෙන්නෙකි. සාමාන්‍ය වහරේ මොවුන්ට මාළුවන් ලෙස ආමන්ත්‍රණය කළ ද මුහුදු ඌරා මත්ස්‍ය ගණයට අයත් නොවේ.

සත්ව විද්‍යාත්මකව ඩියුගොන් ඩියුගොන් Dමටදබට dමටදබට ලෙස හඳුන්වන මේ සතා, ඌරකු වැනි මුහුණක්‌ ඇති උරපත් යුගලක්‌ සහිතය. ගෙලක්‌ නොමැති අතර හිස ඉදිරිපස නාසික කුහරයක්‌ ඇත. හිසෙත් නාසයේත් ඉදිරිපස රළු කෙඳි පිහිටයි. එහෙත් සිරුරේ රෝම කිසිවක්‌ දක්‌නට නොලැබෙයි.

සිරුරේ වර්ණය අළු පැහැය මිශ්‍ර රතු දුඹුරුය. පිරිමි සතුන් හා ගැහැනු සතුන් ජෝඩු වශයෙන් ජීවත්වනු දැකිය හැකි අතර ඇතැම් අවස්‌ථාවල දී කුඩා රංචු වශයෙන් ද දිවි ගෙවයි. කොළ පැහැති ඇල්ගී හා මුහුදු පැළෑටි ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වෙයි.

මීටර 2-3.5 ත් අතර දිගකින් වැඩෙන මොවුන් රාත්තල් 300 සිට 500 දක්‌වා බරකින් යුක්‌තය. ජලය යට විනාඩි දහයක්‌ පමණ සිට මතුපිටට පැමිණ හිස ජලයෙන් ඉහළට ඔසවාගෙන සිටියි. වරකට එක්‌ පැටවකු බිහිකරයි. වසර 18 ත් 20 ත් අතර කාලයේ දී මුහුදු ඌරන් ලිංගිකව මුහුකුරා යයි. කලාතුරකින් නිවුන් දරුවන් උපත ලබයි.

උරපත් සිරුරට සවිවන ස්‌ථානයේ ඇති ස්‌තන ග්‍රන්ථිවලින් පැටවා මවගෙන් කිරි උරාබොයි. පැටවකු උපත ලැබීමේ දී අඩි හතරකට ආසන්න දිගකින් යුක්‌තය. අවුරුදු 55 - 60 ක්‌ පමණ කාලයක්‌ ජීවත් වේ.

ඒ සඳහන් කරන ලද්දේ මුහුදු ඌරාගේ ජීවන උරුමයය.

දෙමළ භාෂාවෙන් කඩල් පන්ඩි හෙවත් මුහුදු ඌරා යන නමින් සේම කඩල් පශු යන මුහුදු ගවයා යනුවෙන් ද මේ සත්වයා හඳුන්වයි. මුහුදු තෘණ සිය ආහාරය බවට පත් කර ගැනීම නිසා මුහුදු ගවයා යන නම මුහුදු ඌරාට යෙදී ඇතිබව සිතිය හැකිය. ශාකභක්‌ෂිකයෙක්‌ වන මුහුදු ඌරාත් තණකොළවලට අමතරව මුහුදු පැළෑටි ද සිය ආහාරය සඳහා එක්‌ කර ගනු ලබයි මෙම සතුන්ගේ හොම්බ තියුණු ලෙස පහළට හැරවී තිබෙන අතර එය ඝනකම් කෙඳිවලින් වැසී ඇත. මේ අනුවර්තනය නිසා ඔවුන්ට පහසුවෙන් මුහුදු තෘණ උලා කෑ හැකිය. මෙම පිහිටීමෙන් ප්‍රයෝජන ගෙන ඔවුන් විසින් දිවා රෑ දෙකෙහිම තෘණ උලා කනු ලබයි. ඉස්‌කෝප්පයක්‌ වැනි, පුළුල් වලිගය මෙම සතාගේ අනන්‍යතාවේ තවත් සංකේතයකි. මැනටියා නම් මුහුදු සත්වයාට බොහෝදුරට සමානත්වයක්‌ දරන මුහුදු ඌරා මැනටියාගෙන් බාහිර වශයෙන් වෙන් කර හඳුනා ගත හැක්‌කේ ඌට පිහිටා ඇති මෙම ඩොල්µsන්ට සමාන වලිගය මගිනි.

වාර්තාවලට අනුව වර්ෂ 1980 දශකයේ මුල භාගයේ දී ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ විශාල මුහුදු ඌරන් ගහනයක්‌ සිටිය ද ධීවරයන් දැල් භාවිත කර මරා මස්‌කර විකිණීම හේතුවෙන් උන්ගේ ගහනය ක්‍රමයෙන් පහළ බැස තිබේ. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ වෙසෙන මුහුදු ඌරන් සාමාන්‍යයෙන් දෙදෙනෙක්‌ හෝ තිදෙනෙක්‌ගෙන් සමන්විත වන කණ්‌ඩායම් ලෙස වාසය කරයි. මෙම සතුන් උණුසුම් දිය ඇති මෝයවල හා නොගැඹුරු වෙරළාසන්න මුහුදේ වාසය කිරීමට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. මෙම පරිසර පද්ධතිවලට විශාල මුහුදු තෘණ පාත්ති ඇතුළු වෙනත් ශාක වර්ග හොඳින් පෝෂණය කරගත හැකිය. අරිප්පුමුතු ඉවුර, ආදම්ගේ පාලම සහ යාපන අර්ධද්වීපයට බටහිරින් ඇති දූපත් හා මන්නාරම් බොක්‌ක ආශ්‍රිත මුදුදේ මෙම සතුන් වාසය කරයි. එසේ වුවත් වර්තමානයේදී මෙම සතුන් දැක බලා ගැනීමට ඇති අවස්‌ථා ඉතාමත් දුර්ලභය.

මුහුදු ඌරන් කල්පිටිය හා උච්චමුනේ ප්‍රදේශවල ජීවත් වන බව සමහරක්‌ සාගර විද්‍යාඥයන් අනාවරණය කර තිබේ. මේ සාගර සීමාවේ සිට පෝක්‌සමුද්‍ර සන්ධිය දක්‌වා කල්පිටියේ සිට දකුණු ඉන්දියානු ප්‍රදේශය දක්‌වා අතිවිශාල ප්‍රදේශයක මුහුදු තෘණ පැතිරී ඇති බැවින් මුහුදු ඌරන්ගේ වැඩි ගහනයක්‌ එහි ඇතැයි අනුමාන කළ හැකිය. ධීවරයන්ගේ ග්‍රහණයට ලක්‌වීම, සාගරය දූෂණය වීම, ධීවර ආම්පන්නවල පැටලීම, දැඩි වර්ෂා කාලයේ දී ගොඩබිම සෝදාපාළු ලක්‌වීමෙන් මුහුදු තෘණ සහිත ප්‍රදේශවල දූෂණයට ලක්‌වීම, මුහුදු ඌරන්ට ප්‍රමාණවත් ආහාර නොලැබීම හා වාසස්‌ථාන අහිමි වීම මොවුන්ගේ ජීවිත තර්ජනයට සඳහා ප්‍රධාන හේතූන් බවට පත් වී ඇත. වුවමනාවෙන් දඩයම් නොකළද, මුහුදු ඌරෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වලට ගොදුරු වීමෙන් ජීවිතක්‌ෂයට පත්වෙති. මාළු දැල්වලට අසුවීමෙන්, ඩයිනමයිට්‌ මගින් මාළු ඇල්ලීම්වලට ගොදුරු වීමෙන් හා බෝට්‌ටුවල ගැටීම වැනි සිදුවීම් හේතුවෙන් මුහුදු ඌරෝ අදටත් මියයති.

සාමාන්‍ය හැසිරීම බලන කල, මුහුදු ඌරන් ඉතාමත් සෙමින් ගමන් කරන සතුන්ය. පැයට කි.මී. 9 ක්‌ පමණ වේගයකින් පිහිනන නමුත් ඔවුන්ට තර්ජනයක්‌ ඇති වුවහොත් මෙම වේගය දෙගුණ කරමින් පලා යයි. විනාඩි 6-10 ක්‌ පමණ හුස්‌ම අල්ලාගෙන ඔවුන්ට දිය යට සිටිය හැකිය. පැටවුන් සමහර අවස්‌ථාවන්වලදී මවගේ පිට උඩ ගමන් කරයි. මන්දගාමී පරිවෘත්තීය වේගය නිසා සීතල දියේ ජීවත් වීම අපහසු වන අතර වතුරේ සිදුවන හදිසි උෂ්ණත්ව වෙනස්‌කම් දරා ගැනීම ද අපහසුය.

IUCN සංරක්‌ෂණ වර්ගීකරණ මට්‌ටම් හෙවත් රතු දත්ත පොතට අනුව, මුහුදු ඌරා ඉතාම දුර්ලභ සත්වයෙකු ලෙස නම් කර ඇත. මෙම සතුන් දඩයම් කිරීම 1970 ගණන් දක්‌වා සිදුවූ අතර, ශ්‍රී ලංකාව විසින් සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක පනතට සංශෝධනය කිරීමෙන් මුහුදු ඌරාට නෛතික ආරක්‌ෂාව ලබා දීම සඳහා පියවර ගනු ලැබීය.

වර්තමානයේදී මේ සතා දඩයම් කිරීම අඩු වුවද තවමත් ඒවා තැනින් තැන සිදුවේ. මානව ශිෂ්ටාචාරයේ ආදි අවධියේ සිට මුහුදු ඌරා මිනිසා සමග සම්බන්ධවී ඇති බවට මැලේසියාවේ ගල් ගුහාවකින් හමුවී ඇති වසර පන්දහසක්‌ පැරණි සිතුවමකින් පෙන්නුම් කෙරෙයි. එහි මුහුදු ඌරා මැනවින් සිතුවම් ගතකර තිබේ. ඕස්‌ටේ්‍රලියානු ආදිවාසී ඇබෝජින්වරුන් විසින් මුහුදු ඌරා සිය සංස්‌කෘතියේ කොටසක්‌ ලෙස සලකනු ලබයි. අතීත නාවිකයන් විසින් ඉඳහිට දකින ලද දියකිඳුරිය, මුහුදු ඌරා දැයි වත්මන් සමුද්‍රික පරිසරවේදීන් සැක පහල කරනු ලබයි. එයට හේතුව මේ සතාගේ ඇතැම් ශරීරාංග සහ ක්‍රියාකාරකම් මිනිසාට බොහෝ සෙයින් සමාන වීමය. මෙම ගැහැනු සතාගේ පියයුරු කාන්තාවන්ගේ පියයුරුවලට බෙහෙවින් සමාන වන අතර උන් පැටවුන්ට කිරි දෙන්නේද මිනිස්‌ අම්මලා සිය පැටව් හට කිරිදෙන ආකාරයට හරහට පැටවා තබාගෙනය. මුහුදු ශාක ඇඟ පටලවා ගත් මුහුදු ඊරිය උන්ගේ සුපුරුදු චර්යාව අනුව සමුද්‍රය මැද්දේ ගලක්‌ මත සන්ධ්‍යාවක සිටින විට ඈතින් එන ධීවරයාට පෙනෙන්නේ සුන්දර ලියක්‌ ලෙසය. මුහුදු ඊරියන්, මුහුදු අප්සරාවියන් ලෙස පෙනෙන්නේ මේ දර්ශනය නිසා යෑයි අනුමාන කළ හැකිය.

මුහුදු ඌරා සඳහා ඉංගී්‍රසියෙන් යෙදෙන ඩියුගොන් යන වචනය බිහිවී ඇත්තේ පිලිපීනයේ භාෂාවක්‌ වන ටගාලොග් සහ මැලේ භාෂාවෙනි. එහි අර්ථය සමුද්‍රයේ ආර්යාව යන්නය. කෙන්යානු පුරාවෘත්ත අනුකූලව මුහුදු ඊරි නම් කර ඇත්තේ, සාගරයේ රැජන ලෙසය. ඉන්දුනීසියාවේ ඇතැම් පළාත්වාසීන් විශ්වාස කරන්නේ, මියගිය ස්‌ත්‍රීන්ගේ ආත්මය, මුහුදු ඊරිය ලෙස නැවත ජනිත වන බවය. අතීත වාර්තා අනුව පෙනී යන්නේ දීර්ඝ මුහුදු ගමන් ගිය නාවිකයන් මුහුදු ඊරියන් සමග ලිංගිකව හැසිරී ඇති බවය. මුහුදු ඊරිය සමුදුරේ අප්සරාවිය බවට අතීත නාවිකයා නම් කරන ලද්දේ මේ හාදකම නිසාය.

මේ තරම් අතීත කතා සහිතව මානවයාට සමීප වූ මුහුදු ඌරා, අද මානවයාගේ ආත්මාර්ථකාමී සැලකීම් හේතුකොට ගෙන මිහිතලයට සමුදෙමින් අවසන් ගමන් යැමට සූදානම් වී සිටියි.

ජපානයේ ඔකිනාවා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදේ ඇමරිකාව විසින් නව කඳවුරක්‌ ඉදිකිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් 2003 වසරේදී ජපාන පුරවැසියන් පිරිසක්‌ සහ පරිසර සංවිධාන කිහිපයක්‌ විසින් සැන් µ්‍රeන්සිස්‌කෝහි දී අධිකරණය හමුවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලද අතර ඇමෙරිකාවේ හිටපු ආරක්‌ෂක ලේකම් චක්‌හෙගල් එහි චූදිතයකු ලෙස නම් කර තිබිණි. පැමිණිලිකරුවන් මෙහිදී පවසා ඇත්තේ මෙම හමුදා කඳවුර ඉදිකිරීම මගින් තර්ජනයට ලක්‌ව ඇති සමුද්‍රවාසී ක්‌ෂීරපායී සත්වයකු වන මැනාටීන් දැඩි අවදානමකට හෙළන බවයි. ඊට අමතරව මුහුදු බොක්‌කක්‌ ගොඩ කරන ලද ප්‍රදේශයක ගුවන් පථ දෙකක්‌ ඉදිකිරීම මගින් ඩුගොන් හෙවත් මුහුදු ඌරාගේ නිජබිමක්‌ හා පෝෂණ ප්‍රදේශයක්‌ අහිමි වන බවය. මෙවැනි ජාත්‍යන්තර සිද්ධීන් පවා, මුහුදු ඌරාගේ සුරක්‌ෂිතභාවය මත තීරණය වන තරමට ඌගේ වටිනාකම ලෝකයා හඳුනාගෙන තිබේ. එසේ නමුත් ඩයිනමයිට්‌ යොදා මුහුදේ කරන විනාශය විසින් මේ මහා සම්පත අපේ මුහුදෙන් අතුගා දමමින් පවතී.

මුහුදු ඌරා සංරක්‌ෂණය බැඳී පවතින්නේ සමුද්‍ර දූෂණය අවම කිරීම සමගය. මේ සඳහා ලෝකයා විසින් විශේෂිත සංරක්‌ෂිත වැඩසටහන් ඇති කරගෙන තිබේ.

මුහුදු ඌරන් සහ මුහුදු තෘණ සංරක්‌ෂණ වැඩසටහන යනු මුහුදු ඌරන් සහ ඔවුන් කන මුහුදු තෘණ බිම් ආරක්‌ෂා කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබූ මෙම ලෝක ව්‍යාප්ත වෑයමය. ඉන්දියානු සාගරය හා ශාන්තිකර සාගරය අවට ඇති රටවල් අටකින් මෙම වැඩසටහන අරඹා තිබේ. ඉන්දුනීසියාව, මැඩගස්‌කරය, මලයාසියාව, මොසැම්බික්‌, සොලොමොන් දූපත්, ශ්‍රී ලංකාව, ටිමෝරය සහ වනුවාටු යන රටවල් මේ සඳහා අයත් වේ. මෙය ලෝකයේ මුහුදු ඌරන් හා මුහුදු තෘණ සංරක්‌ෂණය කිරීමේ ප්‍රථම සමායෝජිත වෑයමය.

මුහුදු ඌරන් වැඩි වශයෙන් අනුභව කරන මුහුදු තෘණ යනු නොගැඹුරු, වෙරළාසන්න මුහුදේ වැවෙන සපුෂ්ප ශාක වර්ගයකි. ලෝකයේ සමුද්‍රයන්හි සුළු ප්‍රදේශයක මෙම ශාක දැකගත හැකි වුවත්, ගොඩබිමේ ඇති වැසි වනාන්තරවල වඩා කාර්යක්‌ෂම ලෙස කාබන්ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීමට මෙම ශාකවලට හැකියාව තිබේ. මෙමගින් ජලයේ ඇති අපද්‍රව්‍ය පෙරා, ජලජ සතුන් රාශියකට ආහාර, ආරක්‌ෂාව හා රැකවරණය ද සපයා දෙයි. වෙරළ ඛාදනය වළක්‌වීමෙහිලා ද මුහුදු තෘණ ඉතා වැදගත් කාර්යය භාරයක්‌ ඉටුකරයි.

මේවා මුහුදු ඌරන් වැඩියෙන්ම ප්‍රිය කරන ආහාරය නිසා මුහුදු ඌරන් සංරක්‌ෂණයේදී ඔවුන්ගේ ආහාර ප්‍රභවයන් ද රැක බලා ගත යුතු හෙයින් මුහුදු ඌරා සංරක්‌ෂණය යන මතෘකාවේදී මුහුදු තෘණ බිම් රැක ගැනීම අතිශයින් වැදගත්භාවයක්‌ උසුලයි. ලෝකයේ විවිධ වර්ගයේ තෘණවලින් ගහන විශාලතම මුහුදු තෘණ භූමිය පිහිටා තිබෙන්නේ ෂාක්‌ බොක්‌කේ ය. වර්ග කිලෝමීටර් 4000 කටත් වඩා මුහුදු පැළෑටි ගහනව තිබෙන මෙම ප්‍රදේශයේ ඉස්‌සන්, කුඩා මසුන් හා වෙනත් මුහුදු සත්වයන් බහුලව වාසය කරන අතර මුහුදු ඌරන් 10000 ක්‌ පමණ මෙම පැළෑටි මගින් පෝෂණය ලබයි.

ඩයනමයිට්‌ වැදී මියගිය මළ කුණක්‌ ලෙස ඉඳහිට වෙරළට ගොඩ ගසනා මුහුදු ඌරෙකු පිළිබඳව නොව සාඩම්බර මුහුදු රැජනක්‌ ලෙස මුහුදු ඌරා අපේ සමුද්‍රයේ වාසය කරන යුගයක්‌ ඇති කිරීම කිරි බී වැඩෙන සත්වයන් ලෙස අපගේද වගකීම වන්නේය.

ඔසිත අත්තනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.