මඩකලපුව සිංහල ජනයා
පන්නා දමන සහජීවන නාඩගම


ඡන්ද අයිතියත් නෑ සමෘද්ධියත් නෑ

මඩකලපුව පුරවරයේ මෑත අතිතයේදී තිස්‌දහසකට අධික සිංහල ජනයා වාසය කරතිබේ. මහා පරිමාණ වෙළෝද ව්‍යාපාර පවත්වා ගනිමින් ඔවුන් දමිළ මුස්‌ලිම් ජනයා සමඟින් සහෝදරත්වයෙන් කල් ගෙවන්නට විය. තිස්‌ අවුරුදු කුරිරු යුද්ධය සියල්ල උඩුකුරු කරන්නට වූහ. දිනෙන් දින මඩකලපුව නගරයේ පමණක්‌ නොව මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සියලු ගම්බිම්වල ජනයාටද බේරී ඉන්නට නොහැකි විය. වියරු කොටින්ගේ වෙඩි උණ්‌ඩයට මන්නා පහරට ලක්‌ව දිනෙන් දින සිංහල ජනයා රුහිරු ගංගාවන් මත වියළි වැලි පොළොව තෙත් කරමින් අවසන් සුසම් පොද වා තලයට මුසු කරන්නට වූහ.

අවසානයේදී වෙළෙහෙළඳාම් කටයුතු පමණක්‌ නොව ගේ දොර වතුපිටි හරකා බානද අතහැර ඔවුන් මඩකලපුව නගරයෙන් පිටව ගියේ පණ කෙන්ද බේරා ගන්නටය. තවත් පිරිසක්‌ මංගලගම, සින්නවත්ත, කෙවිලියාමඩුව ආදී මඩකලපුව නගරයෙන් ඈත ගම්වල සිට තම පණ නළ බේරා ගනිමින් යුද ගිනි දැල් මැද මහත් අසීරුවෙන් කොටින්ට බියෙන් රෑ පුරාවට වන පෙත්වල සැඟවෙමින් දිවි ගෙවන්නට වූහ.

මේ ආකාරයෙන් දහස්‌ ගණනක්‌ සිටි සිංහල ජනයා මඩකලපුව පුරවරයෙන් හිස්‌ව යද්දී මඩකලපුව නගරයෙන් ඈත ගම්මාන කිහිපයක අතළොස්‌සක්‌ ජනයා මරණය පෙනි පෙනී ජීවත් වන්නට වූහ. යුද්ධය නිර්මාණය වූයේ සාමයේ අරුණැල්ල ලක්‌ දෙරණට පතිත කරවමිනි. ඒ සාමයේ රිවි කිරණින් සැම දෙනාම නිදහසේ බියෙන් සැකයෙන් තොරව කල් ගෙවන්නට වූවෝය. කොටින්ට බියෙන් ගම්බිම් අත්හැර ගිය මඩකලපුව කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතාන ආදී ගම්මානවල ජනයා නැවතත් තම සුපුරුදු ගම් බිම්වලට පැමිණෙන්නට වුවෝය.

එසේ පැමිණි ජනයා පත්වූයේ අන්ත අසරණ භාවයටය. මෙම ගම්මාන අයත් පට්‌ටිපොළ, චෙංකලඩි, වව්නතිව් ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම ජනයාට උරුම වූයේ දිගින් දිගටම කෙණහිලිකම්ය. වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම ගම්වල ජනයා සමෘද්ධි සහනාධාරය ගන්නට, ග්‍රාම සේවක සහතිකයක්‌ ගන්නට, හැඳුනුම්පතක්‌ ලබාගන්නට නොහැකිව අන්ත අසරණව කල් ගෙවන්නට වූයේ උපන් බිමේ සිහලුන් වූ කරුමය නිසාවෙනි.

මෙවන් තත්ත්වයක්‌ යටතේ යහපාලන රජය පත්කර ගත්තේ බොහෝ දෙනකු මහා සුබවාදී ප්‍රාර්ථනාවන් හිතේ තබා ගෙනය. නමුත් සිදු වූයේ යහපාලන රජය බොහෝම අමාරුවෙන් කෙකරගාමින් දැමූ සහජීවනයේ බිත්තරය පුපුරා ගොස්‌ ආවා ගෘප් වැනි පාතාල කල්ලි බිහිව ජන ජීවිතය නැවතත් වියවුල් තත්ත්වයට පත්වීමය. නැත්නම් නැවතත් ඊළමට උඩගෙඩි දෙන කොටි රූකඩ පිරිවර චණ්‌ඩින් බවට පත්වීමය.

එවන් තත්ත්වයක්‌ යටතේ අද සිංහලකම ගැන මඩකලපුවේ සිංහලයන්ට සිදුවන මහා අසාධාරණය ගැන කතා කරන විට සහජීවන නඩයට නහුතෙට තද වන්නේය. ඉන්පසු කෙළවරක්‌ නොමැතිව ඒ සඳහා මැදිහත්a වන අයට ජාතිවාදී ලේබලය අලවමින් දිගින් දිගටම පහර දෙන්නට යහපාලකයෝ කටයුතු කරන්නේ එම ජනයා අන්ත අසරණ කරමිනි.

මේ දිග හැරෙන්නේ මඩකලපුව පුරවරයේ ගම් කිහිපයක පමණක්‌ දැනට ඉතිරිව සිටින සිංහල ජනයාගේ ශෝකාන්තයයි.

මංගලගම, කෙවිලියාමඩුව කොහොඹගස්‌තලාව ආදී ගම්මාන කිහිපයේ ජනතාව මේ වනවිට පත්ව ඇත්තේ අන්ත අසරණ භාවයකටය. කොටින්ගෙන් නොසෑහෙන්නට බැටකෑ මෙම පිරිසට අද අලි මදිවට හරක්‌ ද ජන ජීවිතයට බරපතළ තර්ජනයක්‌ එල්ලකර තිබේ. ඊට අමතරව මේ වන විට අධිකරණය" නම හරහා අනවසර පදිංචිකරුවන් යෑයි කියමින් මෙම සිංහල ජනයා ගම්වලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ ද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවෙමින් පවතී. වසර තිහ හතළිහක සිට වගාබිම් අද තණ භුමි බවට පත් කර සිංහලයා මඩකලපුවෙන් පන්නා දැමීමේ සියලු වැඩකටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. ඒ වෙනුවෙන් ඔවුන් නඟන හඬ ජාතිවාදී ලේබලයක්‌ අලවා යහපාලන ලොක්‌කන්ට පෙන්නා කටයුතු කිරීමට මඩකලපුව නිලධාරී පැලැන්තිය කටයුතු කිරීම තුළ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන තත්ත්වයක්‌ උද්ගතව ඇත.

එවන් අසරණ වූ මඩකලපුවට අයත් කෙවිලියාමඩුව සහ මංගලගම ගම්මානවලට ගිය විට අපට හමුවූ පී. බී. අමරදාස කීවේ මෙවනි කතාවකි.

"දැනට අවුරුදු පහකට විතර කලින් මංගලගම, කොහොඹගස්‌තලාව, කෙවිලියාමඩුව ආදී ගම්මාන කිහිපයක්‌ අයිsති වුණේ 135 ඒ ග්‍රාම සේවා වසමට. යුද්ධය තිබුණු කාලේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි, අපට රාජකාරි කටයුතු ඉටුකරලා දුන්නේ. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි, අපිට යුද්ධයෙන් පස්‌සේ රාජකාරි කටුයතු කරලා දුන්නේ. නමුත් මේ වන විට අපේ ගම්මානය පට්‌ටිපොළට, වෙල්ලාවලිවල, චෙංකලඩිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයිතියි කියලා අපේ ගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ කිහිපයකට බෙදා වෙන් කළා, මෙහෙම වෙන් කළාම ප්‍රාදේශීය සභා කිහිපයකටයි අපි එතකොට අයත් වෙන්නේ එතකොට අපිට වැඩි බලපෑමක්‌ ඒ අයට කරන්න පුළුවන්, ඒ කාලෙ ඉදලම මංගලගම සිංහල පවුල් 500 ක්‌ විතර ඉන්නවා. ඒ අය මේ ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොඨාස 03 කට බෙදුවහම අඩුම තරමින් එක සිංහලයෙකුටවත් ප්‍රාදේශීය සබාවට යවා ගන්න විදිහක්‌ නැහැ. මොකද මඩකලපුවේම ඉන්නේ සිංලයන් සුළු පිරිසක්‌. ඒ අතරින් මංගලගම තමයි වැඩියෙන්ම සිංහලයන් ඉන්නේ. එකට තමයි ඉන්නේ ජනතාව මේ ආකාරයෙන් වසම් 03 කට බෙදන්නේ යනුවෙන් අමරදාස පවසා සිටියේය."

"දැන් අවුරුදු ගණනක ඉඳන් හරක්‌ගෙන් පුදුම කරදරයක්‌ තියෙන්නේ හරක්‌ විසි තිස්‌ දහක්‌ නිතරම මෙම ගම්මානවල ගැවසෙනවා. සමහර පට්‌ටිවල හරක්‌ එක්‌ දහස්‌ පන්සීය ඉන්නවා. සමහර පට්‌ටිවල හරක්‌ ඉන්නේ දෙතුන් සීයයි. මේ හරක්‌ රංචුවලින් වගාවන් බේර ගන්න වැටවල් ගැහුවත් වැඩක්‌ නැහැ. උන් වැටවල් උඩින් පැනගෙන ඇවිත් වගා කරලා තියෙන සියලුම දේවල් කාලා විනාශ කරනවා. පුදුම කරදරයක්‌ තියෙන්නේ. උන් ආවාට පස්‌සේ මුළු වගාවම විනාශ කරනවා. අපිට අවුරුදු ගණනක ඉඳන් මොනවත් වගා කරන්න විදිහක්‌ නැහැ. අපි හරක්‌ පට්‌ටි අයිතිකරුවන්ට කීවා දවල්ට හරක්‌ ආවත් කමක්‌ නැහැ. රෑට හරක්‌ එවන්න එපා ගාල් කරන්න කියලා. ඒ මිනිස්‌සු ඒ මොනවත් අහන්නේ නැහැ. අපි අවුරුද්දම ජීවත් වෙන්නේ වැහි කාලේ හේන් කරලා. දැන් මේ ගම්මාන හත අටටම වෙලා තියෙන්නේa මහා කරදරයක්‌. වගා කරන්න බැරි නිසා පස්‌ කන්න තමයි අපට වෙන්නේ. අවුරුදු ගාණක්‌ ඉඳන් මේ හරක්‌ ගැටලුව පිළිබඳ අපි හතර වටේ තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට කියනවා. නමුත් ඒ එකෙකුටවත් අපේ දුක පේන්නේ නැහැ. සමහර ප්‍රාදේශීය ලේකම්ලටත් හරක්‌ පට්‌ටි තියෙනවා කියලා මිනිස්‌සු කියනවා යෑයි එච්. එම්. ජයතිලක සිය දුක අපත් සමඟ පවසා සිටියේය."

එසේ නම් වී තිබෙන්නේ පුදුම වැඩකි. මඩකලපුව පුරවරයේම හරක්‌ තණකොළ උලා කන්න පැමිණෙන්නේ මෙම මංගලගම, කෙවිලියාමඩුව අරන්තලාව ඇතුළුව ඒ ආසන්නයේ තිබෙන සිංහල ගම්මානවල ජනයා ජීවත්වන වගා භූමිවලටය. ජීවත් වෙන්නට තිබෙන එකම ආදායම් මාර්ගයත් සිව්පා ගවයන් උලාකා යද්දී මොවුනට ජීවත් වෙන්නට නොහැකි බව මෙම ප්‍රදේශ පාලනය කරන දෙපා ගවයන්ට නොදැනීම මඩකලපුවේ සිංහල ජනයාගේ අවාසනාවකි.

මේ කතාව කිවේ කෙවිලියාමඩුවේ ඒ. එම්. නිමල්සිරිය.

අපිට දැන් ඉන්න තැනක්‌ නැතිවෙලා. අපිට මෙහෙන් පන්නා දමන්න සියලු කටයුතු සිදු වෙමින් තිබෙනවා. 80 ගණන් වල යුද්ධය නිසා මේ කෙවිලියාමඩුවේ ජනතාව ඉඩම් අතහැර ගියා පණ බේරා ගන්න. යුද්ධය ඉවර වුණාට ආයිත් ආවම අපි අන්ත අසරණ කළා. අපි ඉන්න තැන්වලින් පදිංචිය අත්හැරලා ආවේ මෙහේ ග්‍රාමසේවක එන්න කියපු නිසා. නමුත් දැන් අපිට මෙහේ ඉන්න දෙන්නෙ නැතිව පන්නල දානවා.' අපේ ගමේ ඡන්ද අයිතිය තියෙන්නේ පවුල් පනහටයි. තවත් පවුල් 48 කට ජන්ද අයිතිය නැහැ. හුඟක්‌ දෙනකුට සමෘද්ධිය නැහැ. හැඳුනුම්පතක්‌ ගන්න විදිහක්‌ නැහැ. රැකියාවකට යන්න ග්‍රාමසේවක ලියුමක්‌ දෙන්නේ නැහැ. ශිෂ්‍යත්ව විභාගය පාස්‌ වුණ දරුවන්ට ශිෂ්‍යාධාරය ගන්න ග්‍රාමසේවක ආදායම් වාර්තාව දෙන්නේ නැහැ. මෙම ගමට වතුර නැහැ. ඔක්‌කොම ජීවත් වෙන්නේ කුලී වැඩක්‌ කරලා. හේනක්‌ කරන්නත් බැහැ හරක්‌ එන නිසා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැන් නඩු දාලා පවුල් 06 කට යන්න කියලා දැන් තියෙන්නේ. ඒ අය යන්න තැන් නැතිව දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ. තවත් පවුල් 18 කට නඩු දාන්න කටයුතු සුදානම් කරලා තිබෙන්නේ. මේ විදිහට මඩකලපුවෙන් සිංහල ජනයා පන්නන්න සියලු කටයුතු මේ වන විට සූදානම් වෙලා තියෙනවා යනුවෙන් තවත් දුක්‌මුසු හෙළිදරව්වක්‌ නිමල් පවසා සිටින්නට වූවේය.

ඩබ්. එම්. නන්දසිරි කීවේ මෙවැනි කතාවකි.

අලි එන නිසා අලි වැටක්‌ ගැසුවේ නිවාස ළඟින්මයි. අපි කීවාම වගාවත් ආරක්‌ෂා වෙන්න අලි වැට ගහන්න කියලා දේපළ ආරක්‌ෂා කරන්න අලි වැට ගහන්න බැහැ ජීවිත ආරක්‌ෂා කරන්නයි අපි අලි වැට ගහන්නේ කියලා ගෙවල් කිට්‌ටුවෙන්ම අලිවැට ගැහුවා. දැන් ඒ අලි වැට මායිම් කරගෙන අපි ජනතාව අවුරුදු තිහ හතළිහක්‌ භාවිත කළ ඉඩම් සියල්ලම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් තෘණ භූමි කරලා අපිව පන්නන්aන හදනවා. එතකොට අපි වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් හරක්‌ට දීලා අපි ජීවත් වෙන්නෙ කොහොමද? වසර තිහ හතළිහ වගා කළ කජු ගස්‌ දෙහි වැනි බෝග ඒ වතුවල තියෙනවා. මේ විදිහට උපක්‍රමශීලීව දෙමළ රාජ්‍ය කාර්යාලවල නිලධාරීන් අපිව පන්නන්න කටයුතු කරනවා. අන්තිමේදී අපි පවුල් පිටින් අන්ත අසරණ වෙලා ඉන්නවා. අපේ දුක අහන්න කවුරුවත් නැහැ. මේ දුක අපි විඳින්නේ මඩකලපුව සිංහලයෙක්‌ වුණ නිසයි. අද අපිට අපේ ඉඩම්වල වගා කරන්න බැරි වෙලා. ඉතිං අපි කොහොමද ජීවත් වෙන්නේ යනුවෙන් නන්දසිරි පවසා සිටියේය.

මෙම ගම්මානය හරහා යන අලිවැට වනාන්තර ප්‍රදේශයකින් කිසිවෙකුටත් හානි නොවන සේ ගැසීමට හැක. එසේ තිබියදී අලි වැට ගසා ඇත්තේ ගම මැද්දෙන්ය. ඒ මිනිසුන්ට අලින්ගෙන් ආරක්‌ෂා වෙන්නටය. නමුත් මෙම අලි වැට යන නිසා ඒ දෙපස නිවාස 28 ක්‌ පමණ අයින් කරන්නට බළධාරීන් මේ වන විට කටයුතු සුදානම් කර සිටින්නේ සියලු උපක්‍රම යොදවා මඩකලපුවෙන් සිංහලයා අතුගා දමන්නට බව යහපාලන ඔළු බක්‌කන්ට නොතේරුණු දෙයකි. තේරුණ ද තොත්ත බබාලා සේ සහජීවන වචනයට තුරුල්ව නපුංසක ලීලාවෙන් සිටිති.

මේ ආකාරයෙන් මඩකලපුවේ සිංහල ගම් කිහිපයේ සිටින ජනයාට නිමක්‌ නැති කරදරය. ලොකු ලොක්‌කන්aට කීවාට කිසිදු පලක්‌ නැත. එම නිසා ඉවසන්නට බැරිම වූ තැන පසුගියදා මහඔය අම්පාර මර්ගය හරස්‌ කරමින් මෙම පිරිස පැය කිහිපයක්‌ පුරා මහා විරෝධතාවක්‌ පවත්වන්නට වූහ. ඒ අවස්‌ථාවේදී සිංහල ජනයා අන්ත අසරණ කරන්නට කටයුතු කරන ග්‍රාමසේවකයකුට මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් තදින් දොස්‌ පවරන්නට වූයේ සිංහලයන්ට කරන අසාධාරණය නිසාය. ග්‍රාමසේවා නිලධාරිවරයාට බැණ වැදීම හේතුකොට ගෙන පසුගියදා පට්‌ටිපොල ග්‍රාමසේවා නිලධාරිවරු උද්ඝෝෂණයක්‌ පවත්වා න්නට වූහ. මුළු මඩකලපුවේම ග්‍රාමසේවා නිලධාරීන් කළු පටි බැඳ අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව දැඩි සංවිධානාත්මක විරෝධතාවක්‌ පවත්වන්නට වූහ. නමුත් මෙහි සිංහලයන්ට වන හානිය ගැන කතා කරන්නේ කවුද?

මඩකලපුවෙහි සිංහල ජනයාට ඇති එකම පිළිසරණ වන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සිය කටහඬ මෙසේ අවදි කරන ලදී. "අද මඩකලපුවේ සිංහල ජනයා අන්ත අසරණ වෙලා. සිංහලයන් මෙහෙන් පන්නා දමන්න සියලු උත්සාහයන් දරනවා. අපි ඒවාට මැදිහත් වුණාම සමහරු අපිට පිස්‌සු කියනවා. අපිට කිසි පිස්‌සුවක්‌ නැහැ. අපට තියෙන්නේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්‌කුමක්‌. රටක්‌ ජාතියක්‌ ගැන හැඟීමක්‌ නැති එකෙකුට මම පිස්‌සෙක්‌ විදිහට පේනවා ඇති. මෙහේ සිංහලයාට කිසිම වැඩක්‌ මෙහේ නිළධාරී කරලා දෙන්නේ නැහැ. ඒවාට මම පෙනී හිටියාම මම කතා කළාම ඔක්‌කොම හදන්නේ මාව මෙහෙන් පන්නන්න. එදා මංගලගමදී මම ග්‍රාම සේවකයකුට බැන්නා කියලා අද මඩලකපුවෙ උද්ඝෝෂණ කරනවා. මට රට ඉන්න කොටින්ගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් එනවා, මරනවා මරනවාමයි කියලා. මට තර්ජනය කරලා ආව දුරකථන අංක සීයකට වැඩිය පොලිසියට දීලා පැමිණිල්ලක්‌ දැම්මා, මේ ගැන පරීක්‌ෂණ පවත්වන්න කියලා. ලෝකයේ රටවල්වලින් කොටි තාමත් විනාඩියෙන් විනාඩිය කෝල් කරලා කියනවා "උඹ මරනවා" කියලා. සමහරු ප්‍රභාකරන් තාම මැරුණේ නැහැ. අපි අපේ සටන ජය ගන්නවා. කියමින් තර්ජනය කරමින් වීඩියෝ දර්ශන පවා දිගින් දිගටම එවනවා. මේ වන විට මාව මඩකලපුවෙන් ඉවත් කරන්න මාව මරලා දාන්න ලෝකය පුරා කොටි හිතවාදීන් කටයුතු කරනවා. ඒ මම මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් සෑම විටම පෙනී සිටින නිසා. අහිංසක ජනයා වෙනුවෙන් කිසිම වගකිවයුත්තෙක්‌ පෙනී නොසිටින වේලාවක මම කටයුතු කරන නිසා මාව ඔවුන්ට බාධාවක්‌ වෙලා. මොන දේ කිව්වත් මොන දේ කළත් මම මඩකලපුව දාලා යන්නේ නැහැ.

මම එදා යුද්ධය තිබ්බ කාලේත් මඩකලපුවේ සිටියා. මම හෙටත් කාටවත් බයේ පැනලා යන්නේ නැහැ. මම හෙටත් මඩකලපුවේ ඉන්නවා. මම එදා පටන් අහිංසක දෙමළ, මුස්‌ලිම් ජනයා සමගින් සුහදව කටයුතු කරනවා. නමුත් ඇතැමුන් උත්සාහ කරන්නේ නැවතත් ජාතිවාදී කලබල ඇතිකරලා යුද්ධයෙන් බැරිවෙච්ච දේ දැන් ඉටු කරගන්න. කවුරු මට මොනදේ කළත් මාව විනාශ කරන්න හැදුවත් මම මඩකලපුවෙ සිංහල ජනයා සහ අපේ උරුමය රැකගන්න කටයුතු කරනවා. රටට, දැයට ආදරය කරන ජනතාව මෙම තත්ත්වය පිsළිබඳව දැඩි අවධානයක්‌ යොමුකළ යුතුයි. මාසයක්‌ යන්න කලින් අපිට උත්තරයක්‌ උවමනා" යෑයි සුමනරතන හිමියන් "ඉරිදා දිවයින"ට අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය.

උපන් බිමේ කල්ලතෝනින්ව සිටින මෙම ජනයා ගැන ඇස්‌ ඇර නොබැලීම පිළිබඳව යහපාලන ලොක්‌කෝ ලැඡ්ජා විය යුතුය. මෙම අවනඩුව මහ උන්ට නොපෙනෙන්නේ මහ උන්ගේ ලැඡ්ජා නහරය සහජීවන නඩය කපා දැමීම නිසා යෑයි අපට සිතේ. යහපාලන සළුව හතර අතින් ඉරී ගොස්‌ හෙළුව වසා ගැනීමට දඟලන මොහොතක පාලකයන්ට මෙම අහිංසකයන්ගේ දුක පෙනේ දැයි අපටත් ගැටලුවකි. "බලපියව් මඩකලපුවෙ සිංහල ජනයා විඳින දුක" යෑයි කියන්නට අපට සිදුව ඇත්තේ එනිසාය.

සුසන්ත අමරබන්දු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.