ලොකු තාත්තාගේ පොරෝ පහරින්
සම්පත් මෙලොව හැරයයි


සිරිල් ජයසිංහ - ලුණුගල



ලුණුගල අරවාකුඹුර ප්‍රදේශයේ කා අතරත් "සම්පත් නමින්" හොඳ හිත දිනාගෙන සිටි සම්පත් සඳරුවන් රාජපක්‌ෂ සිය දිවියේ තරුණ වියේදීම අවසන් ගමන් ගියේ නොසිතූ විටෙක තම නිවසේම රැඳී සිට තමන්ට දරුවන් ලෙස සළකමින් සිටි ලොකු තාත්තාගේ පොරෝ පහරකිනි.

පසුගිය 7 වැනි දින සම්පත් සඳරුවන් රාජපක්‌ෂගේ (21) මව ආර්. කේ. ඩී. දම්පිනෝනා බිබිල පොළට උදෑසන පිටව ගියේ තම සැමියාද දෙවන දරුවාද සමඟය. දම්පිනෝනා බිබිල පොළට ගිය අතර ඔහුගේ සැමියා සුමනදාස සකස්‌ කිරීමට දුන් ජනෙල් රාමු කිහිපයක්‌ ගෙන ඒමට එම වැඩ පළටත් දෙවන දරුවා පෞද්ගලික පන්තියටත් ගොස්‌ තිබිණි.

නිවසේ රැඳී ඇත්තේ මියගිය සම්පත් සඳරුවන් නිශාන්ත රාජපක්‌ෂ (රෝහල්ගතව සිටින) සහ ඝාතනයට සැක කරනු ලබන ඔහුගේ ලොකු තාත්තා පමණි. සම්පත් හා නිශාන්ත පරිගණකයේ කටයුතු කරමින් සිටින අතරතුර ඔහුගේ ලොකු තාත්තා පිටුපසින් පැමිණ ඔවුන් දෙදෙනාට පොරවකින් කොටා ඇති අතර සම්පත් මිදුලේ මැරී වැටී ඇත. නිශාන්ත එම ස්‌ථානයෙන් බේරීමට පැන ගොස්‌ සිටියදී ප්‍රදේශවාසීන් ඔහුව රැගෙන බිබිල-බදුල්ල ප්‍රධාන මාර්ගයට ඔසවාගෙන පැමිණ ඇති අතර එම අවස්‌ථාවේදී බිබිල දක්‌වා ගමන් ගත් පෞද්ගලික වාහනයකින් නිශාන්ත බිබිල රෝහලට ගෙන ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇත. තුවාල ලබා සිටි නිශාන්ත බිබිල මූලික රෝහලෙන් බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙම ඝාතනයට සහ පහරදීමට හේතුව කුමක්‌දැයි මෙතෙක්‌ අනාවරණය වී නොමැති අතර මෙතෙක්‌ සැකකරු අත්අඩංගුවට ගෙන නොමැත.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්‌ පරිදි බිබිල පොලිස්‌ ස්‌ථානාධිපති අජිත් කේ. බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ කටයුතු සිදුවන අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සම්පතගේ මව හඬා වැළපෙන අයුරු හා මියගිය සම්පත් ඡායාරූපයෙන් දැක්‌වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.