සති අන්තයේ අධිවේගයෙන් මිලියන 26 1/2 ක ආදායමක්‌

අකිත පෙරේරා

පසුගිය සති අන්තයේ දීර්ඝ නිවාඩුවක්‌ යෙදීම නිසා අධිවේගී මාර්ගවලින් රජය ලද ආදායම රුපියල් මිලියන 26 1/2 කට (විසිහය හමාරකට) අධික බව අධිවේගී මාර්ග අධ්‍යක්‌ෂ එස්‌. ඕපනායක මහතා "දිවයින"ට පැවසීය.

මෙම වසර තුළ අධිවේගී මාර්ගවලින් ලද වැඩිම දිනක ආදායම පසුගිය සෙනසුරාදා (10 දා) වාර්තා විය. ඒ අනුව එදින දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ලද වාහනවලින් රුපියල් මිලියන 17.59 ක්‌ද කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 8.96 ක්‌ද උපයා ගෙන ඇත.

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට වාහන 67000 ක්‌ පමණ ගමන් ගන්නා නමුත් පසුගිය සෙනසුරාදා පමණක්‌ වාහන 91000 ක්‌ ගමන් කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව එදින එම මාර්ගයේ ආදායම මිලියන 11.5 සිට මිලියන 17.59 දක්‌වා ඉහළ ගිය බවද හෙතෙම පැවසීය.

කටුනායක අධිවේගී මාර්ගයේ සාමාන්‍ය දිනක ආදායම මිලියන 6.5 ක්‌ පමණ වන අතර, පසුගිය සෙනසුරාදා එහි ආදායම මිලියන 9.5 දක්‌වා ඉහළ ගිය බව අධිවේගී මාර්ග අධ්‍යක්‌ෂ එස්‌. ඕපනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.