සාහිත්‍යය විචාරය
සුසුමකින් සුළි සුළඟ - කාව්‍ය සංග්‍රහය ලක්‌ශාන්ත අතුකෝරළගේ -දොaනාවක බීඩි එළියක්‌-

කවිය ඇත්තේ කවිය තුළයි. කවිය යනු කවියායි. කවිය කෙටි හෝ දිගු කියා ගන්නා ප්‍රභේද කවියට සන්නාමයක්‌ පමණකි. ඒ ඒ විෂය අනුව කවිය නම් කරගන්නේ හඳුනාගන්නට ය. එය එයට පෙර කෙටි හෝ දිගු හෝ සඳැස්‌ හෝ නිසදැස්‌ විය හැකිය. ශ්ලෝක බිහිවූයේ එදා බමුණන්ගේ රාජකාරිය කරගෙන යැමට ය. ඒ අනුව ඔවුන් විසින් නිර්මාණය කරගත් දෙවියන්ට සේම රජවරුන්ට ද සුබපැතීම සහ ගුණ වැහීමටත් ශ්ලෝක යොදාගත්හ. ශ්ලෝකය එදා උගතුන්ගේ කිසියම් අනන්‍යතා ගුණයක්‌ දක්‌වන්නක්‌ වූයේ ය. එහෙත් බමුණන්ට අමතරව එදා සමාජයේ තවත් ජන කොටස්‌ සිටි අතර එම ජන කොටස්‌ අතර ද විවිධ සිතුවිලිධාරීන් සිටින්නට ඇත. ශ්ලෝකය සරල වී ලිහිල්ව යැමත් සාමාන්‍ය ජනයා තමන්ට අවශ්‍ය දේ කීමට මගක්‌ සෙවීමත් නිසා ශ්ලෝකයෙන් පසුව කවිය බිහිවූ බව අපට සිතන්නට නොහැකිද?

ඒ අනුව එම රූපාවලි ගැන්වීමේදී මුලින්ම බිහිවන්නට ඇත්තේ කෙටි කවි විය හැකිය. සීගිරි කුරුටු ගී වලින් සේම තවත් පැරැණි බොහෝ ගී කාව්‍ය වලින් ද අපට ඒ බව පැහැදිලි වෙයි. එහෙත් අනුරාධපුර යගයේ අවසන් භාගයේදී හා පොලොන්නරු යුගයේදී මෙන්ම කෝට්‌ටේ යුගයේදීත් අපට කෙටි නොවුනු කවි දැකගත හැකි වුව ද වෑත්තෑවේ හිමියන් කෝට්‌ටේ යුගයේදීත් කෙටි කවි ප්‍රිය කළ බව පෙනේ.

සංස්‌කෘත බසින් රචනා වූ ශ්ලෝක විටෙක බමුණන්ගේ පාණ්‌ඩි තත්ත්වය පෙන්නුම් කිරීමට යොදාගති. එහිදී අවශේෂ පාන්තික ජනයා පාලි බසට මාරුවීමත් පාලි බස වියත් බසක්‌ ලෙස නොසැලකීමත් නිසා ශ්ලෝක කවිය කරා ආ දුර ගමනක මූලාරම්භය සේ පෙනේ. මෙහිදී තවත් වැදගත් දෙයක්‌ බමුණු සමාජයේදී ම සිදුවන්නේ පාලි බස සිය සන්නිවේදන අවිය ලෙස ගෞතම බුදුන්වහන්සේ යොදා ගැනීමයි. එයින් අමතරව උන්වහන්සේ එතෙක්‌ පැවති බමුණු කුල උපමා උපමේය වෙනුවට සාමාන්‍ය දැසට පෙනෙන, හසුවෙන, භාවිත වන වස්‌තූන් ගත්තේ ය. මේ සියලු වෙනස්‌කම් කවියේ උපතට බලපාන්නට ඇත. ඒ අනුව තමන්ගේ කෙටි කවි කියා ලක්‌ශාන්ත අතුකෝරළ කවියා කරන හඳුන්වාදීම කවියේ ලඝූවක්‌ ලෙස සැලකිය යුතු නොවේ.

වර්තමානයේදී කෙටි කවි බෙහෙවින් සමාජගත වූයේ 'ජපන් හයිකු කවිය' හරහා ය.

'හයිකු කවිය' කෙටි වුව ද එය කිසියම් හරවත් ජීවන සංවාදයක්‌ ගැරී කරගන්නට තරම් එම කවීන් සමත් වූ බව පෙනේ. ඔවුහු කෙටි පද කීපයකින් ජීවිතයේ ගැඹුරු අර්ථයත්, දර්ශනයත් පාඨකයාට ඇසුරු කරන්නට ලබාදුන්නේ ය. එබැවින් ඇතැම් 'හයිකු කවි' ගැඹුරු ජීවන දර්ශනයක මහා ගැඹුරු ධර්මයක්‌ වූවේ ය. ශ්‍රී ලංකාවේදී අපට කෙටි කවි බොහෝ විට දක්‌නට ලැබෙන අතර එම කවිවලට ගැඹුරක්‌ එක්‌ කළ කවියා ලෙස ආරියවංශ රණවීර අමතක කළ නොහැකි ය. එබැවින් කවිය, යමක වූ ද අයමක වූ ද සදැස්‌ වුව ද නිසදැස්‌ වුව ද කෙටි වුව ද දිගු වුව ද කවියක්‌ නම් එය කවියම වෙයි. ඒ අනුව ලක්‌ශාන්තගේ මේ කවි කවිදැයි බැලීමේදි කවියා කවියට එකසේ ආදරය කරන්නා සේම විචාරකයා, පාඨකයා ද එම භාෂණයේ ඇති හරයම උකහාගත යුතු වෙයි.

නිර්මාණයක අන්තර්ගතය සේම ආකෘතිය ද වැදගත් ය. ආකෘතියේ හැඩතල අන්තර්ගතය විඳීමට කරන ඇරයුමකි. එහෙත් ඇතැම් පුවත්පත් පිsටු සකසන්නන් සේ අලංකාර පිටුවක්‌ සකසා (ඛ්හදමඑ) හරසුන් යමක්‌ එහි බහාලූ පමණින් පාඨකයා එය මිලට නොගනිති. එලෙසින්ම කවියා වුව ද වෙනත් නිර්මාණකරුවකු වුව ද අන්තර්ගතය අමතක කොට ආකෘතියෙන් පාඨකයා බැඳගත් පමණින් එම නිර්මාණයට දෙවැනි හා තුන්වැනි පාර්ශ්වයක්‌ අහිමි වන්නට හැකිය.

අද දවසේ කවිය තිරිහන් වෙමින් පවතින බව අප මෙයට පෙර ද පවසා ඇත. එය අන්තර්ගතයෙන් සේම ආකෘතියෙන් ද සිදුවෙයි. ඒ අනුව ලක්‌ශාන්ත සිය නව නිර්මාණය ද අමුතුම ආකාරයකින් අප වෙතට ඉදිරිපත් කොට ඇත. ඔහු සිය කෙටි කවියට සරිලන පොතේ ප්‍රමාණය ද තෝරාගන්නා අතර කෙටි කවියට විසල් අරුතක්‌ සොයාගන්නට කවියට වඩා ඉඩක්‌ සිතුවම්වලට ලබාදෙයි. ඔහුගේ කවිය කිසියම් විද්‍යාත්මක තහවුරුවකට මග පාදා ගැනීමක්‌ සේම කිසියම් සනාතනික ධර්මයක අභ්‍යන්තරය වටහා දීමට මුල පිරීමකි. දාර්ශනිකයකු වේවා, විද්‍යාඥයකු වේවා, සාමාන්‍ය මිනිසකු වේවා බොහෝ දේ ඇතිවන්නේ ඉතා පුංචි දෙයකින් බව සිය මූල භාෂිතයට එය යොදාගැනීමෙන් පෙනේ. ඒ අනුව සුසුම සුළිසුළඟක්‌ විය හැකිය. වැලි කැටය ගල් පර්වතයක්‌ විය හැකිය. පුංචි සිතුවිල්ල මහා වෙනසක ඇරඹුම විය හැකිය. එය කුමක අපට පසක්‌ කරන්නේ ද? සිල්ලරට කිසිවක්‌ අතපසු කරන්නට හෝ අමතක කරන්නට නොහැකිය.

කවිය අලංකාර කරන්නේ වචනවලිනි. එහෙත් වචන ගොඩක්‌ යනු කවියම නොවේ. එය කවියකි වචනවලින් පිරුණු ආකෘතියකට රචනා වූ විට, එහෙත් කවියාගේ හදෙහි පිබිදෙන හැඟුම වචන වන්නට පෙර මැටි පිඬක්‌ සේ ඇනී, තැලී, පොඩිවී, සියුම් වී එළිපන් කළ එය පාඨකයා විඳගන්නා තරමට කවිය කවියක්‌ වෙයි. තමා කියනා දෙය දැඩිකොට කීමෙන් සමහර කවීන් එය පාඨකයාගේ සිත ග්‍රහණය කරගැනීමට මගක්‌ වනු ඇතැයි සිතීම නිතරම නිවැරැදි නොවේ. එවන් ධ්‍රැවක පද වියතුන් ද බැහැර කර ඇතත් කවියාට එවන් උපක්‍රම ද යොදාගැනීමට සිදුවෙයි. මේ නිසාය පැරැණි කවීන් සාර්ථක කවියක්‌ යනු පාඨක 'මනක්‌ ස්‌පර්ශ' කරන්නක්‌ ලෙස යෙදුවේ. ඒ සඳහා ඔවුහූ වෘත්තය, තාලය, සරල බව, අව්‍යාජ භාවය හා අවබෝධනීයත්වය ලබාදීම වැදගත් බවට සැලකූහ. කෙටි කතාවකින් මේ සියල්ල කළ හැකිද? නොහැකි වන්නේ කවියකු නොවන අයකුට ය.

මේ ලක්‌ශාන්තගේ එක්‌ කවියකි. එය පළමු කවියයි.

"ඔබ පහසින්
සිහිල් වී ලාවා
ජීවිත ගිනි කන්ද
නොපිපිරී තිබුණා"

එහි ඇති අපබ්‍රංශයක්‌ නැත. අර්ථ විකෘතියක්‌ නැත. ආලවට්‌ටමක්‌ ද නැත. එහෙත් යමක්‌ ඇත. යමක්‌ ඇත්නම් එය කවියක්‌ ද? නැත එම යම දැනෙන පරිද්දෙන් ඉදිරිපත් කිරීමේ සාමාර්ථයට කවියාගේ කවීත්වය වෙයි. එහිදී ඔහු කෙටි වැනි පේළි හතරකින් පාඨකයාට, චමත්කාරය. සෞන්දර්යය සේම ජීවිතයේ රතිය මුහුන් වූ සෙනෙහෙවන්ත බව ද අපට දනවයි. එහෙත් එය සංක්‌ෂිප්තාර්ථය නොගැනීම නිසාම මේ කෙටි සිවු පේළිය මහා ලොකු කතාන්දරයක්‌ අපගේ හිත්වල අඳියි.

"ඇය එකල
මලක්‌ බව
සමනල්ලු
මට කියති" (3 කවිය)

මේ කවිය අපට බොහෝ දේ සිතන්නට ඉඩ හරියි. එමල තලා දැමුවේ කවියා ය. කවියා එමල තලන්නට පෙර (මන්ද එය මලක්‌ව තිබුණේ එකලය.) තලන්නට හෝ නෙළන්නට පෙර තවත් සමනල්ලු එය මලක්‌ බව දැන සිටියහ. මලක්‌ බව සමනල්ලු දන්නේ එහි රොන් තැවරී ඇති විටය. එහෙත් කවියා දැන් රොන් උරා බී හමාරය.

"මුහුණ ම් ළැම
නිතඹ නොව
දෙනෙත
පමණකි මතක" (6 කවිය)

"ඔෙරී කඳුළ
මහ වැවකි
එතෙර වී යා නොහැක" (11 කවිය)

"ලා රෝස
නෙළුම් පෙති
මතකයි
නොගැඹුරු පහස්‌ දුන්" (50 කවිය)

"අහස්‌ වියන යට
රහස්‌ සයන මත
නිරුවතින් සිත" (8 කවිය)

"මත් කරයි
ඔෙරී දෙතොල්
මධු බඳුන
ඔෙරී නෙත් කැළුම් දුම" (26 කවිය)

"පිච්ච සුවඳත්
ඇයව සිපගෙන
මටත් පෙර" (66 කවිය)

මිනිසා ප්‍රේමය, ආදරය, සෙනේහය කොතරම් නම් විඳින්නට කැමත්තේ ද යන්න නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වැඩිපුර බීජයක්‌ වන ප්‍රේමයෙන්ම පෙනේ. එය ව්‍යාධියක්‌ හෝ රැල්ලක්‌ නොව අසිරිමත් දේකි ලොව ප්‍රේමය නම් හා යන්න සැබෑ කිරීමක්‌. ලක්‌ශාන්තට ද සිය නිර්මාණ කුරුබිලියේ බොහෝ පන්නම් මවන්නේ ද ප්‍රේමය වෙයි. ඔහු ප්‍රේමය ගැන විරහව ගැන සේම සොඳුරු රතිය ගැන ද ප්‍රේමයෙන් කතා කරයි. මුළු ආත්මයත්, සංසාරයත් ආත්මීය වන්දනාවක්‌ බවට පත්කර ගත්තා වූ ප්‍රේමය පේළි කීපයකට කැටිකරන්නට හැකි නම් එය සැබෑම දක්‌ෂතාවකි.

ලක්‌ශාන්ත තැනෙක සිය ගේහසික (ගේහසික) ප්‍රේමය කියන්නේ ඉතා සුන්දරවය

"පිච්ච සුවඳත්
ඇයව සිපගෙන
මටත් පෙර" (66 වැනි කවිය)

වචන හයකින් ඔහු තවත් කියයි. එහි ව්‍යංගාර්ථය ද ඇත. රසය ද වෙයි. ලාලිත්‍යය ද ඇත. මාධුර්ය ද ඇත. ඖචිත්තය ද ඇත. එබැවින් ලක්‌ශාන්ත කෙටි වදන්වලින් බොහෝ දිගු කවි කියවයි. කවියක ගැඹුර රඳවන්නට මහා බැරෑරුම් වචන හෝ දිගු ලියමන් අවැසි නොවන්නේ නිර්මාණකරුවාගේ හැකියාව සහ පරිකල්පනයේ ඇති සාධනීය සෙයියාව නිසාය.

කවියාට ප්‍රේමයෙන් වියුක්‌ත වූ තැන ඇතතේ ද කිසියම් විරහවකි, ගැටුමක්‌, ආරෝවකි. ඔහු ඉන් නොකිපේය. එහෙත් ඔහුගේ වචන කිපීමේ, නිවීමේ හා රිදවීමේ අරුත් අපට කියා දෙයි.

"දොaනාව තුළ
දොaංකාර දෙයි
බීඩියක්‌
ඉල්ලන හඬ" (7 කවිය)

කවියකුගේ හෘදය කම්පනය වී ගත් පසු එයින් උපදනා ඔහු කළලය ඉනික්‌බිතිව අප හදවත්හි ප්‍රතිකම්පනය වී බිහිවෙන ඔහුගේ පරිකාල්පනික දරුවා අපි අපේම කරගන්නේ මෙවන් නිර්මිතයන්ගෙනි. මෙය කියවන හැබෑවට විඳින පාඨකයකුට ඒ අඳුර සමඟ සීතල හා විටෙක දැඩි උණුසුම ද මිතුරු කරගෙන සැඟව සිටින මරණයේ පුස්‌ගඳ සමඟ දොaනාව කපන කම්කරුවකු මොහොත අස්‌වැසිල්ලකට අනෙකාගෙන් දුමක්‌ ඉල්ලයි. එය බෙහෙවින් පාඨක හදවත උරාගන්නා නිර්මාණයකි. එසේම සහෘදයා තුළ වෙනමම කතාවක්‌ නිර්මාණය කරන්නකි.

මා එදා 'දිවයින බදාදා සංග්‍රහය' හරහා වත්මන් කවිය ඉසදිය එක්‌කරමින් සිටින බව කීවේ එනිසාවෙනි.

මගේ කියවීමේ හැටියට කවිය සාර්ථක වූ හැමතන්හිම එයට බෞද්ධ දර්ශනය මුහුන් වී තිබුණි. එසේම කවියේ මූලාරම්භයට ද බුදුන්වහන්සේගේ සරල, සුගම, සන්නිවේදන රටාව සහ උපයුක්‌ත භාෂාව බලපාන්නට ඇත්තාක්‌ සේම ලක්‌ශාන්තගේ ඇතැම් කවිවල බුද්ධ ධර්මයේ සුවඳ මත එතීගිය දැක්‌ම ද බලපානා බව පෙනේ.

පොකුණු දිය මතින්
ඇහිඳගත්
බෝ පත මත
කුහුඹුවෙක්‌ (82 කවිය)

මා ඔහුගේ කවියට බුදු දහම මුහුවී ඇති බව කීවේ බෝපත අල්ලාගෙන නොවේ. එහෙත් ඔහු එය සංකේතයකට ගෙන සංසාර සාගරයේ ඇවිද යන මිනිසා එහි ගිලී මියනොගොස්‌ ඉන් එතෙරවීමට නම් කළ යුත්තේ හරි අවබෝධය ලබාගැනීම බව කියා පායි.

නිර්මාණකරුවකුට තමන්ගේ හැම නිර්මාණයක්‌ම දරුවෙකි. එහෙත් ඒ දරුවන් අතර යහපත් ලෙස වර්ධනය වන්නා වූ ද භාගෙට වර්ධනය වූ ද අකලට පැසී ගියා වූ ද කෙසේවත් නොහැදෙන්නා වූ ද දරුවෝ වෙති.

ඒ ලෙසම නිර්මණකරුවකුගේ සියලුම නිර්මාණ එක ලෙස සාර්ථක නොවේ. පාඨකයාව තෘප්තිමත් නොකරයි. එය සිදුවීමේ හේතු රාශියක්‌ බලපායි.

ලක්‌ශාන්තට ද සමහර කවි ලිවීමේදී මෙය ලිවිය යුතුමයි යන සිතුවිල්ල ද එයට ඔහුට තේරුණාට අනෙකාට නොතේරුණ වග නොසිතීම ද ඔහු එය වින්ට අනිකාට එය විඳගන්නට නොදැනීම ද ඇතිවිය හැකිය යන්න සිතුවා නම් මේ කවිවල සාර්ථකභාවය තවත් ඉහළ යයි. එය එසේ නොවුණත් කවියට ලක්‌ශාන්ත සිදුකරන සාධාරණය සහ කවිය සමඟ කරන ගනුදෙනුව ද අපට ලබාදෙන අස්‌වැන්න ද හුඟක්‌ කටුඅතු ඇගිටි හා බොල්වලින් අඩුය.

චම්මින්ද වෙලගෙදර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.