බෝගස්‌වැවට තවත් ප්‍රශ්න බොහෝය....
සිංහල නියෝජනයක්‌ නැති උතුරේ ඇත්ත කතාව බෝගස්‌වැව ගමට ඇවිත් බලන්න

කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් සිය ලේ කඳුළු දහදිය හෙලූ රණවිරුවන් ඇතුළු සිංහල ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් වෙනුවෙන් රජය ඉදිරිපත්වනු ඇතැයි කියාය. ඒ සඳහා සිය වාස භූමි වල නැවත පදිංචි කිරීම සිදුවනු ඇතැයි උදක්‌ම ප්‍රාර්ථනා කළහ. නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයකි. ඉන්දීය රජයේ අවශ්‍යතාවය මත කටයුතු කළ රජය සිංහලයන් පදිංචි කිරීමට මැළිකමක්‌ දැක්‌වීය. හමුදා කඳවුරු මේ ප්‍රදේශ වල තිබීම පවා ජාත්‍යන්තරව විවේචනයට ලක්‌ වී ඇති අතර මෑතකදී යහපාලන රජය බලයට පත්වූ පසු හමුදා කඳවුරු සියල්ල ඉවත් කළ යුතු යයි විග්නේශ්වරන් සහ සම්බන්ධන් යන දේශපාලකයන් දෙදෙනාම පවසති. නමුත් සිංහල ජනතාව වෙනුවෙන් රජය කිසිම ආකාරයකින් හඬක්‌ මේ වනතුරු නඟා නොමැත. සිංහලයන් නැවත පදිංචි කරලීමේ දී නොයකුත් නීති රීතිවලට යටත් කොට ඔවුන් අධෛර්ය කිරීම දිගින් දිගටම සිදු විය.

අපගේ ප්‍රස්‌තූතයට ලක්‌වන්නේ වවුනියා දකුණට අයත් කැලෑ බෝගස්‌වැව ගම්මානයයි. මෙම ගම්මානය පදවි පරාක්‍රමපුරයට කි.මී. පහළවක්‌ පමණ දුරින් පිහිටා ඇත. වවුනියාවට කි.මී. තිස්‌පහකි. කැලෑබෝගස්‌වැව වර්තමාන නාමල්ගම වර්තමාන සැලලිහිණිගම සහ පෙරිය පුලියන්කුලම නොහොත් නන්දිමිත්‍රගම යන ගම්මානයන්හි හඳුනාගත් සෙල්ලිපි ගණනින් තිස්‌හයකි. ගල්කණු සහිත නටබුන් රාශියකි. කැලෑබෝගස්‌වැවට උතුරින් කොච්චාන් චාමලන් කුලම් නොහොත් වර්තමාන සපුමල්ගස්‌කඩ ගම්මානයෙහි විහාර ආරාම සංකීර්ණ සහිත පුරාණ නටබුන්ව ගිය මහ වැවක්‌ දක්‌නට ඇත. ජනප්‍රවාදය අනුව දළදා වහන්සේ වැඩම කළ ගමන් මාර්ගය මේ ඔස්‌සේ විහිද තිබී ඇත. ඒ අනුව ක්‍රි. පූ. කාලයේ පටන් සිංහල ජනතාවගේ වාසභූමියක්‌ වශයෙන් මේ ප්‍රදේශය හඳුනා ගන්නට හැකිය. නමුත් උතුරු පළාතෙන් ක්‍රමානුකූලව සිංහල ජනතාව දකුණට තල්ලු වන කල්හි වනගතව තිබූ ගම්මාන කීපයක ඇරුණු කොට සිංහලයන්ගේ ජනාවාස දක්‌නට නොවීය. එහෙත් මාස්‌ කන්නයට හේන් ගොවිතැන් කිරීමට යන සංක්‍රමණික ගොවීන් වරින් වර තම ජනාවාසයන් හෙළි පෙහෙළි කර ගත් බව පෙනේ.

වසර තිහක්‌ පමණ ඇදී ගිය කොටි ත්‍රස්‌තයන්ගේ යුද්ධයේදී මේ ප්‍රදේශයේ ජනතාව පමණක්‌ නොව වැලිඔය පදවි ශ්‍රී පුර, පිරප්පන්මඩුව, මඩු කන්ද, මා මඩුව ද වවුනියාවේ සිටි සිංහලයන් ද අවතැන් වූහ. 1980 ගණන් වලදී නෙවිල් ජයවීර දිසාපතිවරයා විසින් වවුනියා නගරයට නුදුරින් තේක්‌ක වත්තේ තනන ලද සිංහල ජනපදය පවා ඇතැම්විට සිංහල ජනතාවගෙන් තොර විය. නමුත් යුද්ධයෙන් පසුව මේ ප්‍රදේශවල දෙමළ ජනපදකරණය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය විය. මුස්‌ලිම් ජන පිරිස ද සිය මුල් ජනාවාසවලට අමතරව අලුතින් ප්‍රදේශ අත්පත් කර ගැනීමේ යෙදී සිටියහ. එහෙත් 2012 වැනි විට යාපනය මන්නාරම වැලිඔය කිලිනොච්චිය සහ වව්නියා දිස්‌ත්‍රික්‌කයන් තුළ නැවත පදිංචිය ට පැමිණි සිංහලයන්ගේ ගණන ඉතාමත් සීමිත විය. පැමිණිය ද සිය මුල් ඉඩම්වල ඔප්පු විනාශ වීම නිසා පදිංචිය සනාථ කළ නොහැකි විය. ඇතැම් ඉඩම් කොටි මහ විරු පවුල් විසින් අත්පත් කර ගෙන තිබුණි. 1971 ජන සංගණනයේදී උතුරේ පමණක්‌ සිංහලයන් හතළිස්‌ දහසකට ආසන්න සංඛ්‍යාවත් ජීවත්ව සිට ඇත.

මේ තත්ත්වය තුළ නැවත පදිංචි කිරීම් අමාත්‍යංශය යම් විධිමත් වැඩපිළවෙළක්‌ දියත් කළ යුතුව තිබුණි. එහෙත් මෙම අමාත්‍ය ධුර දැරූ අන්‍ය ජාතිකයන් කිසිවෙක්‌ එවැනි විධිමත් වැඩපිළිවෙළකට අත නොතැබූහ. වරක්‌ එම තනතුරට පත් වූ එක්‌ සිංහල ඇමතිවරයකු සිංහල ජනතාවට පවසා ඇත්තේ යළිත් එම ප්‍රදේශවලට නොයන ලෙසයි. කෙසේ වෙතත් යුද්ධයෙන් පසු මෙම ගැටලුවට උපක්‍රමශීලි විසඳුමක්‌ ලබා දීමට පසුගිය රජය යම් උත්සාහයක්‌ දරන ලද්දේය. එහි සංකල්පය සැබවීන්ම ගෝඨාභය රාජපක්‌ෂ සතු විය. සිය ආරක්‌ෂක අංශ වල සම්පූර්ණ ශක්‌තිය යොදවා නැවත පදිංචි කිරීම් කාර්යක්‌ෂම කිරීම එහි අරමුණ විය. ඒ අනුව 2011 වසරේ වවුනියා දකුණට වන්නට බෝගස්‌වැව පුරාණ ගම්මානය නැවත පුනරුත්ථාපනය කිරීමට හමුදාවට හැකි විය. මඩුකන්ද මා මඩුව මාර්ගය කැලෑ බෝගස්‌ වැව දක්‌වා පුළුල් කිරීමටත් අනතුරුව කිට්‌ටගල් ඔය හරහා පාලමක්‌ දැමීමෙන් පදවි පරාක්‍රමපුරට යාකිරීමත් සිදු විය. මෙම වැඩ කටයුතු භාරව තිබුණේ කොක්‌ එළිය පණස්‌හය වන සේනාංකයටයි. එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් රණවක මහතාගේ අධීක්‌ෂණයත් වුවමනාවත් මත ඉතා කඩිනමින් කැලෑබෝගස්‌වැවට යාබද පෙරිය පුලියන් කුලම දක්‌වා කට්‌ටි කඩන ලද ඉඩම් වල නැවත පදිංචි කිරීම් ඇරඹුණි. එම ගම්මාන වල 2013 වසර වන විට පවුල් 2666 ක්‌ පදිංචි කර තිබුණි. වර්තමානය වන විට පවුල් දෙදහස්‌ හත්සීයකි. ඒවා බෝගස්‌වැව අංක දෙක නාමල් ගම් සැළළිහිණිගම සහ නන්දිමිත්‍රගම (නන්දිමිත්‍ර යෝධයා උපන් ගම) වශයෙන් නම් කෙරුණි.

මෙම නැවත පදිංචි කිරීම ආරම්භ කරන අවස්‌ථාවේදී ඒවාට කිසිම මුදලක්‌ රජයෙන් වෙන් කර නොතිබුණි. නමුත් පසුව නැවත පදිංචි කිරීම් කාර්ය සාධක බළකායක්‌ පිහිටුවා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් වෙන් කරන ලද මුදල් මගින් අධ්‍යාපන යටිතල පහසුකම් ජලය සහ විදුලිය ලබා දෙන ලදී. මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණයට මැදිහත් වූයේ එවකට ජනාධිපති උපදේශකව සිටි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ය. හමුදාව මැදිහත් වී කැලෑබෝගස්‌වැව රුවන් මඩුව මෙන්ම රඹවිටි කුලම වැව් ප්‍රතිසංස්‌කරණය කරන ලදී. එයින් කැලෑබෝගස්‌වැව ගම්වාසීනට අවශ්‍යම කුඹුරු ඉඩම් නැවත ලබාදෙන ලදී. මෙම ගම්වාසීන් ගේ ඉඩම් සහ හිමිකම් තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ පවතින ප්‍රධාන ගැටලුවක්‌ වී තිබුණි. වවුනියා දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත්ව තිබුණ ද හමුදාව ප්‍රධාන කොට නැවත පදිංචි කිරීම් කළ බැවින් ගම්වාසීන්ගේ තොරතුරු සියල්ල ක්‍රමානුකූලව රාජ්‍ය නිලධාරීන් අතට පත්ව නොතිබුණි. දැනට මේ සෑම ගමකටම ග්‍රාම නිලධාරිවරයකු පත් කොට ඇති නමුත් ඔවුන් කරන රාජකාරි සියල්ල සීමිත පරාසයකට පැතිර පවතී. මේ තත්ත්වය තුළ ඉඩම් බලපත්‍ර ලබා දීම වැනි කටයුතු මහවැලි අධිකාරිය යටතේ ඉටු කිරීම රජයේ බලාපොරොත්තුව විය. ඊට හේතුව පැරණි මහවැලි සැලැස්‌ම යටතේ මෙම ප්‍රදේශ මහවැලි එල් කලාපයට අයත් වීමයි. එය 1978 මහවැලි අධිකාරිය ගැසට්‌ කිරීමේදී ගන්නා ලද පියවරකි. ඒ අනුව ලංකා භූමියෙන් තුනෙන් එකක්‌ මහවැලි භූමි ප්‍රදේශ ලෙස පිළිගැනුමකට ලක්‌ව ඇත. මේ වන විට මේ බලපත්‍ර සකස්‌ කර නමුත් බෙදා දීම නොකර තබා ඇති බව දැන ගන්නට තිබේ.

මේ අතර 2015 අගෝස්‌තු 21 (අංක 1928/26) ගැසට්‌ පත්‍රයක්‌ මගින් මෙම ප්‍රදේශවල කොට්‌ඨාස නිර්ණයද සිදු කර තිබේ. දැනට උතුරු මැද පළාත අවසන් වන්නේ බෝගස්‌වැව ආසන්නයෙනි. මේ යටතේ ප්‍රතිසංස්‌කරණය කරන ලද පිරප්පන් මඩුව සහ රුවන් මඩුව යන වැව් දෙකම අයත් වන්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයටයි. මේ තත්ත්වය යටතේ සීමා නිර්ණය තුළ සිදුව ඇත්තේ මෙම ගම්මාන පහ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස පහකට කඩා දැක්‌වීමයි. ඒ අනුව මෙම ගම්මාන පදවිය ප්‍රාදේශීය සභාව වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාව කැබිතිගොල්ලෑව සහ නෙදුන්කේණි වශයෙන් බෙදා දක්‌වා ඇත. දැනට වවුනියාව දිස්‌ත්‍රක්‌කයේ තිබෙන බෝගස්‌වැව එක සහ දෙක අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පදවියට සහ කැබිතිගොල්ලෑවට කඩා ඇත.නාමල්ගම සහ සැළලිහිණි ගමෙන් කොටසක්‌ වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවට අයත්ව තිබේ.නන්දිමිත්‍ර ගම අයත්ව තිබෙන්නේ මහකච්චකොඩි කොට්‌ඨාසයටයි. මෙලෙස සීමා නීර්ණය කිරීම පිටිපස තිබෙන්නේ දෙමළ ජාතිවාදී වුවමනාවකි. විග්නේශ්වරන් ගේ ඉල්ලීම ඉටු කිරීමකි. මහකච්චකොඩි සීමාවේ සිට කිට්‌ටගල් ඔය සීමාව දක්‌වා එක දිගට දිවෙන ගම්මාන පහ නොයෙකුත් සභාවලට කඩා දැක්‌වීම නිසා උතුරු පළාතට සිංහල නියෝජනයක්‌ කිසිදා ඇති නොවනු ඇත. මෙම ගම්මාන පහේම දැනට චන්ද නවදහසකට අධික සංඛ්‍යාවක්‌ තිබේ. ඒ සියල්ල එහිදී තව දුරටත් අපතේ යනු වැළැක්‌විය නොහැකිය.

පසුගිය අවසාන පළාත් පාලන ඡන්දය අවස්‌ථාවේදී මෙම ගම්මාන වල ජනතාවට ඡන්ද බලය හිමිව තිබූයේ නැත. මෙම නිසා උතුරු පළාත් සභාවට ලැබීමට තිබූ තවත් සිංහල ආසනයක්‌ අහිමි ව ගියහ. ඔවුන්ට ඡන්ද බලය ලැබුණේ 2015 ජනපතිවරණය අවස්‌ථාවේදීය. එහිදී ඔවුහු ඡන්ද භාවිතා කොට තිබුණේ වවුනියා දිස්‌ත්‍රික්‌කය වෙනුවෙනි. මෙම ප්‍රශ්නය මත වවුනියාව මහ දිසාපති තුමා මෙන්ම ප්‍රාදේශීය ලේකම් තුමාද යම් ගැටලුවක සිරවී ඇති බව නිසැකය. මෙම ගම්මාන පහේ ජීවත් වන ජනතාවට මූලික අයිතිවාසිකම් පවා අහිමි වී තිබේ. ඇතැම් රාජකාරි කටයුතුවලට නෙදුන්කේණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියද එහි කිසිත් තොරතුරක්‌ දක්‌නට නැත. යැමට පහසුමාර්ගයක්‌ ඇත්තේද නැත.බෝගස්‌වැව සිංහලයන් කල්ලතෝනීන් බවට පත් කිරීම වෙනුවෙන් සිංහල මැති ඇමැතිවරු පමණක්‌ නොව ජනාධිපති අගමැති ද වගකිව යුතුය. එසේම උතුරු පළාතෙන් එළවා දමන ලද සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයන් වවුනියා දිස්‌ත්‍රික්‌කය තුළ නැත. අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සිය ජනතාව නැවත පදිංචි කරලීම උදෙස උපරිම ශක්‌තිය යොදවද්දී සිංහල දේශපාලකයන් මෙම ජනතාව පිළිබඳව ගත යුතු පියවරයන් පිළිබඳ දක්‌වන්නේ උදාසීන පිළිවෙතකි.ඒ වෙනුවට ඔවුන් සියල්ල සිය වාසිය වෙනුවෙන් රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා ගේ පස්‌සේ වැටී සිටින බව නොරහසකි.

මතුගම සෙනෙවිරුවන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.