Divaina - වැදි ප්‍රජාවේ අධ්‍යාපන ක්‍රියාවලිය

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 
 ආර්. නයෝමි හර්ෂනී
 කොළඹ විශ්වවිද්‍යාලය
 
 

vedda
 වාසගම්
 
වැදි භාෂක ප්‍රජාව සම්බන්ධව සමාජයේ විශද ලෙසත් අනන්‍ය ලෙසත් ගොඩනැඟෙන අංගයක්‌ වනුයේ ඔවුන් පාරම්පරිකව භාවිත කරන ලද පුද්ගල නාම හා වාසගම් සමූහයයි. වැදි වාසගම් විග්‍රහ කිරීමේ දී ප්‍රබල විස්‌තෘතියක්‌ සහිතව මෙන්ම සුවිශේෂී ස්‌වලක්‍ෂණ සහිතව වැදි භාෂක සමාජය තුළ භාවිතවන බව පෙනේ. ඒ අනුව වැදි ජනයා වාසගම සඳහා භාවිත කරන්නේ වරිග යන නාමයයි. ලංකාවේ අනාදිමත් කාලයක සිට ජීවත් වන මිනිසාගේ ද බෙදීමක්‌ ඇත. එය වරිග බෙදීම වශයෙන් නම් කළ හැකිය. මෙම වරිග බෙදීම යම්කිසි පුද්ගලයෙකු උසස්‌ ලෙස ද තවත් අයෙකු පහත් ලෙස ද බෙදා වෙන් කිරීමක්‌ නොවන බව පැහැදිලි වේ. විවිධ අවස්‌ථාවල විශේෂ සිදුවීමක්‌ අළලා වරිග නම් කිරීම කර ඇත.
 
 පොත් පත්වල සඳහන් වන පරිදි ඈත අතීතයේ දී වරිග රාශියක්‌ තිබිණි. එහෙත් වරිගවලට ආදිවාසී ජනයා වර්ග කර තිබුණ ද පසු කාලීනව එවන් පරපුරවල් සොයා ගැනීම පවා දුෂ්කර වී ඇත. වඩා ප්‍රචලිත වරිග 7 ක්‌ තිබුණ ද වර්තමානයේ දඹාන තුළ හඳුනාගත හැකි වරිග 4 මෙසේය.
 
 1. ඌරු වරිගය
 
 2. තලා වරිගය
 
 3. මොරාන වරිගය
 
 4. උනාපාන වරිගය
 
 මේ වරිග නාම ප්‍රභවය වූයේ මෙසේය.
 
 ඌරු වරිගය
 
 ඌරන් විසින් හාරන ලද වළවල් බහුලව තිබුණ ප්‍රදේශයක දී ඌරකු හාරන ලද වළේ බිහි වූ දරුවාගෙන් පැවතුන පරම්පරාව ඌරු වරිගය විය. වත්මන් ආදිවාසී නායකයාගේ පරපුර ද ඌරුවරිගයෙන් පැවත එයි.
 
 තලා වරිගය
 
 තලාව යනු වෙල්යායයි. ඌරු වරිගයේ ආරම්භය මෙන්ම එක්‌ ගැබිනි කාන්තාවකට වෙල් යායක දී දරු ප්‍රසූතියක්‌ වී ඇත. එම දරුවාගෙන් පැවත එන පරපුර තලා වරිගය නමින් ප්‍රසිද්ධ විය. ආදිවාසී ජනයා අතර ඌරු වරිගය මෙන්ම තලාවරිගය ද ජනප්‍රියය. වත්මන් ආදීවාසී නායකයාගේ පියා වන තිසාහාමි ලැත්තන්ගේ මව ද තලාවරිගයට අයත්ය.
 
 මොරාන වරිගය
 
 මොරගස්‌ යට විසූවන් මොරාන වරිගය ලෙස නම් විය. එසේම මොරගෙඩි අවාරයක දී එක්‌ ආදිවාසී නිවසකට රටේ රඡ්ජුරුවෝ පැමිණ ඇත. ඔහුට කෑම සඳහා දීමට කිසිවක්‌ නැති නිසා මී පැණිවල බහා තිබූ මොර කෑමට දී ඇත. එලෙස රඡ්ජුරුවන්ට මොරවලින් සංග්‍රහ කළ පරපුර එතැන් පටන් මොරාන වරිගය ලෙස නම් කරන ලදී.
 
 උනාපාන වරිගය
 
 එක්‌තරා නියං සමයක රටේ රඡ්ජුරුවෝ කැලේ ඇවිද යන සමයේ දී ආදීවාසී නිවසකින් බීමට ජලය ඉල්ලා ඇත. නමුත් ජලය සොයා ගැනීමේ දැඩි අපහසුතාවක්‌ විය. පොළවෙහි ජලය එක්‌ වී ඇති ස්‌ථානයකට රජුගේ උඩ ඇඳුම ගලවා දමා එයට වතුර උරා ගත් පසුව එම ජලය ර-ජුරුවන්ගේ දෝතට මිරිකා බීමට සලස්‌වා ඇත. එම අපහසු වූ කාර්යය ඉටු කරමින් ඇඳුමට උනාගත් ජලය පානය කිරීමට සලසා දුන් පරපුර එදවස පටන් උනාපාන වරිගය නම් විය. වත්මන් ආදීවාසීන් අතර උනාපාන වරිගයේ ජනයා ද බහුලව දඹානේ ජීවත් වෙති.
 
 වැදි සමාජයේ එකිනෙක පුද්ගල නාම සමාජය වෙනස්‌වීමේ තරම තේරුම් ගැනීම සඳහා ඉවහල් වේ. නම් ගම්වල සිදු වී ඇති පරිවර්තනය මේ සඳහා හොඳම නිදර්ශනය වේ. කාලයක්‌ තිස්‌සේ තම වරිගයේ නාමය මුලට යොදා ගනිමින් නාම සකසා ගත් බව හඳුනාගත හැකිය. අතීතයේ දී වැඩිහිටි පරම්පරාවේ භාවිත කළ පැරණි නම් ලෙස නීලා, ගොඹිරා, බොන්දා, සෙල්ලී, වල්ලී යන නාම හඳුනාගත හැකිය.
 
 මැදිවියේ පසුවන්නන්ගේ නම් ලෙස කිරා, පුංචා, හුදු බණ්‌ඩා, සුවඳි, පිංචී යන නාම යොදා ගෙන ඇත. පුද්ගල නාම වරිග නාම ග්‍රාම නාම හැඳින්වීමේ දී ප්‍රබලව පෙනෙන බාහිර සාධක මත සලකා වචන නිපදවා ගැනීමේ සරල ක්‍රමය වැද්දන්ගේ ආවේණික ලක්‍ෂණයකි. වර්තමානයේ සිංහලයන් සේ නම් ගම් යොදා ගන්නා බව දැකගත හැකිය. සිංහලයන් සමඟ මිශ්‍රණය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස නම් ගම් පවා ශීඝ්‍ර ලෙස වෙනස්‌වීමකට ලක්‌ වී ඇති බව පැහැදිලිව පසක්‌ වේ.
 
 රැකියාවේ තත්ත්වය සහ ආර්ථිකය
 
 වැදි ජනයාගේ රැකියා තත්ත්වය හා ආර්ථිකය යන කරුණු සලකා බැලීමේදී මේ ජනතාව ඈත අතීතයේ දී කිසිදු රැකියාවක්‌ සිදු නොකළ අතර වන සතුන් සමඟ වනයේ දිවි ගෙවූහ. වැද්දන්ගේ අවශ්‍යතාවන් සීමිත වූවාක්‌ මෙන්ම පරිහරණය කළේ සීමිත මෙවලම් කිහිපයකි. ඒ නිසාම අදහස්‌ ප්‍රකාශ කිරීමේ දී පවා අවශ්‍ය වූයේ සීමිත වචන ප්‍රමාණයකි. විවිධ පුද්ගලයන් සහ විවිධ ආයතන වැද්දන් ශිෂ්ට සම්පන්න කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ අතර වැද්දන් විවිධ ස්‌ථානවල පදිංචි කරවීම හඳුනාගත හැකිය. 1933 න් පසු කැලය වැද්දන්ට තහනම් කලාපයක්‌ වූ බැවින් වනයේ සිට විවිධ ස්‌ථානවල වැදි ජනයා පදිංචි කරන ලදී.
 
 වැද්දන් ජීවත් වූ ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය එහි කටයුතු හේතුවෙන් කැලෑ එළි පෙහෙළි විය. විශාල ඉඩම් ප්‍රමාණයක්‌ ගොවිතැනට යොදා ගත් නිසා අවතැන් වූ වන සතුන්ට ජීවත්වීම සඳහා මාදුරුඔය අභය භූමිය ප්‍රකාශයට පත් කළේය. 1983 දී මාදුරුඔය අභය භූමිය ආරම්භ වීමත් සමඟ එහි සිටි වැදි ජනයාට උන්හිටි තැන් අහිමි විය. මේ නිසා වැදි ජනයා විවිධ ස්‌ථානයන්හි රජය විසින් පදිංචි කරන ලදී. මේ නිසා වැදි ජනයා වැඩි වශයෙන් කෘෂි කර්මාන්තයට යොමු විය. එහෙත් ඒවායෙන් තම ආර්ථිකය පිරිමසා ගැනීමට නොහැකි වූ විට එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා දඩයම හා මී පැණි ආදී වන ද්‍රව්‍ය රැස්‌ කර විකිණීම සිදු කරයි.
 
 දඹාන වසමෙහි විවිධ රැකියා කරන පිරිස්‌ වර්තමානයේ හඳුනාගත හැකිය. රජයේ රැකියාවේ නියුක්‌ත පිරිස්‌ වර්ධනයක්‌ පෙන්නුම් කරයි.
 
 ගුරු වෘත්තිය
 වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ රැකියා
 ත්‍රිවිධ හමුදාවේ සේවා නියුක්‌ත පිරිස්‌
 වෛද්‍යවරුන්
 
 පෞද්ගලික අංශයේ සහ ඇඟලුම් ක්‍ෂේත්‍රයේ කාන්තා රැකියා නියුක්‌තියේ වර්ධනයක්‌ දැකගත හැකිය. වැදි කාන්තාවෝ විදෙස්‌ රටවලට ගොස්‌ විදේශ විනිමය ද උපයති. ස්‌වයං රැකියා සහ පාරම්පරික වඩු කර්මාන්තය, ඉදි කිරීම් අංශයේ රැකියා කරන විශාල පිරිසක්‌ කොළඹ අවට වැඩ බිම් ආශ්‍රිතව රැකියා කටයුතුවල නිරත වේ. කෘෂි කර්මාන්තයේ දියුණුවක්‌ දඹානෙහි හඳුනාගත හැකි අතර හේන් වගාව සහ වී වගාව බහුල වශයෙන් සිදුවේ. අතීතයේ මෙන්ම වර්තමානයේ ද වැඩිම පිරිසක්‌ නියෑළෙන රැකියා ක්‍ෂේත්‍රය ලෙස කෘෂි කර්මාන්තය හඳුනාගත හැකිය. ධීවර කර්මාන්තයේ නියෑළෙන පවුල් කිහිපයක්‌ දක්‌නට ලැබේ. දඹාන ආශ්‍රිත ධීවර කටයුතු සිදු කරන වැව් ලෙස
 
 දැලි කැදැලි වැව
 කැකලාන වැව
 කිරවනාගල් කඳුර වැව
 පෙන්වාදිය හැකිය
 
 දඹානෙහි උගත් තරුණ පිරිස්‌ විශේෂයෙන් මනා අධ්‍යාපනය සමඟ උසස්‌ රැකියාවල නිරත වේ. අඩවි වන නිලධාරීන් සේම සංචාරක ව්‍යාපාරය තුළ භාෂා පරිවර්තක වැනි රැකියා සහ සංචාරකයන්ට මග පෙන්වන්නන් ලෙස ද මුදල් ඉපයීම සිදු කරයි. වැදි බස සිංහල සහ ඉංග්‍රීසි භාෂාව මැනවින් හසුරුවන තරුණ පිරිස්‌ ද දඹානේ දී අපට හමු විය. අද වන විට සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙහිම සංස්‌පර්ශයක්‌ මේ නිසා හඳුනාගත හැකිය.
 
 වර්තමාන දඹාන වැදි ගම්මානය පිළිබඳ සලකා බලන විට අද ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් යෑපීමයි. තමන් එකතු කරන විවිධ වන ද්‍රව්‍ය සංචාරකයන්ට විකිණීම වැඩි වශයෙන් සිදු කරයි. මීපැණි, බඹර පැණි, ඇත්දළ, කොටි දළ, ආදිය මොවුන් විකුණන භාණ්‌ඩ වෙති. නෑ යකුන්ගේ රූප ආදිය ලීවලින් සකසා විකිණීම ද සිදු කරයි. වනයෙන් සොයා ගන්නා ඇට වර්ග යොදා ගනිමින් මාල, වළලු, ආදිය සකස්‌ කරන ආකාරය දඹානේ දී දැකගත හැකිය.
 
 ඉහත සඳහන් බොහෝ කරුණු වැදි භාෂාව සමඟ සෘජුවම සම්බන්ධ නොවූවද බොහෝ අවස්‌ථා නිර්මාණ වන්නේ ඔවුන්ගේ භාෂා හැකියාව නිසාම මේ තීරණාත්මක අදියර භාෂා භාවිතය නිසාම බැව් කිව හැකිය. මේ සියල්ල තීරණය වන මූලිකම සාධකයකි වැදි භාෂකයින්ගේ අධ්‍යාපනය.
 
 අතීතයේ දී වැද්දන් අතර කියවීම ලිවීම සඳහා අක්‌ෂර භාවිතයක්‌ නොතිබුණි. එනම් වැදි භාෂාව ලිත භාෂාවක්‌ නොවේ. එය ප්‍රාථමික භාෂාවල දක්‌නට ලැබෙන විශේෂ ලක්‍ෂණයකි. ඒ අනුව වැදි භාෂාවට ලේඛන ස්‌වරූපයක්‌ නොමැති අතර භාෂාත්මක ඒකරූපී භාවයක්‌ පෙන්නුම් කරයි. මේ නිසා සෑම භාෂකයෙකුම දෙවන භාෂාවක්‌ උච්චාරණය කිරීම අධ්‍යාපනය ලබා ගැනීමේ මූලික අවශ්‍යතාවක්‌ වේ. මේ නිසා ඔවුනට වඩාත් සමීපස්‌ථ භාෂාව වන සිංහල භාෂාව වෙත මොවුන්ගේ නැමියාව ඉතා ප්‍රබල, ලෙස දැකිය හැකි වේ.
 
 දඹානෙහි පිහිටා ඇති දඹාන කනිෂ්ඨ විද්‍යාලය සහ ගුරුකුඹුර කනිටු විදුහල වැනි සිංහල මාධ්‍යයෙන් උගත හැකි පාසල් වෙත වැදි ළමුන් යැම දැකගත හැකිය. මේ නිසා වැදි භාෂකයින්ගේ දෙවන භාෂාව ලෙස සිංහල භාෂාව පත් වී ඇත. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව ද ඉහත පාසල්වල පාසල් විෂය මාලාව යටතේ ඉගැන්වීම සිදු කරයි.
 
 සෑම වැදි භාෂක දරුවෙකුගේම පාහේ ගෘහස්‌ථ භාෂාව වැදි භාෂාව වුව ද පාසලේ දී බාලාංශ පන්තියේ සිට සිංහල භාෂාව ඉගෙන ගැනීමට සිදුව තිබේ. අනෙක්‌ අතට මේ දිස්‌ත්‍රික්‌කය තුළ පරිපාලන, ආර්ථික, සමාජයීය භාෂාව සිංහල භාෂාව වන බැවින් අධ්‍යාපනය විෂයෙහි සිංහල භාෂාව ඉගැනීම අත්‍යවශ්‍ය කරුණක්‌ සේ සැලකේ. එහෙත් සිංහල භාෂාව ඉගෙන ගන්නා අතරම බොහෝ තරුණ වැදී භාෂකයන් ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කෙරෙහි ද යම් ප්‍රවීණතාවක්‌ දක්‌වන අයුරු දඹානේ දී හඳුනාගැනීමට හැකි විය. මේ නිසා වර්තමානයේදී ඔවුන් වෙත ලැබෙන සමාජ අවකාශය පෙරට වඩා ඉහළ ගොස්‌ ඇති බව පෙනේ.
 
 දඹාන ප්‍රදේශයේ දෙමාපියෝ අධ්‍යාපනය සඳහා වැදි දරුවන් යොමු කරවති. මේ නිසා සිංහල භාෂාවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට වැදි දරුවන්ට සිදු වේ. එබැවින් වැදි දරුවන් වැදි භාෂාවට වඩා සිංහල භාෂාව කෙරෙහි වැඩි නැඹුරුවක්‌ දක්‌වන ආකාරය පැහැදිලිය. පැරණි වැදි වචන අභාවයට යමින් හෝ යම් ප්‍රමාණයකට භාවිත වුවද වැඩි වශයෙන් සිංහල වචන භාවිත කිරීම දඹානේ සුලභ දසුනකි. වැද්දන් අලුතින් හඳුනාගත් ද්‍රව්‍ය සහ විවිධ දේ ඔවුන් අතරට එන්නේ අත්දැකීමෙන් නොව බාහිර සමාජයෙනි. ඒ නිසා ඒවා සඳහා ව්‍යවහාර වන වචන ප්‍රමාණය ද ගණනය කළ විට ඔවුන්ගේ සමස්‌ත සමාජ හා සංස්‌කෘතික වෙනස්‌ වීමේ තරම අවබෝධ කරගත හැකිය. වැද්දන් අතර ඔවුනොවුන් කතා බහ කරන විට සාමාන්‍ය සිංහල බස ඔවුහු ව්‍යවහාර කරති. ඔවුන් අතර තිබූ පැරණි අනන්‍යතාව යම් පමණකින් ගිලිහී ඇති බවත් පෙනේ. අද ඔවුන්ගේ ජීවනෝපාය සඳහා සිංහල භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.
 
 මේ සියල්ල මත තීරණය වන සමාජ තත්ත්වය හා ඔවුන්ගේ ජන ජීවිතය මේ පර්යේෂණයේ දී අපගේ අවධානය යොමු වූ තවත් වැදගත් ප්‍රවේශයක්‌ වීය. අතීතයේ දී මේ ජනතාවගේ සමාජ ජීවිතය පහළ මට්‌ටමක පැවතුණු අතර මේ තත්ත්වය වර්තමානය වන විට තවත් සංවර්ධනය වී ඇත. දිනෙන් දින දියුණු වන මේ ජනතාවගේ අධ්‍යාපන මෙන්ම ආර්ථික තත්ත්වයන් හමුවේ පොදු දඹාන සමාජය තුළ ඉහළ සමාජ ස්‌ථරයක්‌ මොවුන්ට උරුම වී ඇත. ජන ජීවිතය ද කියියම් මධ්‍යස්‌ථ මට්‌ටමක පවතී. මේ නිසා පොදුවේ ගත් කල ශ්‍රී ලාංකේය සිංහල භාෂා සංස්‌පර්ශයේ ප්‍රතිඵලයක්‌ ලෙස නිර්මාණය වූ වැදි ක්‍රියෝල භාෂක ජනතාවගේ බහුතරය දඹාන ප්‍රදේශයේ වාසය කරන බවත් ඔවුන් පාරම්පරික වටිනාකම් ආරක්‍ෂා කර ගනිමින් නව්‍ය සමාජ සබඳතා හමුවේ වෙනස්‌ වෙමින් කටයුතු කරන අයුරු විශද වේ.
 
 ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
 සෙලිග්මාන් සහ සෙලිග්මාන් (2009) වැද්දෝ. (Th Vddas) කෘතියේ සිංහල පරිවර්තනය චන්ද්‍ර ශ්‍රී රණසිංහ) කොළඹ( ෆාස්‌ට්‌ පබ්ලිෂින් ලිමිටඩ්.
 
 සෝමසුන්දර, දයානන්ද (2006). (සංස්‌). ශ්‍රී ලංකාවේ ආදිවාසීන්. කොළඹ( එස්‌ ගොඩගේ සහ සහෝදරයෝ.
 
 (2014-05-06 දින දඹාන ප්‍රදේශය තුළ සිදු කරන ලද අධ්‍යයනයක්‌ ඇසුරිනි)

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles