ධර්මය අවබෝධ කරගැනීමට උපදෙස්‌ මාලාවක්‌

පූජ්‍ය වල්පොල ධම්මානන්ද
පොඩි හාමුදුරුවෝ
ශ්‍රී වර්ධනාරාමය, ගිනිපෙන්ද, කළුගමුව

බුද්ධ ධර්මය තුළින් ඉදිරිපත් කරන්නේ ලෝකයේ සැමට ව්‍යවහාරික ඥානයෙන් යුතු අයුතුකම් වටහා ගත හැකි සැමට මෙන්ම මේ ධර්මතාවද සත්‍යය දකින ඕනෑම ලොකු කුඩා කාටත් වටහාගත හැකිය. බුද්ධ දේශනාවේ මෙලෙස සඳහන් වේ.

"පඤ්ඤවතො අයං භික්‌ඛවෙ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස"

එනම් " මේ ධර්මය නුවණ ඇත්තාට මිස නුවණ නැත්තාට නොවෙයි.

විවෘත මනසක්‌ ඇති නුවණැත්තාට මෙම කටයුත්ත අමාරු නොවෙයි. මෙහිදී නුවණැත්තා නොහොත් ප්‍රඥාවන්තයා යනුවෙන් ධර්මයේ සඳහන් වන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුත් සසර දුක්‌ කෙළවර කිරීමට අවශ්‍ය ප්‍රඥාව වන සත්ත්වයා පිළිබඳ ප්‍රත්‍ය ධර්මයන්ගේ සමුදය නිරෝධය දක්‌නා ප්‍රඥාවයි.

ඔබට ධර්මය අවබෝධ කරගැනීමට නම් ධර්මය දැනගත යුතු වනවාමයි. දැනගැනීමට නම් ඇසීම හා කියවීම නොහොත් ගවේෂණ ශීලිත්වය හා විමර්ශනශීලිත්වය ඔබ තුළ තිබිය යුතුය. එපමණක්‌ද නොවේ, බුදු සසුනෙහි ධර්මය ඇසීමේදී පුද්ගලයා තුළ තිබිය යුතු ස්‌වභාවයන්ද වේ. එනම් දහම් ඇසීම සිදු විය යුත්තේ කපටි නොවන, ව්‍යාජ භාවයෙන් තොරව අවංක ස්‌වභාවයකිනි. ඇතැම් සූත්‍ර දේශනාවන්හි ඇතුළත් වන තවත් කරුණු බොහෝමයක්‌ වෙති. එනම් සද්ධර්මයට සවන්දීමෙන් සදහම් මගට පිවිසීමට අවකාශ ලැබෙන සාධකයි.

ධර්ම කථිකයාට පරිභව නොකරන සුලු පුද්ගලයා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. ඒ කෙසේද යත් දොස්‌ සෙවීම අරමුණු නොකරන බැවිනි. (න. කථං පරිභොති)

ධර්ම කථිකයාට පරිභව කිරීමේ අදහසක්‌ නොමැති පුද්ගලයා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. මෙහිදී කථිකයා පිළිබඳව ගැටෙන සිතක්‌ නොමැති බැවින් අවබෝධයටම සිත නැඹුරු වේ. (න කථිකං පරිභෝති)

තමාට පරිභව නොකර ගෙන තමා ධර්මය තේරුම් ගැනීමට යෝග්‍ය පුද්ගලයෙකු ලෙස තමාගේ අගය දැක දහම් ආසන පුද්ගලයා අවබෝධයට පැමිණෙයි. (නඅත්තානං පරිභොති)

දහම් අසන්නා සංසුන් නොවිසුරුණු සිතකින් දහම් අසයිද ඔහු දහම අවබෝධ කරයි. ඒ ඔහු දුශ්ප්‍රාඥ නොවන අයෙකු බැවිනි. (අවික්‌ත්තචිත්තො ධම්මං සුණාති)

නුවණින් මෙනෙහි කරමින් දහම් අසන්නා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. (යෝනිසෝ ච මනසිකාරොති)

අනුන්ගේ ගුණ නොනසන, ගුණ නසන සිතින් නොමැඬුණු අයකු ලෙස දහම් අසයිද ඔහු ධර්මය දකී.

(අමක්‌‚ ධම්මං සුණාති න මක්‌ඛපරියුට්‌ඨිතො)

වාදාරෝපණය කරන සිතින් අඩුපාඩු සොයන සුලු අයෙකු නොවී දහම් අසයිද ඔහු ද ධර්මය දකී. (අනුපාරම්භ චිත්තෝ ධම්මං සුණාති න රන්ධ ගවෙසී)

ධර්ම දේශකයා කෙරෙහි නො ගැටුණු සිතින් තද බවින් තොරව දහම් අසයිද ඔහු ධර්මාවබෝධයට පැමිණෙයි. (ධම්ම දෙසකෙ අනාහත චිත්තො හොති අල ජාතො)

දහම් අසන්නා ජඩ නොවූ කෙළතොලු නොවූ අයෙකු ලෙස දහම් අසයිද ඔහුද දහම් තේරුම් ගැනීමට සමත් වේ. (පඤ්ඤවා හොති අජළො අනෙළ මූගො)

නොදන්නා දේ පිළිබඳව "දනිමි" යන මානයෙන් තොරව දහම් අසයිද ඔහුද ධර්මය අවබෝධ කරගනි. (න අනඤ්ඤාතො අඤ්ඤාතමානී හොති)

දැන් ඔබ දැනගත් මේ කාරණාවලින් ධර්මය ශ්‍රවණය කිරීමට සුදුසුකම් තිබුණාද? ඔබ මෙතෙක්‌ කල් ධර්මය ශ්‍රවණය කළේ කෙසේද?

ඔබ මෙවන් ගුණයන්ගෙන් සමන්විතව දහම් ඇසුවා නම් ආර්ය මාර්ගය නම් වූ කුශලයට බැස ගැනීමට සුදුස්‌සෙකු වී හමාරය.

ඔබ නිතර සිහිපත් කරන ස්‌වාක්‌ඛාතෝ පාඨයෙන් ධර්මයේ ගුණ හයක්‌ කිය වෙන බව ඔබ දන්නවාද? ඒ ගුණ මෙසේය.

ස්‌වාක්‌ඛාත ධර්මය මුල මැද අග පිරිසිදුව මැනවින් දේශනා වූ ධර්මයක්‌ නිසා ස්‌වාක්‌ඛාත නම් වේ.

සංදිට්‌ඨික - මේ ධර්මය යමෙක්‌ අනුගමනය කරන්නේද ඒ තැනැත්තාට මෙලොවදීම එහි ප්‍රතිඵල ලබාදෙන බැවිනි.

අකාලිකො අතීත, අනාගත, වර්තමාන යන කාල තුනටම යෝග්‍ය වු බැවින් ද මෙම ධර්මය අනුගමනය කරන්නාට කල් නොයවා විපාක ලබාදෙන බැවිනි.

එහි පස්‌සිකෝ ඕනෑම අයෙකුට ඇවිත් බලන්න යෑයි කිවහැකි තරම් ප්‍රායෝගික වූ ධර්මයන් බැවින් එහි පස්‌සිකෝ නමි

ඕපනයිකො ධර්මය බුද්ධිගෝචර නිසාත් අනුගමනය කරන තැනැත්තා නිවනට පමුණුවන නිසාත් ඕපනයික වේ.

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ªහීති - තම තම නැණ පමණින් අවබෝධ කරගත හැකි ධර්මයක්‌ නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති නම් වෙති.

මේ කරුණුවලට අනුව ඔබ සිතන්න. බුදුරජාණන් වහන්සේට අනුන් උදෙසා කළ හැක්‌කේ මග කියාදීම පමණි. පෙන්වා දෙන මාවතේ ගමන් කිරීම ශ්‍රාවකයාගේ වගකීමයි. වීර්යය ඇති කරගත් ශ්‍රාවකයා තම වගකීම ඉටු කළ හොත් මාරබන්ධනයෙන් මිදී නිවන අවබෝධ කරගනි.

මෙම කාරණය ධම්මපදයේ මග්ගවග්ගයේ මෙලෙස දැක්‌වෙයි.

තුම්මෙහි කිච්චං ආතප්පං -අක්‌ඛාතාරො තථාගතා

පටිපන්නා පාමොක්‌ඛන්ති - Cධායිනො මාර බන්ධනා

ඔබ ශ්‍රද්ධාව මූලික කොටගෙන ප්‍රඥාව මහෙයවා ධර්මයේ ගාම්භීරත්වය වටහාගෙන ධර්මය අවබෝධ කරගැනීමට සිත මෙහෙය වීමට ප්‍රඥාව ළඟා කරගැනීමට මාගේ මේ කෙටි කරුණු දැක්‌වීම ඔබ සැමට මහෝපකාරී වේවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.